විශේෂාංග

ඒ කාලේ ඉස්කෝලේ ළමයි මට කිව්වේ එළදෙන කියලා

චැන්ටෙල් බ්‍රවුන් යන්ග් ඉපදුණේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී. ඒ 1994 අවුරුද්දේ ජූලි 27 වෙනිදා. පුංචි කාලේ කොච්චර හැඩට පෙනුමට හිටියත් කාලයත් එක්ක මේ පුංචි කෙල්ලගේ සම මතුපිට සුදු පාට කැළැල් මතුවෙන්න පටන්ගත්තා. මුලින්ම මුහුණේ එක් තැනක මතුවුණු මේ කැළැල් ඇයගේ ඇඟ පුරාම පැතිරෙන්න වැඩි කාලයක් ගියේ නෑ. එතකොට ඇයට හරියටම වයස අවුරුදු හතරයි.

අපේ පුංචි සුරංගනාවිට මොකක්ද මේ වුණේ…?

එහෙම හිතුවේ චැන්ටෙල්ගේ දෙමව්පියන් වූ ලීසා බ්‍රවුන් සහ වින්සර් යන්ග් දෙපළ. ඉතින් තවත් බලාගෙන ඉන්න බැරිතැන ඔවුන් තීරණය කළා ඇයව වෛද්‍යවරයෙක් ගාවට රැගෙන යන්න. එදා චැන්ටෙල්ව පරීක්ෂා කරපු වෛද්‍යවරයා ඇගේ දෙමව්පියන්ට කිව්වේ මෙහෙම කතාවක්.

මේ දරුවට වැළඳිලා තියෙන්නේ ටිකක් දුර්ලභ රෝගී තත්ත්වයක්. වෛද්‍ය විද්‍යාවේ මේ සම සුදුවීමේ රෝගී තත්ත්වය හඳුන්වන්නේ විටිලිගෝ (Vitiligo) නැත්නම් සුදු කබර කියලා.

ඊටපස්සේ කොයිතරම් ප්‍රතිකාර කළත් චැන්ටෙල්ගෙ මේ රෝගය සුවකරගන්න ඇගේ දෙමව්පියන්ට හැකිවුණේ නෑ. ඒ හැම උත්සාහයක්ම හරියට ගඟට කපපු ඉනි වගේ වුණා. ඒක නිසා මේ පුංචි කෙල්ලට එතැන් පටන් තමන්ගේ අසාමාන්‍ය අලුත් පෙනුමත් එක්ක ජීවත්වෙන්න සිද්දවුණා.

කොහොම නමුත් මේ අසාමාන්‍ය රෝගී තත්ත්වය නිසා ඇගේ ළමා කාලය එතරම් සුන්දරව ගතවුණේ නෑ. ඇයව දකින බොහෝදෙනෙක් එළදෙන, සීබ්‍රා වගේ සත්තුන්ගේ නම් කියලා ඇයව සමච්චල් කළා. නොතේරෙන කාලේ ඒ දේවල් එතරම් ගණන් නොගත්තත් තේරෙන කාලෙට එද්දි චැන්ටෙල්ට ඒක දරාගන්න බැරිවුණා. කාලයත් එක්ක හරි මේ පෙනුම නැතිවෙලා යයි කියලා හිතුවත් ඇගේ අවාසනාවට එහෙම වුණෙත් නෑ. ඒක නිසාම කවුරුත් සුන්දරම කාලේ කියල හඳුන්වන පාසල් කාලය ඇයට ගෙවන්න වුණේ හරි අසුන්දර ජීවිතයක්.

ඉස්කෝලෙදි මට යාළුවෝ හිටියේ නෑ. මං හිටියේ තනියම. අඩුම තරමේ මං ළඟින්වත් යාළුවෙක් ගියේ නෑ. එයාලා සෙල්ලම් කරන්නවත් මාව ගත්තේ නෑ. දවසක් මං ඇහුවා ඒ අයගෙන් ඇයි මගෙත් එක්ක යාළුවෙන්න අකමැති කියලා. එතකොට එයාලා මට කිව්වා මගෙන් මේ ලෙඩේ බෝ වෙයි කියලා ඒ අයගේ ගෙවල්වලින් මගේ ළඟටවත් එන්න එපා කියලයි තියෙන්නේ කියලා. එදා නම් මට ඇත්තටම දරාගන්න බැරිවුණා. ගෙදර ඇවිත් හොඳටම ඇඬුවා.

දිගින් දිගටම ඒ විදියට ආපු අපහාස හමුවේ ඇගේ හිතයි ගතයි දෙකම ඇදගෙන වැටිලයි තිබුණේ. ඒ නිසා ඇය නිතරම කළේ අඬපු එක. ඔය අතරේ දිගින් දිගටම ඇයට පාසල් මාරුකරන්න පවා සිද්ධවුණා. ඒ විතරක් නෙවෙයි උසස් අධ්‍යාපනයත් මගඇරුණා. ඒක නිසාම අවස්ථා කීපයකදී දිවිනසාගන්න පවා ඇයට හිතුණා.

මම මැරෙන්න හිතුවත් මං ඒ තීරණේ වෙනස් කරගත්තා. මොකද මට ඕනෙ වුණා මට අපහාස කරන මිනිස්සුන්ට මං කවුද කියලා පෙන්නන්න.

එහෙම හිතපු චැන්ටෙල් අවසානේ හරි අපූරු තීරණයක් ගත්තා. ඒ තමයි නිරූපණ ශිල්පිනියක් වෙන්න තීරණය කිරීම. ඒත් ඒකට වැදගත්ම දේ පෙනුම. ඉතින් එවැනි වෘත්තියක් තෝරාගැනීම නිසා ඇයට වුණේ තව තවත් සමාජය ඉදිරියේ හාස්‍යයට ලක්වෙන්න. ඒත් මොන බාධක ආවත් ආයෙත් නම් ආපහු හැරෙන්නේ නෑ කියලා ඒ වෙනකොටත් ඇය හිතලා ඉවරයි.

මාව කොන්කරපු මිනිස්සුන්ට දෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි මං නිරූපණ ශිල්පිනියක් වෙන එක. මං කොහොම හරි ලෝකයේ ඉහළම පෙළේ නිරූපිකාවන්ට අවස්ථාව හිමිවෙන ලෝක ප්‍රසිද්ධ වික්ටෝරියා සීක්‍රට් විලාසිතා දැක්ම නියෝජනය කරන නිරූපිකාවක් වෙනවා.

චැන්ටෙල් එහෙම හිතුවත් ඒ ගමන පටන්ගන්නේ කොතැනින්ද කියලා ඇයට තේරුමක් තිබුණේ නෑ. ඒ නිසාම ඇය දිගින් දිගටම කළේ විවිධ විලාසිතාවලින් සැරසිලා ඉන්න ඇගේ ඡායාරූප ඇයගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළකරපු එක. ඔය අතරෙයි ඒ ඡායාරූප දකින ඇමෙරිකානු රූපවාහිනී නිවේදිකාවක් වෙන ටයිරා බෑන්ක්ස් ඇයට කතා කරන්නේ. ඒ ඔවුන්ගේ රටේ පවත්වන ‘America’s Next Top Model 2014’ නමින් පැවැත්වූ රූපවාහිනී වැඩසටහන ගැන ඇයට කියන්න.

මං ඒකට ඉදිරිපත් වුණා. මට හැකියාව ලැබුණා එහි අවසන් වටයට එන්න. ඒකට ගිය පළමු සහ එකම කැනේඩියානු තරුණිය වුණෙත් මං. ඉතින් මං ප්‍රසිද්ධ වුණා. මට විලාසිතා නාමයන් කීපයකින් ආරාධනා ආවා ඔවුන්ගේ නිරූපිකාවක් විදිහට කටයුතු කරන්න.

චැන්ටෙල් කියන විදිහට ඇගේ නිරූපණ චාරිකාව ඇරඹුණේ එහෙම. ඒ අතරේ ඇය හරි අපූරු තීරණයකුත් ගත්තා. ඒ තමන්ගේ නම වෙනස් කරගත්ත එක. එතැනින් පස්සේ ඇය භාවිතා කළේ ‘විනී හර්ලෝ’ (Winnie Harlow) කියන නම.

මං ගොඩාක් ආදරේ කරපු ඇමෙරිකානු නිළියක් තමයි ජියෑන් හර්ලෝ කියන්නේ. මගේ අලුත් නමේ අගට හර්ලෝ කියලා දාගත්තේ ඇයව සිහිපත් වෙන්න.

එතැන් පටන් ඇයට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩවලින් නම් අඩුවක් වුණේ නෑ. ලෝකයේ සුප්‍රසිද්ධ සමාගම් පවා තම සන්නාම නිරූපිකාව විදිහට තෝරගත්තේ විනීව. ඒ නිසාම කාලයත් එක්ක ඇය ප්‍රසිද්ධ නිරූපිකාවක් බවට පත්වුණා.

නිරූපණයට ඇවිත් කෙටි කාලෙකින් මට හැකියාව ලැබුණා ලන්ඩන් විලාසිතා සතියේ නිරූපණ ශිල්පිනියක් වෙන්න. මගේ ලොකුම හීනය වූ ලෝක ප්‍රසිද්ධ වික්ටෝරියා සීක්‍රට් විලාසිතා දැක්ම නියෝජනය කරන්නත් පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි ලෝක ප්‍රසිද්ධ සඟරා බොහෝමයක මුල් පිටුව සැරසුණේ මගේ රුවින්. අන්තිමේ මාව කොන්කරපු මිනිස්සුම මගෙන් සමරු සටහන් ගන්න, සෙල්ෆි ගන්න තැනට පත්වුණා.

මේ වෙනකොට ඇය තවත් අපූරු වැඩකට අතගහලයි තියෙන්නේ. ඒ තමයි සමාජ සේවිකාවක් විදිහට සුදු කබර රෝගයෙන් පෙළෙන අයගේ ආත්ම අභිමානය දියුණු කිරීම වෙනුවෙන් පෙනී සිටින එක. මොකද තමන් විඳපු දුක තවත් කෙනෙක් විඳිනවා බලන්න ඇයට උවමනාවක් නෑ කියලයි 28 හැවිරිදි විනී කියන්නේ.

ප්‍රතික්ෂේප වූ බොහෝ තැන් හයියක් කරගෙන සිය සිහින හැබෑ කරගත් තරුණියක් තමයි විනී හර්ලෝ. ඇය මේ වනවිටත් නිරූපණ ශිල්පිනියක් ලෙස සම්මාන රැසක්ම දිනාගෙනයි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට ඇගේ නම ලෝකයේ හොඳම නිරූපිකාවන් අතරත් ඉහළින්ම තියෙනවා. හැබැයි ඇය දකින බොහෝ අය අදටත් ඇගෙන් අහන එක කතාවක් තියෙනවා. ඒ තමයි එවැනි අසාමාන්‍ය පෙනුමක් එක්ක ඇය නිරූපණය වැනි වෘත්තියකට යොමුවුණේ ඇයි කියලා. ඒ වෙලාවට ඇය හරි ලස්සන හිනාවක් මූනේ තියාගෙනම මෙන්න මෙහෙම කියනවා.

ඔයාලා තවමත් මගෙන් එහෙම කතාවක් අහන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. හැබැයි තවදුරටත් මගේ පෙනුම මගේ ගමනට බාධාවක් නෙවෙයි.

රුවන් එස්.සෙනවිරත්න