රෝහලකට යන්න එන්න විදියක් නැති අසාධ්‍ය පිළිකා රෝගීන්ට පිහිට වෙන්නයි අපිට ඕන වුණේ
‘ලෝකාන්තය’ කියන්නේ 70 දශකයේ රසිකයන් ඉතාමත් ආදරෙන් වැළඳගත්තු ටෙලිනාට්‍යයක්. සම්පත් ගමගේ කියලා නුවරඑළියේ වතු අයිතිකාරයෙකුයි, සඳලි කියලා රූමත් තරුණියකුයි වටේ තමයි මේ කතාව ගොඩනැගෙන්නේ. සම්පත්ටනම් ඒ වෙනකොටත් 50 පැනලා. හැබැයි සඳලිට විස්ස පහුවුණා විතරයි. සම්පත් උපතින්ම හොඳ සල්ලිකාරයෙක් වුණාට සඳලි කියන්නේ බොහොම දුප්පත් පවුලක කෙල්ලෙක්. ඒ පවුලේ බඩවියත රැකුනේ සඳලිගේ අම්මා තේ දළු කඩලා අතට ගත්තු සොච්චමකින්.
ඔහොම ඉන්නකොට සඳලි ඒ අවුරුද්දේ ගමේ අවුරුදු කුමාරි වෙනවා. හැට හැත්තෑව දශකයේ ගමක අවුරුදු කුමාරියක් කියන්නෙත් ඉතින් අද කාලේ ලෝක රූ රැජිනි වුණා වගේ තමයි. ඊටපස්සේ සඳලිට වෙළඳ දැන්වීම් ආයතනවලින් දැන්වීම්වලට පෙනී හිටින්න දිගට හරහට ආරාධනා ගලාගෙන එනවා. ඒ වගේ දැන්වීමක රූපගත කිරීමකට වරක් තෝරාගෙන තිබුණේ සම්පත්ගේ ලෝකාන්තය කියන මල්වත්ත. එදා තමයි සම්පත් හා හා පුරා කියලා සඳලිව දැක්කේ.
පුංචි තිරයේ පේන විදියටනම් ඒ වෙලාවේ ඔහුගේ මුහුණ කියාගන්න බැරි දුකකින් අඳුරු වෙනවා. මොකද සඳලිව දැක්කම සම්පත්ට මතක් වෙන්නේ මල්කාන්තිව. සඳලිත් මල්කාන්ති වගේමයි. මල්කාන්ති කියන්නේ සම්පත්ගේ තරුණ කාලේ හිටපු පෙම්වතිය. සම්පත් ඇයට දැඩිව ආදරය කළත් අවාසනාවකට ඇය හදිසි අනතුරකින් මිය ගිහින්. එදා ඉඳන් සම්පත් තනිකඩයි. ඒත් සඳලිව දැක්ක ගමන් ඔහුට ඒ යටගියාව එකින්නෙක මතක් වෙන්න පටන්ගන්නවා. මල්කාන්තිට පිංපිණිස කියලා හිතාගෙන සඳලිටත් නොදැනෙන්න ඇයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ හැමදේකටම උදව් කරන්නේ වත්තේ දෙවැනියා වුණු සමරසිංහ. පස්සේ ඇයට ලෝකාන්ත වතු කාර්යාලේ ලිපිකාරිනියක් විදියට රස්සාවකුත් ලැබෙනවා. හැබැයි ඉතින් අර කතාවටත් කියනවනේ කොයිතරම් උත්සාහ කළත් ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියලා. සම්පත්ටත් වුණේ ඒකමයි. නොදැනීම ඔහු ඇයට ආදරේ කරන්න පටන්ගන්නවා. නමුත් සඳලිගේ හිතේ සම්පත් ගැන අබමල් රේණුවකවත් ආදරයක් තිබුණේ නෑ. ඒ නිසා නැති ප්‍රශ්න ඇතිවෙයි කියන බයට ඇය කාටත් නොකියම රස්සාව දමලා ගහලා ගෙදර යනවා. ඊට ටික දවසකට පස්සේ තමයි සඳලි සෞදි යන්න හදනවා කියන ආරංචිය සම්පත් දැනගන්නෙ. පස්සෙ ඔහු සමරසිංහත් එක්ක ඇයගේ ගෙදරට ගිහිල්ලා ගමනට ඕන කරන දේවලුත් දීලා සුබ පතලා එන්න එනවා. ඒ ආවත් සම්පත්ට ඇයව එහෙම දාලා එන්න හිතේ හයියක් නෑ. පස්සේ ඔහු ආයෙම වතාවක් වාහනේ හරවගෙන සඳලිව බලන්න යනවා. ඒ යනකොට සඳලිත් ආපහු සැරයක් සම්පත් එයි කියන බලාපොරොත්තුව ඇතුව මග බලාගෙන ඉන්නවා. කතාව අවසාන වෙන්නේ දෙන්නගෙම ආදරණිය සිප වැළඳගැනීමකින්.
ඔය කියන ප්‍රේමවන්තයාගෙ චරිතයට පණ දුන්නේ අපේ රටේ අසහාය රංගධරයෙක් වුණු සිරිල් ධර්මවර්ධන මහත්මයා. එදා ඒ ප්‍රේමවන්තයාව රසිකයෝ කොයිතරම් ආදරයකින් වැළඳගත්තද කියනවා නම් ටෙලිනාට්‍යය බලපු කිසිම කෙනෙක් නාකි විසේ ගෙටත් උසේ කියන කතාව කිව්වේ නෑ. මොකද ඔහුගේ රංගනය ඒ තරමට තාත්විකයි සහ ආදරණීයයි.
ඔය විදියට අවුරුදු 50කට ආසන්න කාලයක් කලාවට, දේශපාලනයට විතරක් නෙවෙයි සමාජයීය වැඩවලදීත් මතක හිටින සේවයක් කරපු එතුමා 2013 අවුරුද්දේ මතකය විතරක් ඉතිරි කරලා නොඑන්නම ගියා. ඒ ඕස්ට්‍රේලියාවෙදි පෙනහළු පිළිකාවකට ප්‍රතිකාර කරමින් සිටිය අතරතුරේදි. ‘නාමෙ නොදිරනා – කුණු කය දිරනා’ කියලා අර සිංදුවකුත් තියනවා වගේ අදටත් එතුමාගේ නම අපි අතර ජීවමානයි. හැබැයි ඒ එතුමා නළුවෙක් වුණු හින්දම නෙවෙයි.
සිරිල් ධර්මවර්ධනයන්ගේ සමුගැනීමෙන් පස්සේ පිළිකාව නිසා අසරණ වුණ දහසකුත් එකක් ජීවිතවලට සරණක් වෙන්න හිතාගෙන 2014 වසරේදී ආරම්භ කරපු සිරිල් ධර්මවර්ධන පදනමත් ඒකට එක හේතුවක්. එතුමන්ගේ පුත් බිනර ධර්මවර්ධන මහතාගේ සංකල්පයකට අනුවයි මේ පදනම ආරම්භ කරලා තියෙන්නේ.
එදා මෙදාතුර වසර දහයක් පිළිකා රෝගීන් වෙනුවෙන් එම පදනම ඉටුකළ මෙහෙය ගැන බිනර ධර්මවර්ධන මහත්මයා අපිට කිව්වේ මේ වගේ කතාවක්.
“තාත්තා ඕස්ට්‍රේලියාවේ ප්‍රතිකාර ගත්තු කාලෙදි ඒ රටේ පිළිකා රෝහල්වලට තියෙන පහසුකම් අපේ රටේ රෝගීන්ට නැති එක ගැන හරියට කණගාටු වුණා. ඒ නිසා අපට පුළුවන් විදියට ඔවුන්ටත් උපකාර කරන්න ඕනෙ කියලා ඔහු නිතරම වගේ මාත් එක්ක කිව්වා. ඒ අතරතුර කාලෙදිත් තාත්තා සැරින් සැරේ ලංකාවට ඇවිත් කරාපිටිය සහ මහරගම අපේක්ෂා රෝහල් වෛද්‍යවරු එක්ක ඉදිරි කටයුතු කතාබහ කරගෙන තිබුණා. ඒත් ඒ දේවල් කරන්න තරම් ලොකු කාලයක් ඒ වෙනකොටත් තාත්තාට ඉතිරිවෙලා තිබුණේ නෑ.
තාත්තා නැති වුණාට පස්සෙ මම ලංකාව ඇවිල්ලා කරාපිටිය රෝහලේ පිළිකා රෝගී අංශයට ගිහිල්ලා ඔවුන් වෙනුවෙන් මගෙන් කෙරෙන්න යමක් තියෙනවද කියලා ඇහුවා. ඒ වෙලාවෙදි තමයි කරාපිටිය රෝහලේ රෝහල් බලධාරී මහත්තුරු මට කිව්වේ ඔවුන්ට ගිලන් රථවල අඩුපාඩුවක් තියෙනවා කියලා.
මොකද ඒ වෙනකොටත් දුෂ්කර පළාත්වල ඉන්න අසාධ්‍ය පිළිකා රෝගීන්ව රෝහලකින් රෝහලකට ගේන්න ගෙනියන්න ප්‍රවාහන පහසුකම් නැතිකම ලොකුවටම තිබුණ ප්‍රශ්නයක්. ඊටපස්සේ සිරිල් ධර්මවර්ධන පදනමෙන් කරාපිටිය රෝහලට ගිලන් රථ දෙකක් දෙන පොරොන්දුව පිට මම ආපහු සැරයක් ඕස්ට්‍රේලියාවට ගියේ එහේ ඉන්න මගේ යාළු හිත මිත්‍රාදීන් එක්ක මේ කටයුත්ත සංවිධානය කරන්නත් එක්ක.”
පසුව සියල්ලන්ගේම සහයෝගය ඇතිව සිරිල් ධර්මවර්ධන පදනම විසින් කරාපිටිය රෝහලේ පිළිකා රෝගී අංශයට ගිලන් රථ දෙකක් පරිත්‍යාග කිරීමට කටයුතු කළ බවයි ඔහු කිව්වේ.
“ඒත් රියදුරන් සහ සහායකයින්ට වැටුප් ගෙවාගෙන, ඉන්ධන සපයාගෙන මේ ගිලන් රථ සේවාව නඩත්තු කරගන්න කරාපිටිය රෝහල් බලධාරීන්ට ප්‍රමාණවත් මුදල් තිබිලා නෑ. මම දන්න තරමින් ඔවුන්ට ඒ වෙනුවෙන් රජයෙන්වත් සහයෝගයක් ලැබිලත් නෑ.”
පසුව සියලු දෙනාගෙන්ම කළ විවෘත ඉල්ලීමකට අනුව එම කටයුතුවලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සකසාගත් බවකුයි ඔහු කියාසිටියේ.
“ඒ ඉල්ලීමෙන් පස්සේ අපි හිතුවටත් වැඩියෙන් අපිට මුදලින් ආධාර ලැබෙන්න පටන්ගත්තා. එතැන ඉඳන් අපි කරාපිටිය රෝහලේ පිළිකා රෝගීන්ට මේ ගිලන් රථ සේවාව සාර්ථකව ලබාදෙන්න කටයුතු කළා. ඒ ආරංචියට තවත් රෝහල්වලින් අපෙන් සහාය ඉල්ලලා ඉල්ලීම් කරන්න පටන්ගත්තා.”
2014 වසරේදී ගිලන් රථ දෙකකින් ආරම්භ කළ මෙම ගිලන් රථ සේවාවට අද වනවිට ඇති ගිලන් රථ ප්‍රමාණය දහතුනක්. ස්ථිර සේවකයින් ගණන දහසයක්. ඒ නිසා ඔවුන් මේ වනකොටත් මහරගම අපේක්ෂා රෝහලේ සුව සහන ඒකකයට සහ ළමා ඒකකයටත්, අනුරාධපුර මහ රෝහලේ පිළිකා සහ වකුගඩු ඒකකයටත්, පොලොන්නරුව මහරෝහලේ පිළිකා සහ වකුගඩු ඒකකයටත්, උතුරුමැද පළාතේ පිළිකා සහ වකුගඩු රෝගීන්ටත් මෙම ගිලන් රථ සේවාව සපයනවා.
“අද වෙනකොට අපි මේ ගිලන් රථ සේවාව අවුරුදු දහයක් සාර්ථකව ඉදිරියට ගෙනැල්ලා තියෙනවා. තව ඉස්සරහට අපි දුෂ්කර පළාත්වලට මුලික තැනක් දීලා කටයුතු කරන්න බලාපොරාත්තුවෙන් ඉන්නවා. මොකද අදටත් අනුරාධපුර, පොලොන්නරුව, වව්නියාව වගේ පළාත්වල පැය පහ හයකටවත් බස් එකක් නැති පාරවල් තියෙනවා. ඒ නිසා ඒ පළාත්වල ඉන්න පිළිකා සහ වකුගඩු රෝගීන්ට මේ ගිලන් රථ සේවය විශාල සහනයක් වේවි කියලා මම හිතනවා.
හැබැයි තාමත් අපිට සමහරක් රෝහල්වලින් ඉල්ලන ගිලන් රථ සේවාවට ප්‍රමාණවත් සේවාවක් සපයගන්න ටිකක් අමාරුයි. ඒක නිසා ඉදිරියේදී සිරිල් ධර්මවර්ධන පදනමට තවත් ගිලන් රථ එකතු කරගෙන අපිට පුළුවන් උපරිම සේවයක් ලබාදීමයි ලොකුම බලාපොරොත්තුව. විශේෂයෙන්ම කියන්න ඕන රට පුරාම මේ තරම් ලොකු ගිලන් රථ සේවයක් කළත් කොතැනකවත් අපේ කාර්යාල ශාඛා නැහැ. සියලුම කටයුතු පවත්වාගෙන යන්නේ මාර්ගගත ක්‍රමවේදයට (Online). ඒ නිසා අපට මුදලින් හරි වෙනයම් ආකාරයකින් හරි ආධාර උපකාර කරන්න කැමති පරිත්‍යාගශීලීන් ඉන්නවානම් අන්තර්ජාලයේ CDF Patient Transport Charity, CDF Charity Youtube Channel, CDF-Charity Facebook පිටුව හරහාත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කැමති කෙනෙකුට 0777797933 කියන මගේ දුරකතන අංකයට කතා කරන්නත් හැකියාව තියෙනවා.”
ලිහිණි මධුෂිකා