නවතම ප්‍රවෘත්ති

පොඩි සුද්දියන්ට පන්දුවෙන් තැලූ මොනරාගල බට්ටී

උප්පැන්න සහතිකයේ සඳහන් පරිදි ඇගේ නම, හේවා මුදියන්සේලාගේ චමුදි  ප්‍රබෝධා ය. නමුත් දැන් මුළු රටක්ම ඇයව හඳුනන්නේ ‘බට්ටි’ යන නමිනි. අප්‍රේල් 25 වැනිදාට වයස අවුරුදු 15 සම්පූර්ණ කරන ඇය පන්දු යැවීමටම උපන්නියක බව බොහෝදෙනා විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා, එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේදී ඇය දැක්වූ දක්ෂතා නිසාවෙනි. ක්‍රීඩාවට පමණක් සීමා නොවී අධ්‍යාපන කටයුතුද සාර්ථකව කරගෙන යන චමුදි සංගීතයට සහ නර්තනයටද හපනියකි. එනිසාම ‘ධරණී’ අපි ඇය හමුවීමට මොනරාගල, කුඹුක්කන, පරවිලවත්තේ පිහිටි ඇගේ නිවසට ගියෙමු. මේ වනවිට රටේම ජනප්‍රිය චමුදිගේ නිවස සොයාගැනීම අපට අසිරු නොවූයේ අප ඇගේ නිවසටම කැඳවාගෙන යාමට ගමේ තරුණයින් කිහිපදෙනෙක් ඉදිරිපත් වූ නිසාය. එනිසා චමුදි සමඟ සිදුකළ සංවාදයේ සටහනට මත්තෙන් ඔවුන්ට ද අපේ ස්තුතිය පිරිනැමිය යුතුය. 

“මම අවුරුදු 8 විතර ඉඳලා ගෙදරදී මාමායි, අයියායි (ඥාති සහෝදරයා) එක්ක ක්‍රිකට් ගැහුවා. මාමා තමයි ගොඩක් දේවල් කියලා දුන්නෙ. ක්‍රිකට්වලට ආසාව ඇති කළේ අයියා. ඒ අතරතුරේ මම ක්‍රිකට් මැච් එහෙමත් බැලුවා. අපේ පවුලෙ වෙන කිසිම කෙනෙක් ස්කූල් ටීම් එකකටවත් සෙල්ලම් කරලා නෑ. මං තමයි පළවැනියා මෙහෙම සෙල්ලම් කරන.” 

ක්‍රිකට් ක්‍රීඩාවට එලෙසින් පෙම් බැඳි චමුදි ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කිරීමට මොනරාගල පඤ්ඤානන්ද මහවිදුහල් ක්‍රිකට් කණ්ඩායමට බැඳුණේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දීය. ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ එම තෝරාගැනීමයි. 

“මං ඉස්කෝලෙ දි පිරිමි ළමයි එක්ක සෙල්ලම් කළා. ඊටපස්සෙ දැනගත්තා ඉස්කෝලෙ සයිඩ් විකට් එක ඕපන් කරන්න අප්සාරි තිලකරත්න මිස් එනවා කියලා. ඉස්කෝලෙ ස්පෝට්ස් බලන ඉරුදක සර්, ක්‍රිකට් උගන්නන චන්ද්‍රකුමාර සර්, ක්‍රීඩා භාර නාලිකා ටීචර් එක්ක එකතු වෙලා තමයි ඉස්කෝලෙට සයිඩ් විකට් එක අරන් දුන්නෙ. ගෑනු ළමයි තුන්දෙනෙක් දාලා සෙල්ලම් කරවලා ඒක ඕපන් කරන්න තීරණය කළෙත් සර්ලා දෙන්නයි ටීචයි. මාව තෝරගත්තෙ බෝල් කරන්න. මං එතකොට ගොඩක් පොඩියි. මං බෝල් කරන විදිය දැකලා අප්සාරි මිස් එදා ආපු කෝච්ලා එක්ක මං ගැන කතා කරලා තිබුණා. මා එක්කත් කතා කළා. ඊටපස්සෙ තමයි තරිඳු සර්, කොඩිකාර සර්, කසුන් සර්, බණ්ඩාර සර් එකතු වෙලා මාව දිස්ත්‍රික් කණ්ඩායමට තෝරාගත්තෙ.” 

