විශේෂාංග

මං හින්දා දෙයියෝ කෝප වෙලාලු ලංකාවේ ගෑස් ලිප් පුපුරන්නේ

මෙරට එක්තරා තරුණියක් සම්ප්‍රදාය අභිබවා ගොස් තමන්ට නොගැළපෙන තැනකට ඇඟිලි ගැසීමේ වරදට දෙවියන් කෝප වී ඇති බවටත්, ඒ දේව කෝපය නිසා රට වටේම ගෑස් ලිප් පුපුරන්නට පටන්ගෙන ඇති බවටත් පසුගිය දිනවල සමාජ මාධ්‍යවලින් චෝදනාවක් එල්ල විය. වරද නම් බෞද්ධ විහාරස්ථානවල සහ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින ධාතුගර්භවල මෙතෙක් පිරිමින් විසින් ඇඳි බිතුසිතුවම් ඇය සියතින් අඳින්නට පටන්ගෙන තිබීමයි.

සෝලියස් මැන්දිස්, එම්.සාර්ලිස්, ජෝර්ජ් කිට් වැනි අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පීන්ගෙන් පෝෂණය වීගෙන ආ බිතුසිතුවම් ඇඳීමේ කලාව ඇතුළට මෙලෙස වළලු දැමූ අතක් එක්වුණේ ලංකා ඉතිහාසයේ පළමු වරටය. ඇය චාමිනී බුද්ධිකා වීරසූරියයි.

දිගින් දිගටම සිදුවෙන ගෑස් ලිප් පිපිරීමේ කතාවට දැන් වරද පැටවී ඇත්තේ ඇයටය. ඈ සිදුකරමින් යන විහාර බිතුසිතුවම් ඇඳිල්ලට දෙවියන් කෝප වී විශ්ව ශක්තීන් කම්පනය වී ගැහැනුන්ට පාඩමක් උගන්වන්නට අපේ රටේ ගෑස් ලිප් පුපුරන බවට බොහෝදෙනා චෝදනා කරති.

මේ, ඒ ගැන ඈ ‘ධරණී’ට කී කතාවයි.

‘‘ලංකාවේ පළවෙනි වතාවට ගෑනු ළමයෙක් විහාර බිතුසිතුවම් අඳින්න ගත්තු නිසා දෙවියෝ කෝපවෙලා රට වටේම ගෑස් ලිප් පුපුරන්න අරගෙන කියලා කරන චෝදනාව මමත් දැක්කා. මට ඇත්තටම ඒකට දෙන්න උත්තරයක් නෑ. ඒවා දැක්කම මට හිනා යනවා.’’

ශ්‍රී ලාංකේය විහාර බිතුසිතුවම් කලා ඉතිහාසයේ මුල්ම විහාර බිතුසිතුවම් ශිල්පිනිය ඇයයි. පළමුවරට ස්ථූප ගර්භයක් සිතුවමින් වර්ණවත් කරන්නේද ඇයයි.

‘‘අනුරාධපුර නොච්චියාගම පුරාණගම විහාරස්ථානයේ තමයි මං මුලින්ම චිත්‍ර ඇන්දේ. ඒක පැරණි ගමක් විදහට හදපු හෝටල් පරිශ්‍රයක තියෙන පන්සලක්. ඒ හෝටල් සංකීර්ණයෙන් තමයි මට චිත්‍ර අඳින්න ආරාධනා කළේ. ඒ චිත්‍ර සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ වුණා. ඒ නිසා මට විහාරස්ථානවලින් ආරාධනා ආවා. ඊටපස්සේ කඳුරුගස්වැව ශෛලබිම්භාරාමයේ, කිරුළපන ශ්‍රී සිද්ධාර්ථාරාමයේ, ගම්පොළ ශ්‍රී බෝධි රුක්ඛාරාමයේ, හන්තාන සඳගිරි මහාසෑයේ සහ නාග්පූර් බෝධිගයා විහාරයේ මං සිතුවම් ඇන්දා. මහනුවර හන්තාන කඳු මුදුනේ සඳගිරි මහාසෑයේ ධාතු ගර්භය තමයි අවසානයට සිතුවම් කළේ. එහි වැඩකටයුතු දැන් 95%ක් වගේ අවසන්.’’

හන්තාන සඳගිරි සෑයේ ඉතිරි වැඩකටයුතු නැවත ආරම්භ වනතෙක් ඇය සිය සැමියාගේ දේශය වූ ඉන්දියාවට ගොස් සිටින්නීය. නමුත් එහි වැඩකටයුතු අවසන් කරන්නට ලබන වසරේ නැවතත් මව්රටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව චාමිනී පවසයි.

චාමිනී කුඩා කල සිටම චිත්‍ර කලාවට උපන් හපන්කම් දැක්වූ තරුණියකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා විශේෂවේදී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා පශ්චාත් උපාධියත් ලබාගෙන ඇති ඇය වසර කීපයක්ම මෙරට රජයේ ගුරිවරියක් ලෙසද සේවය කර තිබේ.

‘‘2015 අවුරුද්දේ ඉඳන් 2019 වෙනකල් මං රජයේ පාසල් ගුරුවරියක්. මගේ පළමු පත්වීම ලැබුනේ කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයට. පස්සේ චිත්‍ර භාර ගුරුවරියක් විදිහට නාච්චදූව සිංහල මහා විද්‍යාලයට ආවා. ඒත් උසස් අධ්‍යාපනය වෙනුවෙන් මට ඉන්දියාවට යන්න වුණා. මං ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ නාග්පූර් නගරයේ හිටියේ. මගේ උපන්දිනේට තමයි නාග්පූර්හි බෝධිගයා විහාරය නොමිලේ සිතුවම් කරන්න හිතුවේ.’’

මොන වැඩක් ආරම්භ කරන්නට ගියත් අභියෝග බාධක පැමිණීම සාමාන්‍ය දෙයකි. ඇයටද එසේය. ශ්‍රී ලාංකේය විහාර බිතුසිතුවම් කලා ඉතිහාසයේ කලා ශිල්පීන් කොතරම් හමුවුණද ශිල්පිනියන් හමුවන්නේ නැත. ඊට හේතුව බුදුදහමේ ඇතැම් දේ කාන්තාවන්ට අකැප බවට සමාජයේ ඇති මතයයි. නමුත් චාමිනී ඒ මතයට විරුද්ධය.

‘‘මට ලොකුම අභියෝගය වුණේ මං කාන්තාවක් වීම. ඒ නිසා එදත් අදත් ගොඩාක් අය මට ඇඟිල්ල දික් කරනවා. එදා බ්‍රාහ්මණ සංකල්පය ඇතුළේ හින්දු ආගමේ තමයි කාන්තාවට බලපෑම් තිබුණේ. බුදුදහමේ එහෙම එකක් නෑ. ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කළේ සංඝමිත්තා තෙරණිය. ඇය කාන්තාවක්. එතකොට දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කළේ හේමමාලා කුමරිය. ඇයත් කාන්තාවක්. එතකොට බුදුදහමේ ගොඩාක් සිද්ධිවලට කාන්තාවෝ සම්බන්ධයි. ඉතින් එහෙම තියෙද්දි මං විහාර බිතුසිතුවම් අඳින එක ප්‍රශ්නයක් කියලා මං හිතන්නේ නෑ.’’

බෞද්ධ විහාරස්ථාන තුළ අට්ටාල මත ඉහළට නැග බිතු සිතුවම් ඇඳීම කාන්තාවකට නොහොඹිනා බවයි සමාජයේ මතය වී තිබුණේ. කොතරම් දුරට චිත්‍ර කලාව ප්‍රගුණ කළද කාන්තාවක වුවද ඊට ඉදිරිපත් නොවූයේ ඒ නිසාය. නමුත් චාමිනීට අවශ්‍යව ඇත්තේ එදා තිබූ බෞද්ධ චිත්‍ර කලාව සුරක්ෂිත කිරීමය.

