මැරුණ පෙම්වතීට පණ දෙන්න හඳට යන්න හැදූ ප්‍රේමවන්තයා
ඒ වනවිට 42 හැවිරිදි කාල් ටැන්ස්ලර් විකිරණ තාක්ෂණවේදියෙකු ලෙස රාජකාරි කරමින් සිටියේ ප්‍රංශයේ සමුද්‍ර රෝහලකයි. විවාහ වී දරුවන් දෙදෙනෙකු සිටියද එය දික්කසාදයකින් කෙළවර වුණේ සාර්ථක විවාහ ජීවිතයක් නොවූ නිසා විය යුතුයි. එතැන් පටන් අවුරුදු දෙකක් පමණ වනතෙක් ගතකළ ඔහුගේ ජීවිතයේ තනියට හිටියේ තනිකම පමණි.
මේ අතරතුරයි එක්තරා දිනයක රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි හැඩකාර තරුණියක ඔහුගේ නෙත ගැටුණේ. මාරියා හෝයෝස් නම් එම තරුණිය රෝහලට පැමිණ තිබුණේ හුස්ම ගැනීමේ අපහසුතාවක් සඳහා ප්‍රතිකාර ගැනීමටයි. ඒ අහඹු හමුවීමෙන් පසු මාරියා සමඟ පෙමින් බැඳුනු කාල් ඇයට දැඩි සේ ඇලුම් කරන්නට පටන් ගත්තේය.
මාරියා ක්ෂය රෝගයෙන් පෙළෙන්නියක් බව වෛද්‍යවරුන් තහවුරු කළේ මේ අතරතුරයි. ඒ කාලය වනවිට ලෝකය පුරාම ක්ෂය රෝගය සැලකුණේ මාරාන්තික රෝගයක් හැටියටයි. රෝගය නිට්ටාවට සුව කිරීමට කිසිඳු ප්‍රතිකාරයක් ඒ වනවිට සොයාගෙන තිබුණේ නැත. නමුත් ඒ කිසිඳු කාරණාවක් නිසා මාරියා ගැන උපන් ස්නේහයට දොරඅගුලු දා ගන්නටත් කාල්ගේ සුදානමක් තිබුණේ නැත.
සිය පෙම්වතියගේ රෝගය ගැන දැනගත් මොහොතේ පටන් ඇය සුව කරන්නට තමා කෙසේ හෝ ඖෂධයක් තැනිය යුතු බැව් කාල් සිතුවේ ඒ නිසා විය යුතුයි. නමුත් ඒ වෙනුවෙන් ගත් සියලු උත්සාහයක් ගඟට කැපු ඉනි මෙන් අසාර්ථක විය. ඒ අතරතුරේ මාරියාගේ තත්ත්වයද නරක අතට හැරෙමින් තිබුණි. අවසන 1931 ඔක්තෝබර් 21 වැනිදා ඇය සදහටම දෙනෙත් පියාගත්තේ කාල්ගේ දෙනෙත් කඳුළු උල්පතක් බවට පත්කරමිනි. ඉන්පසු ඇයට දිය හැකි උපරිම ගෞරවය ලබාදීමට තීරණය කළ ඔහු වෙස්ට් සුසානභූමියේ මිල අධිකම ගල් සොහොන් ගෙයක් මිලට ගෙන ඇගේ දේහය එහි තැන්පත් කළේය.
කාල්ගේ ආදර කතාවේ හොඳම හරිය පටන්ගත්තේ එතැන් පටන්ය. ඔහු දිනකට වතාවක් බැඟින් හොර රහසේම මාරියාගේ සොහොන් ගෙට යන්නට පටන්ගත්තේය. ඒ බවක් කිසිවෙකුත් දැනසිටියේ නැත. මන්ද මේ ගමන ගැන දැන සිටියේ ඔහුම පමණි. දෙතුන් දිනක් එසේ ගිය කාල්ගේ හිතට අලුත් අදහසක් ආවේය. ඒ ප්‍රාණ සමව ප්‍රේම කළ පෙම්වතියගේ මළසිරුර තමාගේ නිවසට රැගෙන යන්නටයි. නමුත් ඒ වනවිටත් මළසිරුරෙන් දුර්ගන්ධය හමමින් තිබුණි.
කාල් කල්වේලා නොයවාම සිතට ආ සිතුවිල්ල ක්‍රියාත්මක කළේය. ඔහු මුලින්ම කළේ මාරියාගේ මළසිරුර සෝදා පිරිසිදු කර ගැනීමයි. අනතුරුව කළේ එම දේහයට ඇඳුම් ඇන්ඳවීමයි. පසුව අධික දුර්ගන්ධය යටපත් කරන්නට ඔහු එහි සුවඳ විලවුන් ගැල්වූයේය. ඉන් නොනැවතී සිය ප්‍රේමියගේ සිරුර නොවෙනස්ව තබාගැනීමට ඔහු විවිධ අත්හදා බැලීම් කළේය. ඒ ඇය වෙනුවෙන්ම සාදාගත් තාවකාලික වෛද්‍ය රසායනාගාරයක් තුළයි. කෙසේ හෝ හත් අවුරුද්දක් පුරාවටම මාරියාගේ මළසිරුරේ මුල් ස්වරූපය ආරක්ෂා කර තබාගැනීමට ඔහු සමත්විය. එතෙක් මේ ගැන කිසිවෙකුත් දැන සිටියේ නැත.
දිනක් කාල්ගේ නිවස අසළින් ගිය කුඩා දැරියකට එහි ජනේලයකින් අපූරු දසුනක් දැකගන්නට ලැබිණි. ඒ කාල් යෝධ බෝනික්කෙකු සමඟ සිටින අයුරුයි. සියල්ල කණපිට පෙරලෙන්නට පටන්ගත්තේ ඊට දින කීපයකට පසුවයි. ඒ මාරියාගේ සහෝදරියක්ද ඒ දසුනම දුටු බැවිනි. යෝධ බෝනික්කා ගැන සැක කළ ඇය කෙළින්ම ගියේ මාරියාගේ සොහොන් ගෙය ළඟටයි. එහිදී වැඩිදියුණු වූ සැකයද රැගෙන ඇය කාටත් හොරා කාල්ගේ නිවසට යාමට තීරණය කළාය.
එහිදී තම මියගිය සහෝදරියගේ මළසිරුර දුටු ඇය දෙවරක් නොහිතා සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කළාය. පසුව පොලිසියෙන් එය මාරියාගේම මළසිරුර බව තහවුරු කරගෙන තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් කාල් පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, ඔහුට එරෙහි චෝදනාව වූයේ සොහොනක් මංකොල්ලකෑමයි. ඊට අමතරව පොලිස් පරීක්ෂණවලදී තහවුරුවූයේ කාල් මළසිරුර සමඟ ලිංගිකවද එකතු වී ඇති බවයි. ඒ ඇගේ පාද අතරට කඩදාසි බටයක් ඇතුළුකර තාවකාලික යෝනි මාර්ගයක් සාදා ගනිමිනි.
කෙසේ වුවද සොහොන් මංකොල්ලය යන වරද හැරුණුවිට කාල් අනෙක් වැරදි සියල්ලෙන්ම නිදහස්වූයේ දිගින් දිගටම සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසිනි. එහිදී ඔහු මාරියාගේ මළසිරුරට පණදිය හැකි ක්‍රම ගණනාවක් පිළිබඳවම අත්හදාබැලීම් සිදුකර ඇති බව තහවුරු විය. ඒ අතරින් පොලිසියේ වැඩි අවධානයක් යොමුවුණේ ඔහු මාරියාගේ සිරුර අභ්‍යවකාශයට රැගෙනයාමට නිර්මාණය කළ කුඩා රොකට්ටුව වෙතය. ඔහුගේ අවශ්‍යතාවය වී තිබුණේ ඇගේ සිරුර අභ්‍යවකාශයේ කිරණවලට නිරාවරණය කර නැවත පණදෙන්නට හැකිද යන්න උත්සහ කර බැලීමයි.
මේ අතර කාල් වෛද්‍ය පරීක්ෂණයකටද යොමුකර තිබිණි. එහිදී තහවුරු වුණේ ඔහුට කිසිම ආකාරයක මානසික රෝගයක් නොතිබූ බවයි. ඒ හේතුව නිසාම ඔහු සොහොන් මංකොල්ල නඩුවෙන් නිදොස්කොට නිදහස් කිරීමට පියවර ගෙන තිබුණි. අවසානයේ මේ අපූරු ආදරවන්තයා වෙනුවෙන් දින කීපයක් මාරියාගේ ප්‍රතිනිර්මාණය කළ සිරුර මහජන ප්‍රදර්ශනයට තැබූ අතර පසුව එය රහසිගත සොහොනක තැන්පත් කළ බව පැවසෙයි. එතැන් පටන් හුදකලා ජීවිතයක් ගෙවූ කාල් 1952 වසරේදී මියගොස් ඇති අතර මේ අපූරු ප්‍රේමවන්තයාගේ ප්‍රේමයට නිර්වචනයක් සොයාගැනීමට අදටත් කිසිවෙකුටත් හැකිවී නැත.
රුවන් එස්.සෙනවිරත්න