විශේෂාංග

ආවාට මකන්න ගිහින් හාවා අතුරුදන් වුණොත් හඳේ ලස්සනින් පලක් නෑ

දැන් ගොඩක් කාන්තාවෝ තමන්ට අවශ්‍ය මේකප් එක ගෙදරදිම කරගන්නවා. හැබැයි සමහරු පිටි ගෑව බෝනික්කෝ වගේ. තව අයගේ ඇඟට වඩා මූණ කළුයි. හමට ගැළපෙන ෆවුන්ඩේශන් එකක් තෝරගන්න බැරිකම තමයි ඔය හැම ප්‍රශ්නෙටම මුල.

ගෙයක් හදනකොට ෆවුන්ඩේශම නැත්තම් අත්තිවාරම  හරියට දැම්මේ නැතොත් ඒ ගෙදර කල්පැවැත්ම ගැන ආයේ කතා කරලා වැඩක් නැහැනේ. ආන්න ඒ වගේ තමයි මේකප් එකක් කරනකොටත් තමන්ට ගැළපෙන ෆවුන්ඩේශන් එක හොයාගන්න බැරි වුණොත් වෙන්නේ තියෙන ලස්සනත් නැතිවෙලා මේකප් එක හබක්වෙන එකයි. ඉතින් හරියටම ගැළපෙන ෆවුන්ඩේශන් එකක් තෝරගන්නේ කොහොමද, ෆවුන්ඩේශන් එකක් හරියට ආලේප කරගන්නේ කොහොමද කියලා කතා කරන්න අද අපේ රූපලාවණ්‍ය පිටුව වෙන් කළා.

මූණේ තියෙන ලප කැළැල්, සිදුරු, අවපැහැගැන්වීම් වගේ දේ සඟවලා මුළු මුහුණටම ඒකාකාර පාටක් ලබාගන්න තමයි ෆවුන්ඩේශන් එකක් පාවිච්චි කරන්නේ.

ක්‍රි.පූ. 200 දී ග්‍රීසියේ හිටි කාන්තාවොත් මුහුණේ තිබුණු අඩුපාඩු සඟවන්න සුදු ඊයම් එක්ක හුණු මිශ්‍ර කරලා මූණේ ගෑවයි කියනවා. 6 වැනි ශතවර්ෂේදි ගෑනු මූණේ දෝස මකන්න ටින් ඔක්සයිඩ් සුදු ඊයම් එක්ක මිශ්‍ර කරලා මූණේ ගාලා. ඔය සංයෝග සමට විසවෙලා ඒ කාලේ බවලතියන් බොහෝමයක් මිය ගිහිල්ලත් තියෙනවා.

ඔය දේවල්වලට අමතරව සත්ව අස්ථි, රත්තරං කුඩු, ශාක පොතු වගේ විවිධ දේවලුත් ඉස්සර උදවිය ෆවුන්ඩේශන් වශයෙන් භාවිතා කරලා තියෙනවා. අද අපි භාවිතා කරන නූතන මේකප් ෆවුන්ඩේශන් හොයාගෙන තියෙන්නේ කාර්ල් බවුඩීන් කියන ජර්මානු ජාතිකයා බවත් මතක් කරන්නම ඕනේ.

ෆවුන්ඩේශන් එකක් මිල දී ගන්න කලින් තමන්ට තියෙන්නේ වියළි සමක්ද, මිශ්‍ර සමක්ද, තෙල් සහිත සමක්ද එහෙමත් නැත්තම් සාමාන්‍ය සමක්ද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. සමේ ස්වභාවය මොකද්ද කියලා දන්නේ නැතිනම් ඒක හොයාගන්නේ මෙහෙමයි. මුලින්ම මෘදු පිරිසුදුකාරකයකින් මූණ සෝදන්න. විනාඩි තිහක් විතර ඉඳලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් මූණ පරීක්ෂා කරන්න. විනාඩි තිහකට පස්සේ මූණේ දිලිසෙන සොබාවයක් තියෙනවා නම් ඒ තෙල් සහිත සමක්. මූණේ තියෙන්නේ වියළි ගතියක් නම් ඒ සම වියළියි. සමහරුන්ගේ නළල සහ නාසය ප්‍රදේශ විතරක් තෙල් සහිත නම් මිශ්‍ර සමක් විදියටත්, සමේ කිසිම වෙනසක් නැතිනම් සාමාන්‍ය සමක් විදියටත් හඳුන්වනවා.

හමේ ස්වභාවයට ගැළපෙන ෆවුන්ඩේශන් වර්ග මොනවද කියලා දැන් බලමු.

 

දියර ෆවුන්ඩේශන් (Liquid Foundation)

දියරමය ෆවුන්ඩේශන්වලින් සමට තෙතමනයක් ලැබෙන නිසා වියළි සමක් තියෙන කෙනෙක්ට මේ වර්ගය වැඩිය හොඳයි. මිශ්‍ර සමක් තියෙන කෙනෙක්ට වුණත් මේවා පාවිච්චි කරන්න පුළුවන්.

 

පවුඩර් ෆවුන්ඩේශන් (Powder Foundation)

කේක් ෆවුන්ඩේශන්, පෑන් කේක් ෆවුන්ඩේශන් කියන ජාති එහෙමත් අයිති වෙන්නේ මේ පවුඩර් ෆවුන්ඩේශන්වලට. තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ට තක්කෙටම ගැළපෙන්නේ මේ වර්ගය.

 

ස්ටික් ෆවුන්ඩේශන් (Stick Foundation)

තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ට තමයි මේ වර්ගයත් වඩා සුදුසු. ඒ වගේම සාමාන්‍ය සමටත් භාවිතා කරන්න පුළුවන්.

 

මූස් ෆවුන්ඩේශන් (Mousse Foundation)

තෙල් සහිත සමට වගේම මිශ්‍ර සමට වඩාත් සුදුසුයි.

 

ටින්ටට් ෆවුන්ඩේශන් (Tinted Foundation)

BB ක්‍රීම්, CC ක්‍රීම් කියලා හඳුන්වන්නේ මේ වර්ගයට. වියළි සහ සාමාන්‍ය සමට වඩාත් සුදුසුයි. ටින්ටඩ් ෆවුන්ඩේශන්වලින් මූණට ඝණ ආවරණයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වැඩිය ලප කැළැල් නැති කෙනෙක්ට එදිනෙදා භාවිතයට මේ වර්ග හොඳයි.

 

මිනරල් ෆවුන්ඩේශන් (Mineral Foundation )

කෘතිම අමුද්‍රව්‍ය නොයොදා විවිධ ඛනිජවලින් හදන ෆවුන්ඩේශන්වලට තමයි මිනරල් ෆවුන්ඩේශන් කියන්නේ. සංවේදී සමක් තියෙන කෙනෙක්ට මේ වර්ගය ගැළපෙනවා.

 

වැඩේ ඉවර නැහැ. හරි ෆවුන්ඩේශන් එකක් තෝරගන්න නම් අපි සමේ වර්ගය වගේම අන්ඩර්ටෝන් එක ගැනත් දැනගන්න ඕනේ. අතේ නහරවල පාට දිහා බලලා ඒක හොයාගන්න පුළුවන්. කෙනෙක්ගේ අතේ නහර කොළ පාට නම් ඇයට තියෙන්නේ වෝර්ම් අන්ඩර්ටෝන් (Warm) එකක්. එතකොට නහර නිල් පාට නම් කූල් (Cool), දම් පැහැති නම් නියුට්‍රල් (Neutral) විදියට හඳුන්වනවා. ෆවුන්ඩේශන්වල ගහලා තියෙන W,C,N කියලා අකුරුවලින් මේක හොයාගන්න පුළුවන්.

මේ කාරණා ටික දැනගත්තට මදි. තෝරගන්න ෆවුන්ඩේශන් එකේ පාට සමට ගැළපෙනවද බලන්නත් එපායෑ. ෆවුන්ඩේශන් ටිකක් අතේ ආලේප කරලා බලලා තෝරගන්න කියලා සමහරු උපදෙස් දෙනවා. හැබැයි ඒ ක්‍රමේ සම්පූර්ණයෙන්ම වැරදියි. ෆවුන්ඩේශන් ගාන්නේ මූණට නිසා මූණේ ගාල බලලා තෝරගන්න එක තමා හරිම ක්‍රමේ. ෆවුන්ඩේශන් ටිකක් අරගෙන කම්මුලේ ඉඳලා බෙල්ල දක්වා ඉරක් අඳින්න මොකද මූණෙයි බෙල්ලෙයි පාට සමාන වෙන්නත් ඕනේනේ. දැන් හොඳට මිශ්‍ර කරලා සමට ගැළපෙනවද බලන්න.

නිතරම සමේ පාටට වඩා පියවරක් ඉදිරියෙන් තියෙන වර්ණයක් තෝරගන්න. තලෙලු සමක් තියෙන කෙනෙක් නම් සමේ පාටට එක පියවරක් වැඩි ෆවුන්ඩේශන් එකකුයි සමේ පාටට පියවරක් අඩු එකකුයි අරගෙන මිශ්‍ර කරලා පාවිච්චි කරන්නත් පුළුවන්.

ෆවුන්ඩේශන් එක හරියට ආලේප කරන හැටි දැන් බලමු. කිසිම වෙලාවක මේවා අතින් ආලේප කරන්න එපා. ඒකට මේකප් බ්‍රෂ් එකක් හරි ස්පොන්ච් එකක් හරි භාවිතා කරන්න.

මූණේ ලප කැළැල් වැඩිය නැත්තම් ෆවුන්ඩේශන් මහ ගොඩක් ගාන්න යන්න එපා. ලප, පිග්මන්ටේශන්, සුදු කබර වගේ දේවල් තියෙනවා නම් විතරක් ටිකක් ඝන ෆවුන්ඩේශන් තට්ටුවක් ආලේප කරන්න වෙනවා.

ෆවුන්ඩේශන් ආලේප කරන්න කලින් මුහුණ හොඳට පිරිසුදු කරගන්න. ඊටපස්සේ මේකප් ප්‍රයිමර් එකක් ආලේප කරන්න. ප්‍රයිමර් නැත්තම් සීරම් හරි මෝයිස්චරයිස් හරි ගෑවත් කමක් නැහැ. පස්සේ නිකටෙයි, නළලෙයි, කම්මුල් දෙපැත්තේ සහ නහයෙයි ෆවුන්ඩේශන් ටිකක් ආලේප කරන්න. පැල්ලම් තියෙනවා නම් ඒවා උඩත් ආලේප කරන්න. දැන් ස්පොන්ච් එක නැත්තම් බ්‍රෂ් එක අරගෙන බ්ලෙන්ඩ් කරගන්න. භාවිතා කරන හැම වෙලාවකම ස්පොන්ච් එකයි බ්‍රෂ් එකයි හොඳට පිරිසුදු කරගන්න.

ෆවුන්ඩේශන්වල රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා හැමදාම ගෑවොත් සමේ සිදුරු අවහිර වෙලා කුරුලෑ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වයසට කලින් සිහින් රේඛා, වයස් ලප එන්නත් ෆවුන්ඩේශන් හේතුවෙන්න පුළුවන්.

ඒ නිසා ප්‍රමිතියක් නැති බාල වර්ගයේ ෆවුන්ඩේශන් නම් සමේ ගාන්න එපා. ෆවුන්ඩේශන් ගාන්න කලින් වගේම ඒවා ඉවත් කළාට පස්සෙත් මූණට මොයිස්චරයිස් ක්‍රීම් ආලේප කරන්න. කිසිම වෙලාවක ෆවුන්ඩේශන් එක්ක නින්දට යන්න එපා. ඒ වගේම අවුරුද්දකට වතාවක් ෆවුන්ඩේශන් එක මාරු කරන්නත් අමතක කරන්න එපා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි