රූපලවන්‍ය

Beautyෆුල් වෙන්න වෙජිටබල් කන්න

ලෝකේ මිනිස්සු කාලෙන් කාලෙට අමුතු පහේ විවිධ පරීක්ෂණ කරනවනේ. මේකත් ඇමරිකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් කරාපු අමුතු පරීක්ෂණයක්. අවුරුද්දක් පුරාවට එළවලු විතරක් කෑවොත් මොකද වෙන්නේ කියන එකයි මේකෙන් හෙව්වේ.

එළවලු විතරක් කාලා අවුරුද්දක් ඉන්න වැඩේ බාරගත්තේ ඒ කණ්ඩායමේම ශිෂ්‍යාවක් වෙච්චි ක්‍රිස්ටි ජොන්සන්. මුලදි වැඩේ අමාරු වුණාට මාසේ දෙක යද්දි ක්‍රිස්ටිත් වැඩේට හුරුවෙලා. කොහොමහරි පරීක්ෂණේ අවසානෙදි 70kgට හිටපු ක්‍රිස්ටිගේ බර 50kgට බැස්සලු. ඒ වගේම ඇගේ සම පැහැපත් වෙලා කොණ්ඩයත් ඝනකම් වුණාලු. ඒ කොහොම වෙතත් එළවලු විතරක් කන එක ඇඟට ගුණ නැහැයි කියලයි ඒ පරීක්ෂණය ගැන දැනගත්තු වෛද්‍යවරු කියලා තිබුණේ.

එළවලු විතරක් කන්නේ නැතිව එළවලු කන එක වැඩි කරන්න.”

එළවලුවල ගුණ ගැන නිතර කතා කරන ඩොක්ටර් රෙයිඩ් බී ඇඩම්ස් කියන්නේ එහෙමයි.

යුරෝපීය රටවල බහුතරේ එළවලු කන්නේ අමුවෙන්. හැබැයි අපේ රටේ අය උයද්දි එළවලුවලට කරන වින්නැහි නිසා ඒවගේ තියෙන පෝෂක අපේ ඇඟවල්වලට පත්තියම් වෙනවා හොරයි. ඇඟට පත්තියම් වෙන විදියට එළවලු හදන්නේ කොහොමද? එතකොට එළවලු කාලයි, ගාලයි සම ලස්සන කරගන්නේ කොහොමද වගේ කාරණා අද රූපලාවණ්‍ය ලිපියේ අන්තර්ගතයි. එළවලුවලින් සම පැහැදිලි කරන පාන වර්ග කිහිපයක් හදන හැටිත් අද කියලා දෙනවා.

මනුස්සයෙක් දවසකට එළවලු වර්ග පහක් කන්න ඕනලු. හැබැයි ඉතින් දැන් එළවලු මිල රොකට් වේගෙත් පරාද කරලා උඩ යන නිසා ඉස්සර යහමින් එළවලු කාපු ගෙවල්වල පවා ඉදෙන්නේ එක එළවලුවයි නැත්තම් දෙකයි. එහෙව් එකේ ඉතින් තකහනියේ කඩේ දුවලා මේ සත්කාර කරන්න කියලා නෙමේ අපි කියන්නේ, ගෙදර එළවලු ගෙනාපුවහම අහක දාන එළවලු කොටස්වලින් මේ සත්කාර කරන්න.

හැම එළවලුවක්ම ඇඟට ගුණ වුණාට හැම එකකම සමට අවශ්‍ය පෝෂක නැහැ. ඉතින් සම ලස්සන කරගන්න කන්න ඕනේ එළවලු මොනාද කියන එකයි මුලින්ම හොයලා බලන්න ඕනේ.

 

වට්ටක්කා

“වට්ටක්කා කන්නේ කවුද? වට්ටක්කා කන්නේ මල ගෙවල්වල විතරයිනේ” අපේ රටේ හිටපු දේශපාලනඥයෙක් කිව්ව ඔහොම කතාවකට කාලයක් ලොකු කතාබහක් ඇතිවුණා.

කුඩම්මගේ සැලකිලිවලට පාත්‍ර වුණාට වට්ටක්කා කියන්නේ විටමින් A, C, බීටා-කැරොටින් බහුල සම පැහැපත් කරන පෝෂණීය එළවලුවක්. සමේ සෛල අලුත්වැඩියාවට ඔය කිව් සංඝටක උදව් කරනවා. පිටරටවල පෙති, කරල් විදියට පවා මෙව්වා ගන්නවා. අනික වට්ටක්කා කියන්නේ ලෝකේ මුලින්ම වගා කළ එළවලුවක්. ලෝකේ ලස්සනම කාන්තාව විදියට සලකන ඊජිප්තු රැජින ක්ලියෝපැට්‍රා පවා වට්ටක්කා ආහාරයට අරගෙන තියෙනවාලු.

 

තක්කාලි

සමහරු තක්කාලි පලතුරක් විදියට හැඳින්නුවට තක්කාලි කියන්නේ එළවලුවක්. තක්කාලිවල විටමින් C සහ ලයිකොපීන් ප්‍රතිඔක්සිකාරකය අඩංගුයි. කොලජන් උත්තේජනය වැඩි කරලා සම රැළි වැටීම පාලනය කරන්න ඔය සංඝටකවලට පුළුවන්.

