කුරුලෑ පිරුණු කළු කැත මූණක් කිසිදා – ලැබුණොත් බොමිය වදකහ මා හිරු නැතිදා
රසිකොලොජිස්ට් අතින් කාන්තාව ගැන ලියැවුණ කවි පන්තියක එක කවියක් තිබුණා මෙන්න මෙහෙම.
‘රූපයද බුද්ධියද විමසන කළණ මිත
ඉවතට දමන් ඔය හණමිටි බමුණු මත
ලස්සන වත මිසක නොපතන් මුහුණු කැත
රූපය නොමැති තැන බුද්ධිය පලක් නැත’
කොයිතරම් බුද්ධිමත් වුණත් පිරිමියෙක් කාන්තාවක් තෝරගනිද්දී ඇය රූපවත් වෙන්න ඕන කියලයි මේ කියන්නේ. ඔය කවි පන්තියේම අවසාන කවියේ පද දෙකක් තිබ්බා මේ විදියට.
‘කුරුලෑ පිරුණු කළු කැත මූණක් කිසිදා
ලැබුණොත් බොමිය වදකහ මා හිරු නැතිදා’ කියලා…
අපේ රටේ කාන්තාවො ලස්සන වෙන්න හිතාගෙන වදකහ බීපු විදිය අපි මීට කලිනුත් කියලා තියෙනවා.
විශේෂයෙන්ම කුරුලෑ නිසා මුහුණ අවලස්සන වීම කාන්තාවන්ට විතරක් තියන ගැටලුවක් කියලා හිතුවට පිරිමි උදවියටත් මේ ප්රශ්නය මතුවන අවස්ථා එමටයි. ඒ නිසා ගැහැනු පිරිමි කොයි කවුරු වුණත් කුරුලෑ ගැන සහ කුරුලෑ නැති කරන්න පුළුවන් ක්‍රම ගැන දැනගෙන ඉඳීම වටිනවා.
ගොඩක් වෙලාවට බහුතරයක් දෙනා හිතන්න පෙළැඹිලා ඉන්නවා මේ කුරුලෑ ඇතිවෙන්නේ වයසේ ප්‍රශ්නයක් නිසා, ඒ වයස්වලදී ඇතිවෙන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා, වැරදි ආහාර රටා නිසා නැත්නම් භාවිතා කරන රූපලාවණ්‍ය නිෂ්පාදන නිසා කියලා. නමුත් මුහුණේ කුරුලෑ ඇතිවෙන්ඩ බලපාන තවත් කරුණු ගණනාවක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම හේතුවක් තමයි ඔය කිව්ව හෝමෝන අසමතුලිතතාවය. සම ආශ්‍රිතව අධික ලෙස තෙල් නිෂ්පාදනය වීමත් මේ කුරුලෑ ඇතිවීමට බලපානවා. සම නිවැරදිව පිරිසිදු කිරීම නොකරන විටත් මැරුණු සම, කුණු දූවිලි අංශු සහ තෙල් එකතු වෙලා මේ කුරුලෑ හටහැනීමට හේතු සපයනවා. විවිධ බැක්ටීරියා ආසාධන නිසා වගේම, ඇතැම් ඖෂධ වර්ග නිසාවෙනුත් සමේ කුරුලෑ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම බලමාළු, කෙළවල්ලෝ, අන්නාසි, අච්චාරූ වගේ උෂ්ණ ආහාර නිතර නිතරම ගැනීමෙනුත් කුරුලෑ හටගැනීමේ ඉඩ වැඩි කරනවා. මීට අමතරව ප්‍රධාන වශයෙන් විභාග පීඩනය, ආදර සබඳතා බිඳවැටීම වැනි මානසික අස්ථාවරතා නිසාවෙනුත් සමේ කුරුලෑ හටගන්න පුළුවන්. අපි වැඩිපුර නොහිතුවට පාරම්පරික ජාන මගිනුත් මේ කුරුලෑ හටගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි භාවිතා කරන රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිසාත් මේ තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. ඔය විදියට අපි දැනගෙන හිටපු වගේම නොදන්න කරුණු රාශියක්ම මේ කුරුලෑ ඇතිවීමට බලපානවා.
ඉතින් මේ කුරුලෑ සහ කුරුලෑ කැළැල් මකාගන්න ගෙදරදීම පහසුවෙන් අනුගමනය කරන්න පුළුවන් ආයුර්වේද ක්‍රම කීපයක් ගැන තමයි අපි කියන්න යන්නේ.
