බ්‍රෙෂියර් නැති නෝනලා ලිප්ටන් වටරවුමට එන්නේ කවදාද?
‘‘උදේ ඉඳන් හිරකරගෙන ඉන්න ඇඳුම් ටික ගලවලා වොෂ් එකක් දාගෙන නයිටියක් ඇඳ ගත්තම තමයි මට නිවන් ගියා වගේ දැනෙන්නේ. දැන් ඉතිං ඒ නිදහසත් නෑනේ.’’
මගේ කාර්යාල මිතුරියක් මෙලෙස විස්සෝප වූයේ විශ්වවිද්‍යාලයට යෑමේ පහසුව තකා තම නිවසේ නවාතැන් ගත් ඥාති පුත්‍රයා නිසා තමාගේ නිදහස අහිමි වී යාම ගැනය.
‘‘මට ඒ ළමයට උයලා දෙන එක මහා දෙයක් නෙමෙයි. ඒත් පිට කෙනෙක් ගෙදර ඉන්නකොට ෆුල් සූට් ගහගෙන ඉන්න ඕන කියලා මතක් වෙද්දි තමයි මගෙ ඇඟ රිදෙන්නේ.’’
දරුවන් දෙදනෙකුගේ මවක් වූ ඇය නිදහස අපේක්ෂා කරන්නේ යට ඇඳුම්වලින් තොර රාත්‍රී ඇඳුමෙනි. සැහැල්ලු සරමක සුවය ලබන්නට පිරිමි පාර්ශවයේ ඇති කැමැත්ත, යට ඇඳුම්වලින් නිදහස් වූ රාත්‍රී නිදන ඇඳුමකින් කාන්තාවන් ලබන සැහැල්ලුවට කිසිසේත් දෙවනි නැත. එහෙත් එය රිසි සේ විඳගැනීමට පිරිමින් තරම් කාන්තාවන් වාසනාවන්ත නොවන්නේ මගේ කාර්යාල මිතුරිය මුහුණ දුන් අත්දැකීම් වැනි තවත් බොහෝ දේ සැහැල්ලු ඇඳුමේ නිදහසට බාධා කරන බැවිනි.
විලිබිය ඇති ගැහැනු දැරිවියෝ යට ඇඳුම් ක්‍රමානුකූලව අඳින්නේ ගැටිස්සියක් වූ දා සිටය. නීති පොත්වල එලෙස සටහන් කර නැතත් සමාජ සම්මත නීතිය එයය. යට ගවුමක පහසට හුරුවූ සියුමැලි සිරුරක් පටිවලින් සිර කිරීම එක අතකට යුද්ධයකි. සහෝදරයන් සමඟ හරි හරියට වත්තේ දුව පැන ඇවිද්ද දැරිය ගැටිස්සියක් වන්නේ හිටි හැටියේමය. කාන්තාවකගේ ජීවිතේ නාවා ගෙට ගන්නා පළමු සහ අවසාන අවස්ථාව වන ඒ අපූරු මොහොතේ තම දියණියගේ විලිබිය රකින්නට, අවවාද අනුශාසනා දෙන්නට ඇය වටා රොක්වන්නේ වැදූ අම්මා පමණක්ම නොවේ. අත්තම්මා, පුංචි අම්මා, ලොකු අම්මා, නැන්දම්මා යන එකී මෙකී සියලු අම්මලා නිවාස අඩස්සියේ සිටින දැරිය නාවා ගෙට ගන්නා තෙක් උගන්වන පාඩම් බොහෝය. එතැන් පටන් අම්මාගේ ඇස් කැරකැවෙන්නේ තලමල මෙන් මෝරන දුව වටාය. ස්ත්‍රී අංග ලක්ෂණ ඉස්මතු කරමින් දිනෙන් දින වැඩෙන නාරි දේහයේ සියුම් නිරීක්ෂණයන් මඟ හරින්නට ඇය ඇහිපිල්මක ප්‍රමාදයකටවත් ඉඩ නොහරින්නීය. එහි ප්‍රතිඵලයක් ලෙස දියණියගේ ඉදිරියට මෝරන තන් ගැට, ගැටවුන්ගේ ඇස ගැසීමට පෙර අම්මා තනපටකින් වසා දමන්නීය.
‘‘අනේ පුංචි, ඉස්කෝලෙදි මට හුස්ම ගන්නත් අමාරු වුණා. මේ කෙහෙල්මල ඒ තරම්ම තදයිනේ. දාඩිය දානකොට ඉන්න බෑ අනේ. ගෑනු වුණේ මොන කරුමයකටද මන්දා.’’
මීට වසර දෙක තුනකට පෙර සැහැල්ලු යට ගවුම යටින් හා හා පුරා කියා තනපටක් ඇඳි ඥාති දියණියගේ දුක් අදෝනාව තාමත් මගේ සවන් අතර රැව් පිළි රැව් දෙන්නේය. එදා අම්මාගේ කටේ බලයට තනපටේ ගැට තද කර ගත් ඈ අද නින්දේදීවත් එයින් මිදීමට නොසිතන්නීය. එහි ප්‍රතිඵලයක් ලෙස පපු ප්‍රදේශයේ ආ ගැටිති දෙකක් කුඩා ශල්‍යකර්මයකින් ඉවත් කරන්නට වෛද්‍යවරුන්ට සිදුවිය.
‘‘මේ ළමයාට කොච්චර කිව්වත් අහන්නෙ නෑ රෑටත් බ්‍රා එක අඳිනවා. ඇදුම් නිසා හරියට දාඩිය පිටවෙන්නෙ නැතිකොට ඔය වගේ ගැටිති එන්න පුළුවන් කියලා ඩොක්ටර් කිව්වා. කරදර මදිවට විහින් නැති කරදර දාගන්නවානේ මේ ළමයි.’’
එදා දුවගේ දැඩි විරෝධය මැද ඇයට තනපට ඇන්දූ අම්මා අද නින්දේදිවත් එය මුදන්නේ නැති තම දියණිය ගැන විස්සෝප වන්නීය
තනපට එසේත් නැත්නම් බ්‍රා කාන්තා ඇඳුමේම අංගයකි. නමුත් එය ඉතා රහස්‍ය ඇඳුමක් ලෙස සැලකූ කාලයක්ද විය. බ්‍රා පටියක් එළියට නිරාවරණය වීම ඒ දැරිවියගේ නොහික්මුණු බවේ ලක්ෂණයක් හා පිරිමින් එය දැකීමෙන් ඔවුන්‌ගේ විලිබිය නැතිවීම හා සමාන දෙයක් විය. නමුත් දැන් බ්‍රා අදින්නේ පටි පෙනෙන්නටය. ගල් අල්ලා විසිතුරු කළ බ්‍රා පටි පමණක් නොව ගල්, මල් අල්ලා හැඩ කළ බ්‍රා ද එමටය. විදෙස්ගත තරුණයෙක් තම සොයුරියගේ ඉල්ලීමට ඇයට රට බ්‍රා රැගෙන එන්නට ඇඳුම් සාප්පුවකට ගියේය. ගල්, මල් අල්ලා විසිතුරු කළ බ්‍රා දැක හේ මවිත වී, එවෙලෙහිම තම සොයුරියට කතා කොට විමසා ඇත්තේ මෙච්චර ලස්සන ඒවා යටට ඇඳීමේ හේතුවය.
කාන්තාවන් වන අපට තනපට හා බැඳුනු කතා එමටය. ඇතැම් කතා හාස්‍යජනකය. තවත් කතා අතිසංවේදීය. තනපට නිසා පවුල් ජීවිත අවුල් වූ කතා ද ඒ අතර ඇත. තනපට නිසා නැන්දා ලේලි කෙහෙවලු පටලවා ගත් අවස්ථාවක් ගැන මම කිවහොත් ඔබේ ඇස් නළලට යනු ඇත. තනපට වටා ඇති ප්‍රබන්ධ සේ එයද ප්‍රබන්ධයකැයි නිසැකවම ඔබට සිතෙනු ඇත. එහෙත් සත්‍ය ලෙසටම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ මගේ මිතුරියක් විවාහ වූ අලුත තම නැන්දම්මා සමඟ හිත් අමනාපකම් ඇති කරගත්තේ තනපටක් මුල් කරගෙනය. අවසානයේ නැන්දම්මා ලේලි ගැටුම දුරදිග ගොස් තම සැමියා සමඟ වෙනම නිවසක වෙසෙන්නට ඈ ගියේ තනපටක් නැති නිදහස් දිවියකට ඇති ඇල්ම නිසාමය.