ඇගේ දක්ෂතා හඳුනාගැනීමෙන් පසු නිලධාරීන්ගේ අපේක්ෂාව වූයේ නගරයේ නේවාසිකයෙකු නොකර ඇය ඉගෙනගන්නා වර්තමාන පාසලේම තබා ගනිමින් ක්‍රීඩාව ඔප් නැංවීමට කටයුතු කිරීමයි. ඇගේ පාසලේ සිටින ක්‍රිකට් පුහුණුකරු ස්වේච්ඡාවෙන් සේවය සපයන්නෙකි. ඔහු නඩත්තු කිරීමට පාසලට හැකියාවක් නොමැත. විදුහල්පති සරත් රත්නායක ඒ බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනී අප්සාරි තිලකරත්නට පැවසුවේය. ඒ අනුව ඇගේ මැදිහත්වීම මත ස්වේච්ඡා පුහුණුකරුට යම් දීමනාවක් ලබාදීමට කටයුතු කෙරිණි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ විදෙස්‌ගත මිතුරකු වන හසිත සේනානායක මගිනි. පාසල් පුහුණුකරු සේම දිස්ත්‍රික් සංචිතය යටතේද චමුදි පුහුණුව ලැබුවාය. අනතුරුව ඇය පළාත් මට්ටමින්ද පුහුණුවීම් කළාය. පාසල් නියෝජනය කරමින් ක්‍රිකට් තරඟවලට සහභාගී වූයේද ඒ අතරයි. එවකට වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් පුහුණුකාරිනී ශෂිකලා සිරිවර්ධනටද චමුදි පිළිබඳ දැනගැනීමට ලැබිණ. 

“ශෂිකලා මිස් සුපර් ප්‍රෝවින්ෂියල් මැච් බලන්න ඇවිත් මං ගැන හොයලා තිබුණා. ඊටපස්සෙ මිස් මට කිව්වා විසිපස්දෙනා තෝරන්න කොළඹ සිලෙක්ෂන් එකක් තියෙනවා, ඒකට එන්න කියලා. ඒකෙදි හොඳට සෙල්ලම් කරලා තමයි අන්ඩර් නයින්ටීන් එකට තේරුණෙ. ටූනමන්ට් එකට සෙල්ලම් කරන්න මම වගේම ත්‍රිකුණාමලයෙ ඉන්න අවුරුදු 14ක තව කෙනෙකුටත් පුළුවන් වුණා. මේ පැත්තෙන්ම ගියෙ මං විතරයි. මට සතුටුයි ඒ ගැන.”

19න් පහළ සංචිතයේ ක්‍රීඩා පුහුණුව ලබද්දී සියලුදෙනා ලබාදුන් සහාය චමුදි සිහිපත් කළේ ගෞරවයෙනි. 

“හැමෝම හුඟක් හොඳට මාව බලාගත්තා. ඒ වගේම මගේ කැප්ටන්, වයිස් කැප්ටන් වගේම සීනියර් ප්ලේයර්ස්ලා මට බයක් දැනෙන්න නොදී බලාගත්තා. මහේෂ් සර්, උමාල් සර්, හේමන්ත සර් මගෙ බෝලින් හැදුවා. ශානා මිස් තමයි මගෙ ෆීල්ඩින්ග් එක හැදුවෙ. අප්සාරි මිස් වරින් වර කතා කරලා හොයලා බැලුවා. ඒ හැමෝටම මං ස්තූති කරනවා.”

චමුදි ප්‍රබෝධා ට ‘බට්ටි’ නම වැටුණේ දිස්ත්‍රික් සංචිතයේ සිටියදීමය. ඒ සංචිතයේ සිටි පුංචි කෙල්ල බැවිනි. 

“අන්ඩර් නයින්ටීන් එකට ආවමත් හැමෝම මට බට්ටි කියලම කතා කළා. මාත් දැන් ඒ නමට ආසයි.”