 

රාබු

රාබුවල ගෙන්දගම් තියෙනවා. අපේ නාහෙට අල්ලන්නේ නැති පුසුඹක් එන්නේ ඒකයි. ඔය පුසුඹ නිසා ගොඩක් අය රාබු කන්න අමනාපයි. විටමින් C සහ ජලය වැඩිපුර අඩංගු නිසා ඒ පුසුඹ පැත්තකට කරලා හරි රාබු කෑවොත් සමේ තෙතමනය වැඩි කරගෙන කුරුළෑ ඇතිවීම පාලනය කරගන්නත් පුළුවන්.

 

කරවිල

තිත්ත වුණාට කරවිලවල ගුණ පැණි රසයි කියලනේ කතාවටත් කියන්නේ. විටමින් C, B6 වගේ සමට අවශ්‍ය පෝෂණීය සංඝටක බහුලයි. ප්‍රතිඔක්සිකාරකත් තියෙන නිසා හිරුඑළියෙන් හානිවුණු සමටත් කරවිල බොහොම ගුණයි.

 

සාරණ

සාරණ කියන්නේ කොළ එළවලුවක්. සමහර කට්ටඩි උන්දැලා ගුරුකම් වැඩවලට මේ සාරණ යොදාගන්නවලු. ඒ නිසා සාරණ කන්න තියා ගෙවල්වල වැවෙනවටත් ඇතැම්මු බයලු. ඒ කතා කොහොම වෙතත් ඇඟේ ඉදීමීම්වලට වගේම විෂ නසන්නත් සාරණ හොඳයි කියලයි විද්‍යාවෙන් පිළිගන්නේ. ඇස් වටා කළුවීම සහ ඉදීමම නැත්තම් අයි බැග් ඇති නොවන්න නම් නිතරම සාරණ කන්න ඕනෙලු.

 

නෙළුම් අල

විටමින් C, B වගේම A එහෙම බහුලව අඩංගු එළවලුවක්. සම රතුවීම වගේම හිරුඑළියට පිළිස්සීම පාලනය කරන්න නෙළුම් අලවලට පුළුවන් කියලා ගොඩදෙනා දන්නේ නැහැ. හැබැයි බැදලා නැත්තම් වේලලා ඉව්වහම නෙළුම්වල තියෙන මේ ගුණ ඉවත් වෙනවලු. ඉතින් පුළුවන් තරම් මෙව්වා අමුවෙන් කන එකයි හොඳ.

 

බීට් රූට්

මධ්‍යධරණී මුහුදු පළාත් නිජබිම වෙච්චි බීට් අද ලෝකේ හැම රටක්ම පාහේ කන එළවලුවක්. විටමින් A, B වගේම ප්‍රතිඔක්සිකාරක අඩංගුයි. ඉතින් හම පැහැපත් කරන්නත් අකලට කෙස් හැලීම නතර කරන්නත් බීට්වලට පුළුවන්.

 

කැරට්

කැරට් සමට හොඳයි කියන එක රහසක් නෙමෙයි. විටමින් C, B, A කියන සංඝටකවලට අමතරව සම පැහැපත් කරන කැරොටිනුත් කැරට්වල තියෙනවා.

 

පිපිඤ්ඤා

පිපිඤ්ඤා කිව්වහම විහිලු කතාවක් මතක් වුණා. දවසක් මාර්ග නීති කඩාපු මනුස්සයෙක් පොලිසියේ රාළහාමි  මහත්තයෙක්ට අහුවුණාලු. ඔන්න දැන් ඒ මහත්තයා දඩ කොළේ ලියන්නලු කල්පනාව.

“නම මොකද්ද?”

“ඥාණපාල.”

නම ලියාගන්න අමාරු නිසා රාළහාමි ඥාණපාලගෙන් රස්සාව මොකද්ද කියලා ඇහැව්වලු.

“ඉස්පාඤ්ඤෙට පිපිඤ්ඤා පටෝනවා.”

ඒකත් ලියන්න අමාරු නිසා රාළහාමි ඥාණපාලව වරදින් නිදහස් කළාලු. පිපිඤ්ඤා කන්න ලේසි වුණාට නම ලියන්න අමාරුයි කියලා දැනුත් සමහරු කියනවා. පිපිඤ්ඤාවල විටමින් C වගේම ජලය බහුලයි. ඉතින් සමේ තෙතමනය වැඩි කරන්න පිපිඤ්ඤාවලට පුළුවන්. නම් වශයෙන් වෙනස් වුණාට කැකිරිවල තියෙන්නෙත් පිපිඤ්ඤාවල පෝෂණයමයි. සමට ආදරේ නම් පිපිඤ්ඤා වගේම කැකිරිත් නිතර කන්න ඕනේ.

