දියෙන් ගොඩ දාපු මාළුවෝ වගේ හුස්ම අල්ලගන්න බැරුව මිනිස්සු මැරෙන හැටි දැක්කනම් ගෙදරින් එළියට බහිනවා තියා ජනේලෙන්වත් ඔලුව දාන්නේ නෑ
“මම කොරෝනාවල අවසානම අදියරේ ඉන්නේ. මගේ ඇඟේ ඔක්සිජන් අඩුවෙලා. මගේ පෙනහලු කළුම කළු පාටයි. ඒ කියන්නේ මම ඉන්නේ වෛද්‍යවරුන්ට බේරගන්න පුළුවන් මට්ටමක නෙවෙයි. ජීවිතේ එහෙම තමයි. තාම විඳවනවා. මට තවත් දරාගෙන ඉන්න බෑ. වීදුරු ජනේලෙන් ගෙදර මිනිස්සු එබිලා බලා ඉද්දි ඒ මිනිස්සුන්ට පේන්න හුස්ම අල්ලන් හිටියා. තවත් බැහැ දැන් යන්න ඕන. කියන්න දේවල් ගොඩයි. මම ගිහින් එන්නම්.”
ඒ නිශා කරුණාදාසගේ වදන්ය. ඇය එම සටහන මුහුණුපොතට එක්කර තිබුණේ කොරෝනාව හා සටන් කරමින් රෝහල් ඇඳක සිටය. හිත කීරි ගැසී යන එම වදන් පෙළ ඇගේ පමණක් නොව ඇය වාගේම කොරෝනාවට ගොදුරු වී ජීවිතය අල්ලා ගන්නට වෙර දරන අවිහිංසක හිත්වල වේදනාත්මක අත්දැකීමය.
ජීවිතයේ දුරක් යන්නට සිහින දැක ඒ සිහින අතරමඟ අතහැර, යළි නොඑන්නම යන ගමනක් පෙනි පෙනී එය දරාගන්නට හිතකට කොතරම් අසීරුදැයි අමුතුවෙන් කිව යුතු නැත. බලන බලන අත විශාලා මහනුවරක් සේ දිස්වෙද්දී රෝගී හිත් නොව නිරෝගී හිත් ද කඩා වැටෙන්නේ ජීවිතයක අනියත බව මොනවට පසක් කරමිනි. එහෙත් අපහසුවෙන් වුව හුස්ම අල්ලමින් සෑම අයෙකුම වෙර දරන්නේ සුව වී ගෙදර යන්නට, තම හිතෛෂීන් සමඟ තවත් කලක් ජීවත් වන්නටය. එක්කෝ ඒ සිහිනය ඉටුවේ. නැත්නම් කොරෝනා මාරයාට පැරදෙන්නට සිදුවේ. ඒ වේදනාව, අවිනිශ්චිත බව මැද්දේ නිශා කරුණාදාස මුහුණුපොතට කවියක් ද එක්කර තිබුණාය.
“බොහෝ විට
ආයේ එන්න බැරිවෙයි
අයියේ මාපියෝ
හොඳින් රැකපං
දරුපැටව් මගේ
මඟ බලන් ඇති
උන්ගේ හිත්
මල් වගේ රැකපං
පිච්චෙද්දි මගේ දෙණ
ඉහළ අහසට
ඇදෙන දුම් වළලු
බලපන්
ඒ අස්සේ මම
හිනාවෙද්දී
ගෙදර ඔක්කොමත් එක්ක
අනේ මට පොඩි හාදු එවපං”
නිශා ප්‍රතිකාර ලැබුවේ වව්නියාව රෝහලේය. මරණයේ සීතල දැනි දැනී තම සිත අකුරු කළ ඇයව ජීවිත අවධානමෙන් මිදී සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර සඳහා යොමුකළ බවට එහි රෝහල් අධ්යක්ෂවරයා සඳහන්කොට තිබුණි.
ඇය වාගේම මෙම බිහිසුණු අත්දැකීම අභියසට ගිය කලා ලොවේ ආදරණීයයන්ද සිටිති. ‘දෙවනි ඉනිමේ’ දෙව්මි හෙවත් නයනතාරා වික්‍රමආරච්චි ද දින ගණනාවක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබුවේ කොරෝනා වැළඳී මරණයේ බිහිසුණු බව පෙනි පෙනීය. ඇය මුහුණුපොතට ඒ බව එක්කර තිබුණේ මෙසේයි.
“මට ඇත්තටම හිතාගන්න බෑ කොතනින් පටන් ගන්නද කියලා. මට කළ පී.සී.ආර්. එකෙන් මම දැනගත්තා මට කොවිඩ් පොසිටිව් කියලා. මම හිතුවා ඒ දින 10-14 ගෙදරට වෙලා පරිස්සම් වෙලා ඉඳලා සුව වෙනවා කියලා. මොකද මම මේ සම්බන්ධව ඉතාම දරුණුවට හිතපු නැති නිසා. පළවෙනි දවස් දෙක තුන මම හොඳින් හිටියා. ඊටපස්සේ මට රෑ හුස්ම ගන්න ගොඩක් අමාරු වුණා. මගෙ පපුව හිරකළා. ඉන්පස්සේ මම පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා. වචන දහයක් කතා කරත් හුස්ම ගන්න අපහසු වෙනවා. මේක ඉතාම භයානක ලෙඩක්. මේ මොහොතේ හොඳට ඉන්නවා. ඊළඟ මොහොතේ මොනවා වෙයිද කියලා කියන්න බෑ…
මම හෙට උදේ වෙද්දි ජීවත් වෙලා ඉඳීද කියලා කියන්න බෑ. හැමෝම පරිස්සම් වෙන්න. මේ ලෙඩේ බරපතළකම තේරුම් ගන්න.”
නයනතාරා ද එම අසීරු දින කිහිපය ගෙවා දමා නිවසට පැමිණ සිටියත්, කොරෝනා රෝග වේදනාවන් තවමත් ඇය සමීපයේ ඇති බව ඇය කියන්නීය.
ගෙදරට වී ඉන්නට කීවද, මුව ආවරණ පැළඳ ඉන්නට කීවද තවමත් ඒවා තඹේකට මායිම් නොකරන පිරිස් ඕනෑතරම්ය. එහි ප්රතිඵලවල බරපතළකම හොඳින්ම දකින්නට නම් රෝහල් මෝචරියක් අසලට යා යුතුය. සෞඛ්‍ය සේවකයින් එම යථාර්තය නිතර දකින්නේය.
“මිනිස්සු මැරෙන්නේ මැස්සෝ වගේ” යැයි වෛද්‍යවරයෙකු කීවේ මේ රෝගයේ බරපතළකම නිසාය. රෝහල් ගේට්ටුව ළඟ, රෝද පුටුවක පැය බාගයක් පණ ඇද මැරෙනවා සේම, ඒ දෙස බලා සිටින්නට වීම කොතරම් අභාග්‍යයක්ද?
ලංකාවේ බොහෝ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් දැන් සෞඛ්‍ය සේවකයින්ද රෝගයේ ගොදුරු බවට පත්වෙමින් ඇත. කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මුහුණුපොතේ දක්වා ඇත්තේ මේ වනවිට ජාතික රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සේවකයින් 324 දෙනෙකු කොරෝනා ආසාදිතයන්ව ඇති බවයි. ‘රෝහලේ ආදරණීයයන්ද ජීවිතයෙන් සමුගන්න පටන් අරන්’ ඇය කියා තිබුණේ රෝහල් වාට්ටු ලිපිකරු සංගමයේ සභාපතිනිය ලෙස කටයුතු කළ ගීතිකා විජේසූරිය මහත්මියද කොරෝනා වැළඳී මියගිය දුක්බර පුවත ගැනද සිහි කරමිනි.
කොරෝනා මේ වනවිට දරු සිහිනය සිත්හි දරා සිටි ගර්භනී මව්වරුන් විසි ගණනකට දිවි අහිමිකර තිබේ. ඒ මව්වරුන් කුස දරා සිටි ඇතැම් දරුවන් මෙලොව එළිය දුටුවත්, තවත් දරුවන් පිරිසක් මෙලොව එළිය නොදැකම මව් තුරුලේ අවසන් ගමන් යෑම හදවතකට දරාගත නොහැකි තරම් දුකකි. දිවුලපිටියේ ගැබිනි මවක්ද තම දරු සිහිනය සමඟ කොරෝනාවට බිලිවූයේ ඉකුත් සතියේයි. එම සතියේම ගම්පහ මහ රෝහලට තිස්තුන් හැවිරිදි ගැබිනි මවක්ද ඇතුළත් කෙරිණි. ඒ ඇගේ සිව්වන දරුවා ප්‍රසූත කිරීමටය. ඇය රෝහල් ගතවනවිටද උණ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ වූයෙන්, සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වූයේ ඇයට කොරෝනා ආසාදිතව ඇති බවයි. සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කළද, දින පහකට පසුව ඇයද ජීවිතයෙන් සමුගත්තේ තම බිළිඳාට මව්කිරි පොදක් හෝ දීගත නොහැකිවය. එපමණක්ද, තවත් දරු තිදෙනෙක් ගෙදරය. ඇයද රෝහල්ගත වූයේ තම දරුවන්ගේ මුහුණු, නෑ සියන්ගේ මුහුණු යළි දකින්නට පැමිණීමේ අපේක්ෂාවෙනි.
එසේම තම ගැබිනි දියණියට කොරෝනා වැළඳී රෝහල්ගත කළ පසු මවකට දැනෙන වේදනාව කොතරම්ද? බිය කොතරම්ද?
“කොරෝනා ආසාදනය වී සිටින ගැබිනි දියණියට ආශිර්වාද පතන්නේ ඇගේ ආදරණීය මවයි” යනුවෙන් ලියූ පොස්ටුවක්ද දැකගත හැකි විය.
මාරාන්තික රෝගයක රඟ දෙඇස් අභියස මැවෙද්දී, වයස් භේදයක් නොමැතිව දරුවන් පවා මියයද්දී, තරුණයෝ සිහිසුන්ව මහමඟ වැටී සිහිසුන්ව මියයද්දී, ඒ ගින්දර දරා සිටින්නට බැරි මව්පියවරු ජීවත්වන්නේ හදවතින් මියැදෙමිනි.
කොරෝනා වසංගතයේ දරුණුකම ගැන පසුගියදා බදුල්ල මහරෝහලේ වෛද්‍යවරයෙකුගේ ප්‍රකාශයක් මුහුණුපොතේ සටහන්ව තිබුණේ මෙසේයි.
“දැක්කොත් පුදුම හිතේවි. රෝගියෙකුට මොනතරම් ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දුන්නත්, ඒ දෙන ඔක්සිජන් ප්‍රමාණය ලබාගන්න බැරුව, වතුර බිංදුවක් බීගන්න බැරුව, හුස්ම ගන්න බැරුව දඟලන දැඟලිල්ල දැක්කනම්, ඔය කිසිම කෙනෙක් ගෙදරින් එළියට තියා ජනේලයෙන් එළියට ඔලුවවත් දාන්නේ නැහැ. ගඟෙන් ගොඩදාන මාළුවෙක් මැරෙන්න දඟලනවා වගේ දඟලලා තමයි ඔවුන් මරණයට පත්වෙන්නේ.”
මෙම රෝගයේ බරපතළකම කියන්නට එම ප්‍රකාශයම ප්රමාණවත්ය. කොරෝනාවට ගොදුරුව රෝහලකට යාමට උත්සුක වන්නේ ජීවිතය ගෙනෙන්නට නමුත් ඇතැමුන් ත්‍රීරෝද රියේම රෝහල් ගේට්ටුව අසලදී ජීවිතය හැරයන්නේ ශෝචනීය අයුරිනි. දිනකට දෙසියයකට ආසන්න ජීවිත ගණනක් අහිමි වෙමින් ඇත. මෙය රටට ඉලක්කමක් නමුත් ඔබට, ඔබේ පවුලට ආදරණීයයෙකි.
මරණය අභිමුවට ගිය කිහිපදෙනෙකුගේ අත්දැකීම් මෙසේ වුවත්, කිසිවක්ම නොකියා, කිසිඳු නෑයෙකු ළඟ නොමැතිව ජීවිත හැරගිය අපේම උන් බොහෝය.
එසේ නම් ඔබ ඔබේ ආදරණීයයන් ආරක්ෂා කරගන්න. රෝගයට බිය නොවී ඒ ගැන දැනුවත් වෙන්න. එන්නත ගන්න. සෞඛ්‍ය පුරුදු පිළිපදින්න. අහසට නැගෙන දුම්රොටු නිවාලන්නට වෙනත් මඟක් නම් තවමත් නොපෙනේ.
දීපා වසන්ති එදිරිසිංහ