ඔස්ට්‍රේලියා සහ එංගලන්තයට එරෙහි තුන්කොන් තරඟාවලියේදී ශ්‍රී ලංකාව පන්දුවාර 20 තරඟ 4කටත්, පන්දුවාර 50 තරඟ දෙකකටත් සහභාගි විය. වයසින් මෙන්ම ඇඟපතින්ද කුඩා බට්ටි එම තරඟ හයේදීම ශ්‍රී ලංකාව නියෝජනය කළාය. ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20 තරඟයේදී ඇමි ස්මිත්ගේ කඩුල්ල දවාගනිමින් තරඟාවලිය ඇරඹූ බට්ටි තුන්කොන් සටනේ තමන් සහභාගි වූ අවසන් තරඟයේදී චමුදි නාමය ලෝකයටම රැගෙන ගියාය. ඒ, එංගලන්තයට එරෙහි පන්දුවාර 50 තරඟයේදී ලකුණු 42කට කඩුලු 5ක් බිඳ හෙළමිනි. 

“එංගලන්තයයි ඔස්ට්‍රේලියාවයි රෑන්කින්වල උඩ ඉන්න හොඳම කණ්ඩායම්. එයාලට හොඳ ප්‍රෙෂර් එකක් දීලා තරඟ දිනන්නයි අපි ගියේ. ටී ටුවෙන්ටිවල අපි දෙකක් දින්නා. දෙකක් පැරදුණා. වන්ඩේවල තරඟ දෙකෙන් එකක් දින්නා. එංගලන්තෙ ලකුණු 108 කින් පරද්දන්න අපිට පුළුවන් වුණා. ඒක ලොකු ජයක්. ඒකට හරිම සතුටුයි. මං එදා විකට් පහක් ගත්තා. ටීම් එකේ හැමෝම මට උදව් කළා. මං වගේ පොඩි කෙනෙක් එහෙම කරපු එක ගැන එයාලත් ගොඩක් සතුටු වුණා.”

එම තරඟයේදී කැරිස් පේව්ලි දවා ගැනීමට චමුදි පන්දු යවමින් උඩ පන්දුව රැකගත් අවස්ථාව බොහෝදෙනෙකුගේ අවධානයට ලක්විය. 

“ඊට කලින් එයාගෙන්ම ඒ විදියටම මට කැච් එකක් ආවා. ඒක ලේසියි. ඒත් මට මිස් වුණා. මට ඒකට ටිකක් කේන්ති ගියා. එයා ආයෙම මට චාන්ස් එකක් දුන්නා ඒ විදියටම කලින් එකට වඩා ටිකක් අමාරු. මං ඒක කැච් කළා.”

ආරම්භයේදී චමුදි වමත් වේග පන්දු යවන්නියකි. ඇය දිස්ත්‍රික් සංචිතයට තේරුණේ එම ඉරියව්වෙන් පන්දු යවමිනි. එහෙත් දැන් ඇය වමත් පිට දඟ පන්දු යවන්නියකි. 

“දිස්තික් කෝචුයි පළාත් කෝචුයි තමයි මාව ඒ විදියට වෙනස් කළේ. මට හිතෙනවා ලෙෆ්ට් ආර්ම් පේස් එකට වඩා ස්පින් එක මට පහසුයි කියලා. මං ඒ කාලේ ගොඩක් මිටියි. එතකොට එච්චර හයියෙන් බෝලෙ යන්නෙ නෑ. ඒ නිසා ලෙෆ්ට් ආර්ම් ස්පින් එක තෝරගත්ත එක හොඳයි.” 