‘‘රස්සාවට යන කෙනෙක්ට නම් යට ඇඳුම් අදින්නම වෙනවා. ඒත් ගෙදර ඉන්නකොටත් ඒවා හිර කරගෙන ඉන්න මම නම් කැමති නෑ. විශේෂයෙන් ගෙදරට බ්‍රා එක අඳින්න නම් මම කැමතිම නෑ. මම මහත කෙනෙකුත් නෙමෙයි. බ්‍රා එකක් නෑ කියලා ප්‍රශ්නයකුත් නෑ. කොහොමත් මම ගෙදරට අඳින්නේ අත් නැති ගවුම්. නැත්නම් ස්කිනීස්. අපේ නැන්දම්මා මගේ හොයාගත්ත එකම වරද තමයි මම ගෙදරට බ්‍රා එකක් අඳින්නෙ නැති එක. එයා ඇඳෙන් නැඟිටින්නේ සියලු ඇඳුම් අඩුපාඩුවක් නැතුව ඇඳගෙන. මුල්ම දවසෙ මම බ්‍රා එක නැතුව ඉන්නවා දැක්කම නැන්දම්මාගෙ ඇස් උඩ ගියා. ඉස්සෙල්ලා වටින් ගොඩින් එයාගෙ අකමැත්ත පෙන්නුවා. ඊට පස්සෙ මට කෙළින්ම කිව්වා. එයා කියන දේ මම කණකට ගන්නෙ නැති තැන හස්බන්ඩ්ටත් කේලම කිව්වා. අන්තිමට ප්‍රශ්නෙ දුරදිග ගිහින් බ්‍රා එකක් නිසා අපි ගෙදරින් ආවා.’’
පටි සහිත, පටි රහිත, විවිධ හැඩැති, විවිධ වර්ණැති විවිධ මිල ගණන්වල හා ආනයනික තනපට රාශියක්ම හිමි ඇය ගෙදරට තනපට නොඇඳීම නිසා විවාහ වූ අලුතම නැන්දම්මාගෙන් ලකුණු කපා ගත්තාය.
සම්භාව්‍ය සාහිත්‍යයේ තිසරුපට ව්‍යවහාර සාහිත්‍යයේදී තනපට විය. ඇමරිකාවේ බ්‍රෙසියර් පසුකලෙක බ්‍රා විය. මේ කුමන නමකින් හැඳින්වුවත් ඉන් සිදුවූයේ කාන්තාවනගේ පියයුරු වසා දැමීමය. මීට කලකට පෙර ගමේ ගොඩේ අත්තම්මලාට මෙය බොඩිය විය. තවමත් බොඩි අඳින අත්තම්මලා ගම් රටවල්වල ඇත්තේය. කට්ලොන් හැට්ටයට යටින් ඒ ඇත්තෝ ඇන්දේ පොපිලින් බොඩිය. බොඩිය හීනි පටි සහිත තවත් හැට්ටයකි. යට සාය වෙනුවට පරණ චීත්තයට උඩින් අලුත් චීත්තයක් අඳින අත්තම්මලා බොඩියට උඩින් හැට්ටය අඳිති. රාත්‍රී නිදන ඇඳුමක් ගැන නොදන්නා ඔවුන් හැට්ටය ගලවා බොඩිය පිටින් නිදාගනිති. අත්තම්මලා සුද්දියන්ගේ බ්‍රා නොඇන්ද ද තමාගේ ක්‍රමයට තනපුඩු එළියට නොපෙනෙන සේ බොඩිය සකස් කරගත්තේය. බොඩි නොඇඳ සුද්දියන්ගේ බ්‍රා ඇඳි ගමේ අක්කලා ද එකල එය හැදින්වූයේද බොඩිය ලෙසය. බොඩිය පිළිබඳ රස කතා එමටය.
කැබතිගොල්ලෑව පැත්තේ තරුණයෙක් ඝාතනය කළ බව ආරංචි වූ පොලිස් නිලධාරීන් මළසිරුර සොයා ගමට ගියෝය. පාර දිගේ දුවන ගම්මුන් මළසිරුර දැක ගන්නට යන බව තරුණ පොලිස් නිලධාරීන් අනුමාන කළෝය. මළසිරුර ඇති තැන ගැන විමසීමට සිතා ඔවුන් ජීප් රථය නතර කළේ දුව යන තරුණියක් අසලය. පොලිස් නිලධාරීන් තරුණියගෙන් මළසිරුර ඇති තැන විමසූ විට හිටි තැනම මොහොතකට ගල් වූ ඇය පපුවට අත තබා පසු පස හැරී දුව ගොස් ඇත්තේ පොලිස් නිලධාරීන් ද අන්දුන් කුන්දුන් කරමින්ය. පොලිස් නිලධාරීන් දුව යන තරුණිය නතර කර අසා ඇත්තේ ‘‘නංගි බොඩිය කෝ?’’ කියාය. මළසිරුර ගැන ආරංචියට දුව යන තරුණියට කලබලයට තනපට අඳින්නට අමතක වී ඇත. පොලිස් අයියලා බොඩිය විමසද්දී ඇය ගාල කඩා ගත් එළදෙනක සේ දුව ගියේ පොලිස් අයියලා තමා බොඩියක් නොඇඳි බව දැනගත් ලැජ්ජාවෙන්ය.
ඒ කලකට ඉහත බොඩි ඇඳි අක්කලාගේ කතාය. මේ කියන්නට සූදානම් වන්නේ බ්‍රා අඳින නංගිලාගේ කතාය. හදිසියේ අසනීප වුණු තම බෝඩිමේ මිතුරියව තවත් මිතුරෙකුගේ ද සහයෙන් රාත්‍රී යාමයේ රෝහලට රැගෙන ගිය විශ්වවිද්‍යාල සිසුවියකට ගමනේ බාගයක් දුර ගොස් යන ගමන නවතා නැවත බෝඩිමට එන්නට සිදුවිය. ඒ අසනීප සිසුවියට අතරමගදී තමන් බ්‍රා එක නොඇඳි බව සිහිපත් වීම නිසාය. මරණාසන්න වුණත් තනපටක් නොමැතිව වෛද්‍යවරයෙක් හමුවීමට අකැමැති වූ රෝගී මිතුරිය බෝඩිමට විත් තනපටක් ඇදගෙන එනතුරු ත්‍රීවිල් අයියා සමඟ ත්‍රීවිලරයේ සිටින්නට මිතුරියන්ට උදව්වට පැමිණි සිසුවාට සිදුවි ඇත. මිතුරිය සනීප වී පැමිණි පසු ඔහු යුතුකම අකුරට ඉටු කළේ ඇයට ‘නෝබොඩි’ යයි නමක් පටබදිමින් එය තම මිතුර මිතුරියන් අතරද ප්‍රචාරය කරමින්ය.
තනපට එසේත් නැත්නම් බ්‍රා බොහෝ කාන්තාවන්ගේ ඇඳුමේම කොටසකි. එක එක කාන්තාවන්ගේ පියයුරු එකිනෙට වෙනස්ය. වෙනසේ හැඩයන්ට සහ අවශ්‍යතාවයේ හැටියට, විවිධ බ්‍රා වර්ග මේ වනවිට වෙළෙඳපොළ අතික්‍රමණය කර හමාරය. තනපට ඇඳීමට අකැමති කාන්තාවන් සඳහා ඉතා කුඩා තනපුඩු ආවරණ ද අවශ්‍යතාවයේ හැටියට වෙළෙඳපොළට පැමිණ ඇත. නිරූපිකාවන් සඳහා, ක්‍රීඩිකාවන් සඳහා, යෞවනියන් සඳහා පමණක් නොව කිරිදෙන මව්වරුන් ද බ්‍රා වෙළෙඳපොළේ වැදගත් පාරිභොගිකයෝය. කුඩා පියයුරු විශාල කර පෙන්වීමට, එල්ලා වැටෙන පියයුරු උස්කර පෙන්වීමට, විශාල පියයුරු කුඩා කර පෙන්වීමට මේ බ්‍රා නිර්මාණකරුවෝ අතිදක්ෂයෝය. අලුත් අලුත් විලාසිතා හඳුන්වාදෙමින් දිනෙන් දින අලුත් වන බ්‍රා ව්‍යාපාරයට සතුරු බලවේගද ඉඳහිට ඉස්මතු වන්නේය. ඒ අන් කවරෙකුගෙන්වත් නොව බ්‍රා විරෝධීන්ගෙන්ය.
‘‘ඔක්කොමත් හොඳයි මේ බ්‍රා එක තමයි මට තියන ලොකුම කරදරය. ඔන්න ඔය වෙලාවට තමයි මට කොරියාවට යන්න හිතෙන්නේ.’’
තනපටය කරදරයක් වූ ඒ යුවතියට කොරියාව මතක් වන්නේ දකුණු කොරියානු නිළියක හා ගායිකාවක් වන සුල්ලී විසින් ආරම්භ කළ මේ වනවිටත් ජනප්‍රිය No Bra පෙරළිය නිසාය. වැඩිමල් සහෝදරයන් තුන්දෙනෙක් සිටින නිවසක ලැජ්ජාව බය අකුරට උගන්වන අම්මා කෙනෙකුගේ දියණියක වන ඇයට තනපටින් නිදහස් වීමට අවසර ලැබෙන්නේ රාත්‍රී නිදන යහනේදී පමණක්ය. වාරණ පනවන මවවත්, වාරණ පැනවීමට හේතුව පිරිමි සහෝදරයන් සිටීම ගැනවත් ඇයට තරහක් නැත. එහෙත් ගැහැනුන්ට තනපට අන්දන්නට පුරුදු කළ අයිඩා ගැන ඇයට ඇත්තේ නොසංසිදෙන වෛරයකි. අයිඩා ජීවත්ව සිටියා නම් ඇය මිය යන්නේ නහය දැවිල්ල ඉවසා දරා ගැනීමට නොහැකිවය. ඒ තරමට දිනකට කිහිප වතාවක් මේ යුවතිය අයිඩා ඉතා ආදරයෙන් සිහිපත් කරන්නීය.
රුසියාවේ සිට ඇමරිකාවට පැමිණි යුදෙව් සංක්‍රමණිකයෙක් වූ අයිඩා රොසෙන්තාල් ඇඳුම් විලාසිතාගාරයක හිමිකාරියකි. තමන් විසින් අලුතෙන් හඳුන්වා දුන් කාන්තා ඇඳුමකට පියයුරු පැතලියට පෙනෙන සේ නිර්මාණය කළ විශේෂ ඇඳුම ලොවක් කළඹන්නට තරම් හැකි වේයැයි එදා අයිඩා නොසිතන්නට ඇත. නොමිලයේ ලබා දුන් පැතලි පියයුරු යට ඇඳුම සහිත කාන්තා ඇඳුමට ඉතා හොඳ ඉල්ලුමක් ලැබුණත් පියයුරු පැතලියට පෙනෙනවාට වඩා උස්ව පෙනීමෙන් කාන්තා සිරුරට වඩා ආකර්ශනයක් එක් වන බව අයිඩා මේ අත්හදා බැලීමෙන් තේරුම් ගත්තාය. එතැන්පටන් වටකුරු පියයුරු උස්ව පෙනෙන සේ මේ අපූරු යට ඇඳුම මසන්නටත්, එය තමන්ගේ සාප්පුවෙන් ඇඳුම් මිලදී ගන්නා කාන්තාවන්ට සෑම ඇඳුමක් සමඟම නොමිලයේ ලබා දෙන්නටත් ඇය කටයුතු කළාය. එහි ප්‍රතිඵලය විස්මිත වූයේ අයිඩාගේ ඇඳුම් ජනප්‍රිය වීමත් පසු කලෙක උඩු ඇඳුම නොමැතිව යට ඇඳුම පමණක් ඉල්ලා ඇඳුම් සාප්පුවට පැමිණෙන කාන්තාවන් වැඩි වීමත් සමඟය.
අයිඩාගෙන් ආරම්භ වූ පියයුරු ආධාරකය, බ්‍රෙසියර් වූ අතර බ්‍රෙසියර් බ්‍රා විය. වෙළෙඳ භාණ්ඩයක් ලෙස බ්‍රෙසියර් ඇමරිකානු වෙළෙඳපළෙට ඇතුළු වූයේ විසිවන සියවස ආරම්භයේදීය. නිදහසේ එල්ලා වැටුණු පියයරු වෙනුවට උස් පියයුරුවලින් හැඩවීමට කැමති කාන්තාවෝ බ්‍රා වැළඳ ගත්තේ උන්මාදයෙනි. ඒ උන්මාදය කොතෙක් වීද යත් තනපටයෙන් සමාජ තත්ත්වය කියාපානන්ටද වැඩි කලක් ගත නොවීය. ඩොලර් කාසි වෙනුවෙන් අපේ රටේ අහිසංක සන්නාලියන්ගේ දහදිය සමඟ මුසු වී නිමැවෙන තත්ත්වයක් ඇති තනපට තත්ත්වයක් ඇති සුදු, කළු නෝනලාගේ පියයුරු හැඩ කරන බව ද නොරහසකි. සුදු නෝනාලාගේ පියයුරුවලින් නොනැවතී මුළු ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම බොහෝ නෝනලාගේ පියයුරු ආක්‍රමණය කළ බ්‍රා අපේ නෝනලාද දෑත පා බාර ගත්තේ කලකට ඉහතය. බදාගත් වේගයට එපා කියන්නට අපේ නෝනලාට හදිස්සියක් නැතුවා වන්නට ඇත. මන්ද තවමත් අපගේ ලැජජාව, බය, සදාචාරය සංස්කෘතිය ගැට ගසා ඇති නූල දිරා නොගිය නිසාය. එබැවින් සුල්ලි ලා කොයි තරම් කල්ලි ගැසුනද රහසේ බ්‍රා වර්ජනය කරනවා හැරෙන්නට බ්‍රා නොඇඳි අපේ නෝනලා දැන්ම ලිප්ටන් වටරවුමට නොපැමිණෙනු ඇත.
හිමේෂා සවන්තී රාජපක්ෂ