‘‘මුලින් පන්සිල් අරන් තුන් සූත්‍රය එහෙම කියලා තමයි වැඩ පටන් ගන්නේ. මොකද පොළොව මට්ටමෙන් උඩ වැඩ තියෙනවනේ. සමහර වෙලාවට අඩි විස්ස විසිපහ උඩ ඉඳන් අඳින්න වෙනවා. ඒක නිසා මගේ ආරක්ෂාව ගැන හිතලා ඒ දේවල් කරනවා. අනික මගේ දෙමව්පියෝ පවා මට උදව් කරනවා. එයාලා මං ගෑනු ළමයෙක් කියලා මට කවදාවත් විහාරවල ගිහින් චිත්‍ර අඳින්න එපා කියලා බලපෑම් කරලා නෑ. ඇත්තටම මට ඕනේ කරන්නේ ඈත පෙරදිග කලා ලක්ෂණ සහිත බෞද්ධ චිත්‍ර කලාව ආයෙත් වත්මන් ලාංකීය චිත්‍ර කලාව සමඟ එකතු කරන්න. දැන් ගොඩාක් විහාර චිත්‍ර වාණිජකරණයට ලක්වෙලා තියෙන්නේ. ඒ තුළින් ප්‍රාථමික රසවින්දනයක් තුළට ජනතාව කොටු කරලා තියෙනවා. බෞද්ධ විහාරස්ථානයකට ගියාම ආධ්‍යාත්මික සුවය, ශාන්ත රසය චිත්‍ර තුළින් පිළිබිඹු වෙන්න ඕනේ.’’

ඇය බුදුදහම අදහන, ඊට බොහෝ සේ ගරුකරන තරුණියකි. ඒ නිසාම අද වනතෙක් ඇයට වරදක් සිදුවී නැති බව ඈ කියයි. ඇගේ එකම බලාපොරොත්තුව වන්නේ ලංකාවෙන් එපිටත් බුදුදහම ව්‍යාප්ත කිරීමයි. ඒ වෙනුවෙන් ඇය බොහෝ වෙහෙසෙන්නීය.

‘‘ලංකාවේ මගේ ගම අනුරාධපුර කලත්තෑවේ. දැන් ඉන්දියාවේ ඉන්නේ මං විවාහ වුණේ ඉන්දියාවේ කෙනෙක් එක්ක නිසා. එයා ඉන්දියානු බෞද්ධයෙක්. මේ වෙනකොට අපි බුදුදහම ඉන්දියාවේ ව්‍යාප්ත කරන්න වැඩපිළිවෙලක් හදනවා. පසුගිය මාර්තුවල අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයට ආරාධිත දේශකයෙකු ලෙස මං එකතුවුණා. එදා ඒකපුද්ගල සිතුවම් ප්‍රදර්ශනයක් පවා කළා. එන අප්‍රේල් මාසේ උත්තර් ප්‍රාන්තයේ ස්වාමි විවේකානන්ද සුභාරතී විශ්වවිද්‍යාලයේ ආරාධනාවකට අනුව උත්තර් ප්‍රාන්තයේ මීරූට්වල සහ නවදිල්ලියේ ඒකපුද්ගල බෞද්ධ සිතුවම් ප්‍රදර්ශන දෙකක් තියෙනවා. ඊට අමතරව නේපාලයේත් එකක් තියනවා.’’

ඇය ගැන අප අවංකව ආඩම්බර විය යුතුය. බොහෝ අභියෝග මැද වුවද ඇය මේ යමින් සිටින්නේ සුබවාදී ගමනකි. ලාංකේය බෞද්ධ චිත්‍ර කලාව වියැකී යන යුගයක ඇගේ මේ උත්සාහය අගය කළ යුතුය.

රුවන් එස්.සෙනවිරත්න