දැරියකට අමානුෂික වදහිංසා කළ කුඩම්මා අත්අඩංගුවට
9 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස වදහිංසා කළ 29 හැවිරිදි කාන්තාවක් කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව, දැරියගේ පියාගේ දෙවෙනි බිරිඳ බවයි පොලීසිය සඳහන් කලේ.
සිද්ධියට සම්බන්ධ දැරිය කඩුවෙල ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක 4 වන වසරේ ඉගෙනුම ලබනවා.
අදාළ දැරිය විසින් ඇයට සිදුවෙන වදහිංසා පිළිබඳ විද්‍යාලයේ ආහාර පිසින කාන්තාවට පැවසීමෙන් අනතුරුව ඇය විසින් පන්තිභාර ගුරුතුමියට සිද්ධිය සම්බන්ධව දැනුම් දී තිබෙනවා.
පසුව ගුරුවරිය විසින් කළ දැනුම්දීම මත විදුහල්පතිතුමිය හා අදාළ දැරිය සමග ගොස් පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ දැරිය පෙර පාසලේ ඉගෙනුම ලබන කාලයේදී ඇයගේ මව නිවසින් පිටව ගොස් ඇති අතර පසුව පියා විසින් අදාළ සැකකාර කාන්තාව නිවසට කැඳවාගෙන විත් තිබෙනවා.
ඒ වනවිට සැකකාර කාන්තාවට පෙර විවාහයේ පිරිමි දරුවෙක් ද සිටින බව පොලීසිය සඳහන් කළා.
මෙහිදී පොලිසිය සඳහන් කලේ, සැකකාර කාන්තාව විසින් අලුයම 4ට අවදිව දැරියව අවදිකර පොල් ගාවා ගැනීම, එළවළු කපා ගැනීම හා වළං සෝදා ගැනීම සිදුකර ඇති අතර, සැකකාර කාන්තාවගේ සහ ඇගේ දරුවාගේ ඇඳුම් පවා දැරිය ලවා සෝදාගෙන තිබු බවයි.
එම දැරියට යම් වැඩක් අතපසු වූ අවස්ථාවක දී මෝල් ගසකින් ද පහර දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වී ඇත්තේ, පසුගිය (10) වනදා සැකකාරිය විසින් දැරියව බිම දමා කකුල් පාගා බඩ ප්‍රදේශයට දණහිසෙන් පහර දී ඇතැයිද අනතුරුව සැකකාරිය දැරිය අමතා එය කිසිවකුට හෝ පැවසුවොත් “තෝව මරලා දින දාහතරකට හිරේ යනවා” යැයි මරණීය තර්ජනය කළ බවයි.
සැකකාරිය ඇයගේ දරුවා සමග ඇඳක නිදාගන්නා අතර දැරියට කැඩුණු පැදුරක් ලබාදී ඇතැයිද, නිවස තුළ වූ නාන කාමරයෙන් දියනෑම දැරියට තහනම් කර ඇති අතර නිවස පිටුපස තිබෙන වැසිකිලිය තුළ සවි කර තිබෙන ජල කරාමයෙන් දැරියට දිය නෑම සඳහා අණ කර ඇතැයි දැරිය පවසා තිබෙන බව පොලිස් නිලධාරිනියක් සඳහන් කළා.
එම පොලිස් නිලධාරිනිය වැඩිදුරටත් සඳහා කලේ, දැරියගේ ශරීරය පුරාම පිළිස්සුම් තුවාල, කැලැල්, තැලුම් තුවාල කැලැල් රැසක් මතු පිටින් පෙනෙන බවත් යම් යම් ස්ථාන ස්පර්ශ කිරීමේදී ඇය වේදනාවෙන් පෙළෙන බවයි.
අදාළ දැරිය මුල්ලේරියා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකාරිය කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.