ශරීරයේ පිත අසමතුලිත වීමෙන් කුරුලෑ හටගැනීමක් සිද්ධ වෙනවා. හැබැයි අපි ගන්න ආහාර රටාව වෙනස් කළොත් මේ පිත දෝෂය පාලනය කරගන්න පුළුවන්. සැර, තෙල් සහිත, අධික ලුණු සහිත, අම්ල ගතිය වැඩි ආහාරත්, චට්නි/අඹ/ඇඹරැල්ලා/බිලින්/අන්නාසි වැනි උෂ්ණ ආහාර, කෘත්‍රිම ආහාර වර්ගත් ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕන. මොකද අපි මොන රූපලාවණ්‍ය ක්‍රමවේද අනුගමනය කළත්, ඇඟ ඇතුළේ තියෙන හෝමෝන සමතුලිත නොවෙන තාක්කල් මේ කුරුලෑ ප්රශ්නය විසඳන්න වෙන්නේ නෑ. මේ කුරුලෑ අවම කරගන්න අපිට ආහාරයට එකතු කරගන්න පුළුවන් කෑම වර්ග තමා කොමඩු/පිපිඤ්ඤා/වැටකොළු/කෝමාරිකා/කොළකැඳ/පලා වර්ග කියන්නෙ. ඒ වගේම මතක් කළ යුතු විශේෂ කාරණාවක් තමයි ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම. සාමාන්‍යයෙන් මේ වෙද්දී පාරිසරික උෂ්ණත්වය වැඩිවෙලා තියෙන නිසාම කලින් තමන් පානය කරපු වතුර ප්‍රමාණයට වඩා වැඩියෙන් වතුර ටිකක් බොන්න පුළුවන්නම් වඩා හොඳයි. වැඩිපුර ජලය පානය කිරීමෙන් සමේ තෙතමනය රැකගන්න පුළුවන් වෙනවා වගේම සමේ තියෙන විෂ වර්ග නසන්නත් ඒක උදව්වක් වෙනවා.
සම මතුපිට ඇතිවන කුරුලෑ අවම කරගන්න ගෙදරදිම සමේ ආලේප කරන්න පුළුවන් ද්‍රව්‍යත් තියෙනවා. මේ වෙද්දිත් සම මතුපිට රතු පාටට කහ පාටට කුරුලෑ සහ කැළැල් ඉතිරි වෙලා තියෙන කෙනෙක්ට පුළුවන් අයිස් කැටයක් අරන් ගෝස් කැබැල්ලක හෝ කොට්න් රෙදි කැබැල්ලක ඔතලා හම මතුපිට තියන්න. මෙතැනදි හොඳින් මතක තියාගන්න ඕන අයිස් කැටය ඍජුවම සමේ ආලේප කරන්නේ නැහැ.
කහ සහ කොහොඹ දලු එළකිරිවලින් අඹරලා මිශ්‍රණයක් හදාගෙන කුරුලෑ සහිත සමට ආලේප කරලා විනාඩි දහයක් පහළොවත් අතර ප්‍රමාණයක් තියලා සෝදා හරින්න පුළුවන්. මේ හරහා සමේ කුරුලෑ ඇතිවෙන්න බලපාපු විසබීජ තියනවානම් ඒවා ඉවත් වෙනවා.
කෝමාරිකා මදය සූරලා අරගෙන රැයක් ශීතකරණයේ තියලා පහුවදාට කුරුලෑ සහ කුරුලෑ කැලැල් සහිත ප්‍රදේශවල ආලේප කිරීමෙනුත් මෙම තත්ත්වය අවම කරගන්න පුළුවන්. කෝමාරිකාවල තියෙන සුවවීමේ හැකියාව වැඩි කිරීමේ ගුණය සහ ආසාත්මිකතා නැති කිරීමේ ගුණය නිසා නැවත කුරුලෑ ඇතිවීම පාලනය වෙනවා.
සමේ කුරුලෑ ඇතිවුණ කාලෙට විතරක් මේ සත්කාර කරන්නෙ නැතුව පුරුද්දක් වශයෙන් සම ක්ලෙන්ස් කරලා පිරිසිදු කරගැනීම වටිනවා. ස්වභාවිකව සම ක්ලෙන්ස් කරගන්න මී පැණි ගල්වලා තියලා සෝදාහරින්න පුළුවන්. එහෙම නැත්නම් වෙළෙදසැලකින් ක්ලෙන්සර් එකක් මිලදී ගන්නවා නම් රසායනික ද්‍රව්‍ය අඩු ක්ලෙන්සර් එකක් මිලදී ගැනීම වැදගත්.
කඩල පිටි සහ කහකුඩු වතුර සමඟ මිශ්‍ර කරලා මිනිත්තු දහයක් විතර සමේ ගල්වලා තියලා කවාකාරව පිරිමැදලා හොඳින් සෝදා ඉවත් කිරීමෙනුත් සම පිරිසිදු කරගන්න පුළුවන්.
දවස් පහකට හෝ සතියකට වරක් ෆේස්පැක් එකක් මුහුණේ ගැල්වීමෙනුත් මේ කුරුලෑ හටගැනීම අවම කරගන්න පුළුවන්. ඒ සඳහා මුල්තාන්මිට්ටි සහ රෝස වතුර යොදා සකසා ගත් මිශ්‍රණයක් සම මතුපිට ගල්වලා එහි තෙතමනය ඉවත් වෙනකන් තියලා සෝදා හරින්න ඕන. ඉන් පස්සේ යෝගට් සහ පිපිඤ්ඤා බ්ලෙන්ඩ් කරගෙන හදාගත්තු මිශ්‍රණයක් මුහුණේ ගල්වලා විනාඩි දහයක් පහළොවක් තියලා සෝදා හරින්න පුළුවන්.
සමේ තෙල් ආලේප කරනවා නම් කුරුලෑ හොඳින් සුවවෙනකන් ඉන්න ඕන. මෙතැනදී තෙල් සහිත සමක් තියෙන අයට සමේ තෙල් ආලේප කරන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. මෙතැනදී සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුයි. ඒ හැරුණාම සාමාන්‍ය සහ වියළි සමක් තියෙන කෙනෙක්, තෙල් වර්ගයක් පාවිච්චි කිරීමේ වරදක් නැහැ. ගොඩක් වෙලාවට සමේ තෙල් ආලේප කිරීම රාත්‍රියට කරනවානම් තමයි හොඳ.
කුරුලෑ කැළැල් ඉතිරිවෙලා තියෙන කෙනෙක්ට ගොඩක් හොඳ තෙල් වර්ගයක් තමයි පිණ්ඩ තෛලය කියලා කියන්නේ. මේ තෙල් බිංදු කීපයක් අරගෙන රාත්රියේදී කුරුලෑ කැළැල් සහිත ප්‍රදේශවල ආලේප කර හොදින් පිරිමැද පැය දෙක තුනක් තියලා සෝදා හරින්නත් එහෙම නැතිනම් පහුවදා උදෑසන සෝදාහරින්නත් පුළුවන්. මීට අමතරව කුරුලෑ සහිත සමේ කොහොඹ තෙල්, තල තෙල්, කුංකුමාදී තෙල් ආලේප කරන්න පුළුවන්.
කුරුලෑ ඇතිවීම වළක්වගන්න අපට කරන්න පුළුවන් වැදගත්ම දෙයක් තමයි මනස පාලනය කරගැනීම. මෙතැනදී ඇතිවන මානසික අසමතුලිතතා, ආතතිය පාලනය කරගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ සඳහා උදෑසන කාලයේදී විනාඩි දහයක් පහළොවක් භාවනා කිරීම, සූර්ය නමස්කාරය හෝ යෝගා ක්‍රියාකාරකමක නිරතවීම කරන්න පුළුවන්.
ගොඩක් අය හිතනවා විවිධ ආලේපන වර්ග පාවිච්චි කරලා, විවිධ කෑම වර්ග කාලා, ගොඩක් වතුර බීලා විතරක් මේ කුරුලෑ කියන තත්ත්වය අවම කරගන්න පුළුවන් කියලා. නමුත් ඔය කියන සියලු දේවල් සමට උරා ගන්නනම් ශරීරයේ හොඳ රුධිර සංසරණයක් සිද්ධවෙන්න ඕන. ඉතින් ඒ නිසා තමයි හොඳ ව්‍යායාමයක් හරහා මුළු සිරුරේම රුධිර සංසරණ පද්ධතිය හොද ක්‍රියාකාරී මට්ටමකට ගේන්න අවශ්‍ය වෙන්නේ.
මේ සියලු ක්‍රියාකාරකම් හරහා සමේ තියන කුරුලෑ ලප කැළැල් ආදිය අවම කරගන්න ඕනම කෙනෙක්ට හැකියාව තියෙනවා. මෙයින් ඔබ්බට ගිහින් දිගින් දිගටම කුරුලෑ ඇතිවීම වළක්වා ගන්න බැරි නම් සමාජ මාධ්‍ය හරහා දකින අහන දේවල් අත්හදා බලන්න යන්නෙ නැතිව සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් මුණගැසීම වඩාත් සුදුසුයි.
පවනි වාසනා