සම ගැන හිතන කෙනෙක් නම් මේ කිව්ව එළවලු ජාති වැඩිපුර කන්න. හැබැයි වැඩි වෙලාවක් උයලා කනවට වඩා අමුවෙන් කන්න පුළුවන් නම් එළවලුවල පෝෂණ ගුණ ඒ විදියටම අපේ ඇඟට ගන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න.

එළවලු ගන්නකොට සුපර් මාර්කට්වල දිස්නෙට දිලිසෙන එව්වට වඩා ගමේ ගොඩේ විකුණන්න තියෙන සතෙක් දෙන්නෙක් වැහැව්ව එළවලු වැඩිය හොඳලු. එව්වට කෘමීන් එන්නේ කෘමිනාශක අඩංගු නැති නිසා කියලයි පෝෂණවේදීන් කියන්නේ.

කිසිම වෙලාවක කපලා ඉවරවෙලා එළවලු සෝදන්න එපා. එතකොට එව්වගේ ගුණෙත් සේදිලා යනවා. එක වතුර භාජනයක් තියාගෙන ඒකෙන් එළවලු සේරම සෝදන එකත් ගොඩක් ගෙවල්වල වෙන වරදක්. ගලායන ජලයෙන් එළවලු සෝදන්න. එකෙන් එව්වගේ තියෙන අහිතකර දෑ පහසුවෙන්ම ඉවත් කරගන්න පුළුවන්.

උදේට කරගන්න පහසුවට සමහර ගෘහිණියන් රෑට එළවලු කපලා තියනවා. ඒකත් එළවලුවල ගුණ නැසෙන්න හේතුයි. ඉතින් ගොඩක් වෙලා කපලා තියනවට වඩා උයන්න ඔන්න මෙන්න තියලා එව්වා කපන එකලු හොඳ.

ඒ වගේම එළවලු උයද්දි තුනපහ, රසකාරක වැඩිපුර යෙදුවොත් ඒවගේ ගුණ ඉවත් වෙනවලු. එළවලු ගැඹුරු තෙලේ බදින එකත් ගොඩදෙනා කරන වරදක්. ඒ වගේම එළවලු තම්බනකොට වතුර ගොඩාක්  දාන්නේ නැතිව වතුර ස්වල්පයකින් එළවලු තම්බන්න පුළුවන් නම් ඒවගේ ගුණ ඉවත්වෙනවා අඩුයි.

එළවලු හොඳට කන ගමන් එව්වා බාහිරින් ගාලත් සම ලස්සන කරගන්න පුළුවන්. එළවලුවලින් කරගන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැනත් බලමු.

කැරට්, බීට් බ්ලෙන්ඩ් කරලා ඒ යුෂට කස්තුරි කහ, කඩල පිටි එකතු කරලා මූණේ ගාන්න. විනාඩි 20කින් සෝදලා අරින්න.

හිස්හොරි තියෙන කෙනෙක් නම් බීට් අලයක යුෂ හිසේ සමට ගාලා විනාඩි 20ක් තියලා සෝදන්න. මේ සත්කාර සතියට දෙපාරක් කරන්න.

සාරණවලට ගිතෙල්, මී පැණි එකතු කරලා හොඳට අඹරලා ඇස් වටේ ගාන්න. ඇස් වටේ අවපැහැය ඉවත් කරගන්න පුළුවන්.

නෙලුම් අල කෑල්ලක් නෙලුම් පෙති එක්ක බ්ලෙන්ඩ් කරලා පැක් එකක් විදියට මූණේ ගාන්න. විනාඩි 20කින් සෝදලා ඉවත් කරන්න.

පිපිඤ්ඤා ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා ඒ යුෂ අයිස් කියුබ් ට්‍රේ එකකට දාලා අයිස් කැට හදාගන්න. මෙයින් එක කැටයකින් දිනපතාම මූණ සම්බාහනය කරන්න.

තම්බාගත්තු වට්ටක්කාවලට, සුදු හඳුන්, මී කිරි එකතු කරලා පොඩි කරලා මූණේ ගාන්න. සතියට දෙපාරක් මේ සත්කාරය කරන්න පුළුවන් නම් ඉක්මනින්ම සම පැහැපත් කරගන්න පුළුවන්. මේ විදියට සත්කාර කරන්න අපහසුයි නම් උයන ගමන් විසි කරන එළවලු පොතු මූ‍ණේ ගාන්න.

සාරණ, ඇපල්, අන්නාසි වතුරත් එක්ක බ්ලෙන්ඩ් කරලා ඒකට මී පැණි, කුරුඳු කුඩු එකතු කරලා බොන්න.

කැරට්, බීට්වලට ලෙමන් යුෂ එකතු කරලා බ්ලෙන්ඩ් කරලා බොන්න.

පිපිඤ්ඤාවලට සාරණ, ලෙමන් යුෂ එකතු කරලා පානය කරන්න.

වත්තේ පිටියේ ඉඩ තියෙද්දිත් කම්මැලිකමට එළවලුවක් කාරිය හිටව්වේ නැති කෙනෙක් නම් අදම ඒ වැඩේට බහින්න. එතකොට බැරියෑ ඇතිතරම් එළවලු කන ගමන් මූණෙත් ගාලා ලස්සන වෙන්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි