කොටහළු මඟුල්වලට මෙදා සැරේ NO චාන්ස්
බේරුවල කොටහළු මඟුලක් ගමකට කොරෝනා බෙදුවේය. පී.එච්.අයි. මහත්වරු දෙහි කැපුවේ කොටහළු වූ ළමිස්සියගේ පියාටය. නමුත් ගම්මුන් දෙහි කපනු ඇත්තේ කොටහළු වූ ළමිස්සිටය. ඒ ලංකාවේ හැටිය.
කොටහළු වන්නේ දුවය. නමුත් මඟුල ගන්නේ පියාය. නැත්නම් අම්මාය. ඕනෑම සුළු කරුණක් තම මිතුරන් සමඟ බෙදා හදා ගැනීමට උපන් හපන්කම් ඇති තාත්තලා මේ කාරණයේ ද ඉස්සර කරගන්නේ සුමිතුරු බෝතලයය. තාත්තාගේ බේබදු යාළුවන් නයාට වහ කඳුරු වුණත් එහා ගෙදර කාන්තිට වඩා, පහල ගෙදර මාලාට වඩා තමාගෙ දුවගේ කොටහළු මඟුල ජයට ගන්නට අම්මලාගේ යටි හිතේද අකැමැත්තක් නැත. එබැවින් නාවා ගෙට ගන්නා දැරිය ප්‍රදර්ශන භාණ්ඩයක් කරමින් උදේ පටන් රෑ වනතුරු තාත්තාගේ බේබදු මිතුරන් හා අම්මාගේ කුඩුකේඩු මිතුරියන් ඉදිරියේ තම දුව දණින් වට්ටන්නට මේ අම්මලා තාත්තලා දෙවරක් සිතන්නේ නැත.
කොරෝනාවට පෙර අසල්වැසි නිවසක මහ ඉහළින් ගත් කොටහළු මඟුලකට මටත් ආරාධනා ලැබුණේය. නොවැළැක්විය හැකි හේතුවක් නිසා උත්සවය පැවැති දින ඊට සහභාගී නොවූ මම, පසු දින ඒ නිවසට ගොඩවැදුනේ නොපැමිණි බවට කණගාටුව ප්‍රකාශ කරන්නටත්, දියණියට ත්‍යාගයක් දීමටත්ය. ඒ වනවිටත් කොටහළු වූ දියණියගේ මව සිටියේ මහා පාටියකින් පසු ගෙදර ගෘහණිය මුහුණ දෙන කටුක අත්දැකීම විඳිමින්ය. දියණිය පෙනෙන්ට නොසිටි නිසා මා ඇය ගැන විමසූවේ ත්‍යාගය ඈ අතටම දෙන්නට සිතාය.
“කෙල්ල ඊයෙ මුළු දවසෙම මූණ එල්ලගෙන හිටියේ. උදේම අපේ පවුලේ අය ආවනේ. අපි දෙන්නගේ පවුල්වල අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ එකතු වුණාම විස්සක් විසිපහක් ඉන්නවා. නාවලා ආපු ගමන් ඒ අයට වැන්දා. ඒක නම් අවුලක් නෑ. ඊටපස්සෙ දවල් මගේ ඔෆිස් එකේ යාළුවොයි, අපේ නෑදෑයොයි ආවා. රෑ වෙලා තමයි හස්බන්ගෙ ඔෆිස් එකේ යාළුවො ආවේ. ගමේ අය ආවෙත් රෑට. කෙල්ල හෙම්බත් වෙලා. හවස දෙක තුන වෙද්දි මූණත් කළු කරගෙන. එයාට වඳින්න බෑලු. එහෙමයි කියලා එන මිනිස්සුන්ට කතා නොකර ඉන්න බෑනේ.”
ඇගේ මව දෙහි කැපුවේ දියණියටය. මා සිතින් දෙහි කැපුවේ ඇගේ මෑණියන්ටය. පැමිණෙන්නන්ගේ සතුට වෙනුවෙන් අම්මා වෙහෙසට පත් කළේ තම දියණියය. නොතේරුම් ගත්තේ ඇගේ අපහසුවය. දියණියගේ හොඳම යෙහෙළිය අම්මා නම් ඇගේ සුසුමක බර වුවද කියන්නට පෙර දැනෙන්ට ඕනෑ ඇගේ අම්මාටය. ඒත් ඒ අම්මාට දුවගේ අපහසුවට වඩා වටින්නේ නෑ හිත මිතුරන්ගේ හිතේ සතුටය. මම සැබවින්ම සතුටු වීමි. ඒ, අහිංසකාවියට කියා වන්දවා ගැනීමට මඟුල් දින නොපැමිණීම ගැනය.
කොටහළු මඟුල් ගැන නම් කතා එමටය. කොටහළු මඟුල, මඟුලක් වූයේ අද ඊයෙක නොවේය. එය අපේ සංස්කෘතියෙන් උරුම වූ තවත් එක දෑවැද්දක්ය. ඒරොප්පේ සුදු නෝනලාට නම් තමන්ගේ දුවගේ මේ ශාරීරික වෙනස්වීම තවත් එක සිදුවීමක් පමණය. එය මිතුරන් සමඟ සමරන්නට, බාල් නටන්නට හේතුවක් නම් නොවන්නේය. එහා ගෙදර කෙලීගේ කිළි පොට්ටනිය හොයන්නට මෙහා ගෙදර නෝනාට අවශ්‍යතාවක් නැත. ඒ සඳහා විවේකයක් ද නැත. ඒරොප්පේ ගියද අපේ නෝනලාට තමන්ගේකම අමතක නැත. එහෙයින් ලංකාවෙන් නැකත් ගෙන්වා පුළු පුළුවන් හැටියට චාරිත්‍ර කරන්නට ඔවුන් පෙළඹෙන්නේ ඒ තමන්ගේකමටය.
“අපේ දුවගේ වෙලාව හොඳයි. දුව ලොකු ළමයෙක් වෙනකොට අපේ අම්මත් මෙහෙ ඇවිත් හිටියේ. මමයි අම්මයි පුළු පුළුවන් විදියට චාරිත්‍ර ටික කළා. හස්බන්ගෙ අම්මලට කියලා ලංකාවෙන් නැකත් ගෙන්න ගත්තා. නාවන එක තමයි ප්‍රශ්නය වුණේ. මෙහෙ ඉතින් වෙනම නාන තැන් හදන්න බෑනේ. අපි ඉන්නෙ ෆ්ලැට් එකක. ඉතිං බාත්රූම් එකේම නෑව්වා. මෙහෙ කොස් ගස් නෑනේ. මම අපේ හස්බන්ට නොවඳිනා වැඳුම් වැඳලා කිරි එන ගහක අත්තක් හොයාගෙන බාත්රූම් එකේ නාන තැන තිබ්බා. චාරිත්‍ර ටික නම් අකුරටම කළා. මෙහෙ ඕවට පාටි දාන්නෙ නෑ. ඒ වුණාට අපි දෙන්නගෙ ලංකාවෙ යාළුවන්ට කියලා පොඩි ඩිනර් එකක් දුන්නා, කෙල්ලගෙ හිත සතුටු වෙන්නත් එක්ක.”
කෙල්ලගෙ කෙසේ වෙතත් ඒ අම්මාගේ නම් හිතට සතුටුය. කසාද බැඳපු දා සිට ඇමරිකාවේ එක පයක් තබාගෙන ජීවත් වූ මේ යුවළ හය හැවිරිදි දියණිය සමඟ ඇමරිකාවට රිංගාගත්තේ ග්‍රීන් කාඩ් ලොතරැයියට පිංසිදු වෙන්නටය. අම්මලා, අප්පලා, දුවලා පමණක් නොව ආච්චි අම්මාද දැන් ඇඳුමින් පැළඳුමින්, ඇවතුම් පැවතුම්වලින් පට්ට ඇමරිකන්ය. ඇමරිකානුවන්ටද ඇමරිකන් ජීවන රටාව, විලාසිතා ගැන ඔවුන්ගෙන් ඉගෙනගන්නට බොහෝ දේ ඇත. එහෙව් අම්මා තමන්ගේ දියණියගේ කොටහළු මඟුල ලංකාවේ තාලයට ගන්නට ඇත්තේ නිසැකයෙන්ම ඇයට ඇගේ මුල අමතක නොමැති නිසා වන්නට ඇත.
කොටහළු වෙනවා, දැනමුතු වෙනවා, කිළි කඩ වෙනවා, පැදුරට වෙනවා, පීදෙනවා, ගෙට වෙනවා, දොට්ට වෙනවා, කිළි හොඳ වෙනවා යනාදී එකී නොකී නම්වලින් හඳුන්වන්නේ දැරියක‍් යුවතියක් වීමේ පෙරළියය. වෛද්‍ය විද්‍යාවට අනුව සිදුවන්නේ දැරියකගේ ඩිම්බ කෝෂවලින් පළමු ඩිම්බය පිටවීමත්, එය සංකේතවත් කරන ශාරීරික වෙනස් කම් සිදුවීමත්ය. මෙය මඟුලක් ගන්නට තරම් හේතුවක් දැයි නිවී සැනසිල්ලේ සිතන කෙනෙකුගේ හිතේ උපන්නත් වචන ඉස්සර කර නොගන්නේ අපේකමට වින්නැහියක් වේ යැයි කියන බියෙන් බව පැහැදිලිය. වචන ඉස්සර නොකළාට හොර රහසේ දුව නාවා ගෙට ගන්නා මව්වරුද අද කාලේ ඇත්තේය.
කොටහළු චාරිත්‍රවලට සේම කොටහළු මංගල්‍යයටද ඈත අතීතයක් ඇත්තේය. මහා සම්මත රජු දවස සිට මෙය පැවත එන බවට ද ජනප්‍රවාදය ද සාක්ෂි දරන්නේය. ඒ කතාවට අනුව කොටහළුව මිනිස් දැරිවියට ලැබී ඇත්තේ දේව දැරිවියන්ගෙන්ය. තමාගේ ජාතකය කෙසේ වෙතත් දේව සභාවල ජාතකය හඟිස්සන්ට පුරුදු වූ ඇත්තෝ පවසන ආකාරයට ඉසුරු දෙවියන්ගේ හා උමා දෙවඟනගේ දියණියන් වන්නේ සරස්වතී සහ උමයංගනාය. මේ දූවරුන්ගෙන් මහා සම්මත රජුගේ අග්‍ර මෙහෙසිය වන්නේ උමයංගනාය. උමයංගනා හා සරස්වතීගේ මල්වර මඟුල සමඟ කොටසළුව නම් නම ඇති වූ බව ජනප්‍රවාදය ඇසුරු කරන්නෝ කැට තියා කියන්නෝය. උමයංගනා දිව්‍ය සළුවක් ඉල්ලා මෑණියන්ට කං කෙඳිරි ගා ඇත. අද කාලයේද දියණියගේ ආසාව සිඳවන්නට ඕනෑම කෙනෙකු කඩේ යැවීමට ඇතැම් මව්පියවරුන් පසු බසින්නේ නැත. දියණියගේ ආසාව සංසිඳවන්නට දිව සළුව බඹ ලොවින් ගෙනෙන්ට ඉසුරු අණ දී ඇත්තේ නීල නම් දෙවියාටය. නීල ගෙනා සළුව ගෙනාවේ උමයංගනාටය. නමුත් අක්කා නගෝ දිව සළුව දෙකඩ කර ඇඳ ඇත්තේ ඇතැම්විට සහෝදරකමටය. කෙසේ නමුත් උමයංගනා මල්වර වී ඇත්තේ සළුව ඇඳ සිටියදීමය. මල්වර වූ රුධිරය සහිත සළුව පිරිසිදු කරන්නට බාර වූයේත් සළුව ගෙනා නීලාටය. දෙවියන් වුණත් ලොක්කා වෙනුවෙන් ඔවුන්ගේ පවුලේ ඇත්තන්ගේ කිළි කුණු පවා හෝදන්නට සොක්කෝ එමටය. දිව්‍යලෝකයේද එය වෙනසක් නැත්තේය. නීලා කිළිටි සළුව රැගෙන ගියේ අනෝතත්ත විලටය. අනෝතත්ත විලේ උන් රකුසාටත් එපා රෙද්දක් නැත. රකුසා සොරාගත්තේ දේව දැරිවිගේ කිළිටි රෙද්දය. අපේ දැරිවියෝ රෙදි ඇන්දාට දේව දැරිවියෝ අඳින්නේ සළුය. නීලාට උමයංගනාගේ සළුව හොයාගන්නට අසුර සහාය ද පතන්නට සිදු විය. සළුව ලැබුණද ලැබුණේ සළුවේ කොටසක්ය. වෙන රෙදි නැත්තා සේ උමයංගනා ඇන්දේ ඒ කොට සළුවය. කොට සළුව, කොටහළුව වූ බවත් එතැන් පටන් දේව දැරිවියන්ගේ මල්වර වීම කොටහළුව ලෙස පතල වූ බවත් කියැවෙන්නේ එදා උමයංගනාගේ කොටහළු ක්‍රියාන්විතය දෑසින් දැක්කන් වන්නට ඇත්තේය. මේ එක් කතාවක් පමණක්ය. විචාරණවා නම් තවත් කතා එමටය. කෙසේ නමුත් දේව දැරිවියන්ගේ කොටහළුව මිනිස් දැරිවියන්ටද අඩුවක් නැතුව ආරෝපණය කර ගන්නට දෙවියන් අදහන අපේ මිනිසුන් ද අකමැති නොවන්ට ඇත. නමුත් දේව කතාවලින් බැහැරව ජන සම්මතය ගැන කතා කරන ප්‍රබුද්ධයන් පවසන්නේ දැරිය කොට සළුව හැරීම කොට හළුව වූ බවය.
කොටහළුව දිව්‍ය ලෝකයෙන් නොව කොයි ලෝකයෙන් පැමිණියද සෑම මනුස්ස දුවකටම ජීව විද්‍යාත්මකව සිද්ධ වන දෙය නම් එකය. සිද්ධිය එක වුණත් කොටහළු චාරිත්‍ර නම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්ය. බොහෝ ප්‍රදේශවල සිදුවන්නේ කොටහළු වූ දැරිය පිරිමින්ගේ ඇස ගැසෙන්නට නොදී වෙන්කර තබා ගැනීමය. ඇතැම් ප්‍රදේශවල ඒ සඳහා තෝරා ගන්නේ නිවසේ කාමරයක්ය. තවත් ප්‍රදේශයක මුළුතැන්ගෙය ආශ්‍රිත කාමරයක්ය. තවත් ප්‍රදේශයක නිවසට බැහැර කිළී පැලක්ය. නාවනතුරු වැඩිහිටි කාන්තාවන්ගේ ආරක්ෂාව ඇල්ම බැල්ම මැද නිවාස අඩස්සියේ සිටින දැරියට අම්මා, පුංචි අම්මා, ලොකු අම්මා, නැන්දම්මා, ආච්චි අම්මා යනාදී විවිධාකාර අම්මලා දැනමුතුකම් දෙන්නේය. මවක් වන්නට සුදුසුකම් සපුරා ඇති බවත්, සුදුසු තරුණයෙක් හා කරකාර යනතුරු විලිබිය ආරක්ෂා කර ගත යුතු බවත් මේ අම්මලා ඇයට කියා දෙන්නේය. කෑමබීම ද තහංචිය. බැඳුමක්, පුළුටක් ගාවන්නේවත් නැත. තැම්බුම් හොද්දෙන් සැනසෙන්නට මේ දැරිවියන්ට සිදු වන්නේය.
නැකත් රාලගේ සුබ නැකතට අනුව කිරි ගහක් පාමුල තැනූ ආවරණයක දැරිය ඖෂධවලින් නහවන්නේ රෙදි නැන්දාය. වස් දොස් යන්නට නෑවූ මුට්ටියත් බිඳ කිරි ගහටත් කොටා දැරිය ගෙට එන්නේ පොල් ගෙඩියකුත් බිඳගෙනය. නාවා ගෙට ගන්නා දැරියගේ නෙත ගැටෙන්නට සලස්වන්නේම සශ්‍රීක දේය. ගේ මැද පහනක් පත්තු කර චාරිත්‍ර ඉටු කරන දැරියට හතර වරිගයෙන්ම තෑගි ලැබෙන්නේය. ගෙට ගොඩ වෙනවිට බිඳින පොල් ගෙඩිය හා චාරිත්‍ර සඳහා ගන්නා පොල් මල දැරියගේ අනාගතය තීරණය කිරීමේ තීරකයාය. ඇය වදන දරුවන් ගණන තීරණය කරන්නේ පොල් මලේ ඇට්ටිය. ජීවිතේ සුබ අසුබ තීරණය කරන්නේ බිදෙන පොල් ගෙඩියය. බිදෙන පොල් ගෙඩියේ අඩු වැඩිය හොයන්නටත්, වතුර විහිඳුණු හැටි බලන්නටත්, පොල් මලේ ඇට්ටි ගණන් කරන්නටත් වැදූ අම්මාට වඩා උවමනාව ඇත්තේ අනෙක් ගැහැනුන්ටය. කෙසේ හෝ දන්නා සෙල්ලම් දා තමාගේ ගෙදර දරුවන් වදන්නට සුදුසුකම් ඇති නාඹරියක් සිටින බව අප්පා දැනුම් දෙන්නේ ගමටම මඟුල් කියාය. එතැන් පටන් නාඹර ගැටවුන්ගේ උරුවම් බෑම් ගැටිස්සියගේ කඩුල්ල ළඟින් නොඇසේ නම් එක්කෝ ඈ බලන්නට බැරිතරම් අජූවය. නැත්නම් ආබාධ සහිතය. කොටහළු මඟුලෙන් පසු ගැටයෙක් හා වහන් නොවී පෝය හත අටක් ගෙවන්නේ එහෙමත් ගැටිස්සියක්ය.
“කියන විදියට මගේ සීයා කසාද බඳිනකොට අවුරුදු දාසයයි. ආච්චිට අවුරුදු 13යි. ආච්චි ලොකු ළමයෙක් වෙච්ච ගමන්ම තමයි සීයා එක්ක ඇවිත් තියෙන්නේ. මනමාලිව ගෙදර එක්ක ඇවිත්, හවස් කරේ මනමාලයා නාන්න ගිහින්. මනමාලයා ගෙදර එනකොට මනමාලි අල්ලපු ගෙදර කෙල්ල එක්ක අඹ ඇට පනිනවාලු.”
මගේ සිංහල ගුරුතුමා මේ කතාව කිව්වේ අපි නාඹර ගැටිස්සියන් කාලේය. සිංහල සාහිත්‍ය පාඩමේ දී එදා කියූ මේ කතාවට පන්තියේ කොල්ලන් හූ කිය කිය හිනා වුණේය. කෙල්ලන් වූ අප විලියෙන් ඇඹරුණේය.
“ඕගොල්ලන්ගෙ වයස වෙද්දි අපේ ආච්චි දරුවො තුන්දෙනෙක් වදලා තව එකෙක් වදන්න බඩිනුත් ඉන්නවා. එහෙම බැලුවාම ඕගොල්ලො හරිම ප්‍රමාදයි. ඒ කාලේ අපේ ආච්චිලා දරුවො හත අටක් වදලා බඩපිස්සා බඩේ ඉදිද්දි තමයි ලොකු කෙලී දීග දෙන්නේ. ලොකු කොලූටත් මනමාලියක් ගෙනත් දීලා , ඒ ඇත්තියො ළමයි වැඳිල්ල අහවර කරලා දෙන්නා දෙපොලේ නිදාගන්න කාලේ තමයි දැන් කාලේ කෙල්ලො කැම්පස් ගිහින් ඉවර වෙලා රස්සාවල් කරලා, කසාද බැඳලා, ළමයි හදන්න පටන් ගන්නේ.”
ඒ, ඒ කාලයේ කොටහළු වීම් හා දීග යෑම්ය. ඒත් අද කාලයේ කොටහළු දියණියක් දීග යන පෝය ගණින්ට ගණක යන්ත්‍රයක උපකාර ලැබිය යුතුය. චාරිත්‍ර ද අකුරට ඉටු කරන බවක් පෙනෙන්නට නැත. රෙදි නැන්දලා නම් බෙහෙතකටත් හොයා ගන්නට නැත. රෙදි නැන්දාගේ කාර්යය කරන්නේද අම්මාය. ගමේ නම් කිරි ගසින් අඩුවක් නැත. පේලි ගෙවල්, තට්ටු ගෙවල්, තාප්පවලින් වටවූ පස් බිඳක්වත් නැති ගෙවල්වල තබා අහලපහලකවත් කිරි ගහක් නැත. තොවිල් බඩු කඩවල හැරෙන්නට ගහෙන් කඩා ගන්නා නැවුම් පොල් මල් ද නැත. ඒ තබා අම්මාට චාරිත්‍ර ගැන දැනමුතුකම් දෙන්නට වැඩිහිටියන්ද නැත. ඒ සියල්ල නොමැති වුවද අද කාලේ දැරියෝ ගෙට වෙති. ඔවුන‍්ගේ අම්මලා ඔවුන්ව නාවා ගෙට ගනිති. චාරිත්‍රවල අඩුවක් තිබුණත්, දූව දැන්මම දීගෙක නොයැව්වත් කොටහළු මඟුල ජයටම ගන්න අම්මලා අප්පලා අකමැති නොවෙති.
“මූදුකරේ නම් ඔය ඇට්ටෝන් ගෙවල් ජයට ගන්නවා. ඒ අය මඟුලක් කියලා කන්නේ ඕක තමයි. ආයෙ ඉතින් කසාද බැඳිල්ලක් නෑනේ. එක්කො කෙල්ල කොල්ලෙක් එක්ක පැනලා යනවා. නැත්නම් අම්මලා තාත්තලා ගේ කැමැත්තෙන්ම කොල්ලගෙ ගෙදර නතර වෙනවා. හුඟාක් වෙලාවට එහෙම වෙන්නේ දන්නෙම නැතුව කෙල්ගෙ බඩට දරුවෙක් ආවාම.”
දකුණු පළාතේ මුහුදුබඩ ප්‍රදේශයක වසර ගණනාවක් රාජකාරී කරන පවුල් සෞබ්‍ය සේවිකාවක් එම පළාතේ ඇට්ටෝන් හෙවත් කොටහළු මඟුල් ගැන කීවේ එබන්දකි.
ලොව බිළිගත් කොරෝනා ලංකාවේ කොටහළු වන දැරියන්ට නම් යහපතක් කළේය. අම්මා, අප්පාවරුන්ගේ ආසාවන් යටපත් කර නිරෝධායන නීතිවලට යටත් වෙමින් නිශ්ශබ්දවම දුව නාවා ගෙට ගන්නට ඔවුන් සිදු විය. දැඩිව නිරෝධායන නීති පැවති සමයේ අලුත් ඇඳුමක්, කණ කර ආයිත්තමක් පවා නොමැතිව නවා ගෙට ගත් දැරියෝ එමටය. ඒ දැරියන්ගේ අම්මලා විස්සෝප වන්නේ කොරෝනා තමන්ගේ දියණියට කරන්නට සිටි යුතුකම් කරන්නට ඉඩ නුදුන් නිසාය. ඒත් දැරිවියෝ සතුටු වන්නේ අම්මලාගේ විකාර නාඩගම් නොමැති වූ නිසාය.
මේ අද කාලේ ගැටිස්සියන්ගේ සිතුවිලිය. අම්මාවරු තේරුම් නොගන්නේ ද මේ සිතුවිලිමය. දැරියක් කොටහළු වීම එහෙමත් නැත්නම් මල්වර වීම ඇයගේ සරු බවේ සංකේතයය. ඇය මවක් වීමට සුදුසුකම් ඇත්තියක් බව ඇඟවීමය. විවාහයට සුදුසු වන්නේ ද මවක් වීමට සුදුසු තැනැත්තියය. එහෙත් දෙව් දූවරුන්ට ඒ කාරණා අදාළ නැත. පුරා වෘත්තවල හැටියට උමයංගනාව මහා සම්මත රජු හා විවාහ වෙන්නේ මල්වර මඟුලටත් කලියෙන්ය. ඔවුන් අනුකරණය කරමින්දෝ ඈත අතීතයේ දැරියෝ ද මල්වර මඟුලටත් කලියෙන් දීග ගියෝය.
ඒ, ඒ කාලයේ සහ දේව ලෝකයේ කතාය. අද කාලයේත් දැරියක් යුවතියක් වන්නට පෙර ගැහැනියක් වන අවස්ථා එමටය. ඒ දැරිවියන් දීග ගිය නිසා නොවේය. සමාජයේ වෙසෙන කාමාතුරයන්ගේ කාමාශාව නිසාය. අද කාලයේ දුවෙක් වැදූ මවකට ඇහිපිය ගහන්නටවත් නිදහසක් නැත. අතීතයේ අම්මලා දූවරු රැක්කේ දුව දැනමුතු වූවාට පස්සේය. අද අම්මලාට දූවරු රකින්නට සිදුව ඇත්තේ පෙකිණිවැල කැපූ දා සිටමය. එබැවින් අද කාලයේ දියණිය කොටහළු වීම කා බී විනෝද වන්නට තරම් අම්මාවරුන්ට සතුටු කාරණයක් නොවන්නේය. දැන උගත් සිහි බුද්ධිය ඇති අම්මලා සමාජය ගැනත්, එහි වෙසෙන විවිධ පුද්ගලයන් ගැනත්, ඇය විසින් මර උඟුල්වලින් බේරිය යුතු ආකාරය ගැනත් කියාදිය යුත්තේ එදා මෙන් දියණියගේ කිළී ගෙය ඇතුලෙදී නොවේය. දියණියට දැනමුතුකම් දිය යුත්තේ ඇය තම තන කිරෙන් නිදහස් වූ දා සිටය. එය එසේ නොවුණහොත් පිරුවට ඇඳි දියණිය පෝරු මස්තකයේ සිටුවා දොහොත් මුදුණින් බෑණාගෙන් කිරිකඩ හේලය ගන්නට අම්මාට සිදුවන්නේ දියණිය සමඟ කන්‍යාපටල වෑල්ඩින් කරන ස්ථානයට ගිය පසුවය.
හිමේෂා සවන්තී රාජපක්ෂ