බට්ටිගේ පියා දිනේෂ් කුමාර උග්‍ර ක්‍රිකට් රසිකයෙකි. ඔහු නිවසට රූපවාහිනියක් ගැනීමට පෙර ක්‍රිකට් තරඟ නැරඹීමට කිලෝමීටර කිහිපයක් ඈත නිවෙසකට යාම පුරුද්ද කරගෙන තිබිණ. චමුදි ක්‍රිකට් නැරඹීමට පටන්ගන්නා කාලයේදී දිනේෂ්ගේ ප්‍රියතම ක්‍රීඩකයා කුසල් ජනිත් පෙරේරා ය. එබැවින් චමුදි ද ඔහු ප්‍රිය කළාය. එහෙත් වසර කිහිපයකට පෙර එක්තරා තරඟයක් නැරඹීමෙන් පසු ඇගේ රසිකත්වය වෙනස් විය. එදා සිට මේ දක්වා ඇගේ ප්‍රියතම ක්‍රීඩකයා ධනංජය ද සිල්වා ය. ඒ කැමැත්ත කෙතරම්ද යත්, ඇය සිය ක්‍රිකට් ජර්සිය 75 ඉලක්කමෙන් අංකනය කිරීමට උත්සාහ ගත්තාය. එහෙත් බට්ටිට හිමිවූයේ 29 ඉලක්කමයි. තවමත් 75 අංකය ලබාගැනීමේ උත්සාහය අතහැර නොමැති බවද ඈ අප සමඟ කීවාය. ඇගේ ප්‍රියතම ක්‍රීඩිකාව හර්ෂිතා සමරවික්‍රමයි. ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි ආදරණීය හැඟීමකින් පසුවන බට්ටිගේ ප්‍රියතම ක්‍රීඩක ක්‍රීඩිකා ලැයිස්තුවේ එකඳු විදේශිකයකු නොමැති වීම විශේෂත්වයකි. 

“මට මේ ටූනමන්ට් එකේදී එංගලන්තයේ පෙරින්ටයි, ඔස්ට්‍රේලියා කැප්ටන් හැමිල්ටන්ටයි තමා බෝල් කරන එක ටිකක් අමාරුයි කියලා හිතුණෙ. එයාලා හොඳට බෝලෙට ඇටෑක් කරනවා. ඉන්ග්ලන්ඩ් මැච් එකේදී පෙරින් අවුට් කරගත්තෙ දෙව්මි අක්කා. හැබැයි එයා අවුට් වුණෙත් හොඳට ඇටෑක් කරලා. එදා මැච් එක ටර්න් වුණේ එතැනින් කියලයි මට හිතෙන්නෙ. හැබැයි ඒ අයටත් වඩා මට බෝල් කරන්න අමාරු අපේ අයට. විශේෂයෙන් ලෙෆ්ට් හෑන්ඩ් අයට. මට හිතාගන්න බෑ වෙලාවකට එයාලට බෝලෙ දාන්න ඕනෙ කොතනින්ද කියලා. කොහෙන් දැම්මත් ගහනවා.”

ක්‍රිකට් ගැන අපේ කතාව අතරේ බට්ටිගේ මව අනෝමා නිශාන්ති එතැනට පැමිණියේ උණුසුම් තේ පැන් සංග්‍රහයක්ද සමඟිනි. චමුදිගේ විරෝධය මැද ඇගේ දඟකාරකම්ද ඇය අපට පැවසුවාය. 

“මෙයා මැච් එකක් ඉවර වෙනකල්ම බලනවා. පරදිනවා කියලා හොඳටම තේරුණත් බලන එක නවත්තන්නෙ නෑ. අපේ ගෙදර ප්ලාස්ටික් පුටු හයක් තිබුණා. ඒ ඔක්කොම ක්‍රිකට් ගහන්න අරන් කඩලා දැම්මා. මේ ජනෙල් ටිකට වීදුරු දාගත්තෙත් ළඟදි. ඒ කාලෙනං මං බැන්නා. ඒත් ඊටපස්සෙ මෙයාගෙ කැමැත්තට ඉඩ දීලා හිටියා. දැන් එයා ඉන්න තැන ගැන සතුටුයි. එදා අන්තිම මැච් එකට පස්සෙ කොළඹ ඉඳලා ගෙදර එද්දී අපිට බස්වල සීට් තිබුණෙත් නෑ. ඒත් බස් එකේ අය දුව අඳුනගෙන සීට් දෙකක් දුන්නා. ටිකට්වලට සල්ලි ගත්තෙත් නෑ. ගමේ අය පවා උදව් කරනවා. මේ හරියෙ වැඩියෙන් ඉන්නෙ දෙමළ අය. එදා මෙයා එන දවසෙ පිළිගැනීමේ උත්සවයක් ලෑස්ති කරලා තිබුණෙත් එයාලමයි.”

ඒ අතරතුර බට්ටිගේ පියා දියණිය ගැන කතා කළේ සතුටු කඳුළු පිරි දෑසිනි. 

“මෙයාලා ඉස්කෝලෙ වුණත් සෙල්ලම් කරන්නෙ ගොඩක් අගහිඟකම් මැද. ඉස්කෝලෙ ටීම් එක තරඟවලට අරන් යනකොට අපි අමාරුවෙන් තමයි සල්ලි එකතු කරගෙන වාහනයක් ගන්නෙ, නවතින්න තැන් හොයාගන්නෙ එහෙම. ඒත් අපි හැමෝම අමාරුවෙන් හරි ඒක කරනවා. දුවලගෙ කෝචුත් ත්‍රීවීල් එකක් එළවන ගමන් තමයි මෙයාලට ඇවිත් ක්‍රිකට් උගන්නන්නෙ. දුවගේ අම්මා කලින් ගාමන්ට් එකක වැඩ කළා. ඒත් දැන් දුව අරගෙන නිතර කොළඹ යන්න එන්න වෙන නිසා ඒක කරන්නෙත් නෑ. එදා අන්තිම මැච් එක බලන්න අම්මා ගියා. මට යන්න විදියක් තිබුණෙ නෑ වැඩ නිසා. මං අම්මට සැරින් සැරේ කතා කරලා තමයි විස්තර ඇහුවෙ. විකට් පහක් ගත්තා කිව්වම මට හරිම සතුටක් දැනුණා. ඇඬුණා. ෆෝන් එකෙන් බලලා පස්සෙ ටීවී එකෙනුත් ඔක්කොම බැලුවා. එයා විකට් එකක් අරන් අත් දෙපැත්තට දානකොට මට පුදුම හැඟීමක් ආවෙ.”

ක්‍රිකට්වලින් ඉදිරියට ගියද චමුදි අධ්‍යාපනයටද හපනියකි. වසර කිහිපයක් ඇය නොකඩවා පන්තියේ පළමුවැනියා වී තිබේ. පසුගිය වසරේ පමණක් එය වෙනස් වූයේ ක්‍රීඩාවට වැඩි ඉඩක් වෙන් කිරීමට වූ බැවිනි. 

“මං ගිය අවුරුද්දටම ඉස්කෝලෙ ගියෙ සති දෙකක් තුනක් වගේ. කොහොම හරි එහෙම කරලා අටවැනියා වුණා.”

විෂය පරිබාහිර ක්‍රියාකාරකම් ගණනාවක නිරත වන බට්ටී සංගීත විෂයෙහිද දක්ෂයෙකි. ගායනයෙන් පළාත් මට්ටමේ දක්ෂතා දක්වා ඇති ඈ 2019 සමස්ත ලංකා පාසල් සංගීත තරඟයේ ළමා ගී අනුවාදන සමූහ තරඟයේ ප්‍රථම ස්ථානය දිනූ කණ්ඩායමේ සාමාජිකාවකි. කුඩා කාලයේ සිට ඇය නර්තනයටද දක්ෂය. මෙවර කොට්ඨාස ක්‍රීඩා තරඟාවලියේදී චමුදි එල්ලේ ක්‍රීඩාවෙන්ද වාර්තාවක් තබා ඇත. ඒ අවසන් පන්දු 5ට ලකුණු 5ක් ලබමිනි. ඈ ලැබූ සමස්ත ලකුණු 10කි. චමුදිගේ දස්කම් ලියැවුණු සහතික සොයා දුන්නේ වැඩිමහල් සොයුරිය තමෝදනී සෙව්වන්දි ය. ගයන්ත ප්‍රමුදිත මල්ලී ද අක්කා ගැන ආඩම්බරයෙන් සහතික නරඹමින් සිටියේය. රූපවාහිනී තිරයෙන් දුටු චමුදි විවිධ දක්ෂතාවල සංකලනයක් බව අප දැනගත්තේ ඈ හමු වූ විටය. ඇය සැබෑම මැණිකකි. එය සීරුවට ඔපමට්ටම් කර ඉදිරියට රැගෙන යාමේ වගකීම බලධාරීන් සතුය. එසේම අගහිඟකම් මැදින් ඉදිරියට යාමට බලා සිටින තවත් එවැනි තරු කැට රට පුරා විසිරී තිබෙන බවද අප අමතක නොකළ යුතු කරුණකි. 

විශේෂ ස්තුතිය – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනී අප්සාරි තිලකරත්න

රෂ්නිකා ලියනගේ