වැඩියෙන් අය කළ රුපියල් 20ට අවුරුදු 22ක් නඩු කියූ අසල්වැසියා
“කොන්දොස්තර මහත්තයා ඉතුරු සල්ලි?”
“ඉතුරු කොහෙද? අලුත් බස් ගාස්තුව දන්නෙ නැද්ද?”
කොන්දොස්තර මහත්තයා එහෙම කිව්වාහම ‘මෙයාලා එක්ක කතා කරලා වැඩක් නෑ’ වගේ බැල්මක් හෙළලා ඉතුරු සල්ලි ඉල්ලපු තරුණ මහත්තයා කට වහගෙන ජනේලෙන් එපිට බලාගත්තා.
මේ දවස්වල කාළගුණේ වගේ මොහොතින් මොහොත වෙනස් වෙන බස් ගාස්තුවේ වැඩිම වාසිය ගන්නේ කොන්දොස්තර උන්නැහෙලානේ. ඒ නිසා ඔය වගේ සිදුවීම් දැන් කාටත් හුරුපුරුදුයි.
එක් කෙනෙක්ගෙන් රුපියල ගාණේ වැඩිපුර ගත්තත් දවසට හොඳ ගතමනාවක් හදාගන්න පුළුවන් නිසා සමහර කොන්දොස්තර මහත්තුරු බලන්නේම මාරු නොදී මාරුවෙන්න. ඉතුරු ඉල්ලන්න ගිහින් බස් එකේ සෙනඟ ඉස්සරහා ලැජ්ජ වෙන්න වෙයිදෝ කියන දෙගිඩියාව නිසා ගොඩක් නෝනා මහත්වරු ඒ සල්ලි පිනට දුන්නාය කියලා හිත හදාගන්නවා. හැබැයි දුක් මහන්සියෙන් හම්බකරන රුපියල දෙකට වුණත් වංචා කරනවට අකමැති, ඒ වෙනුවෙන් කතා කරන උදවියත් ඔය අතරේ ඉන්නවා.
හැබැයි එහෙමයි කියලා ඉතුරු සල්ලි වෙනුවෙන් නඩු කියන්න යන්නේ කවුද?
ඉතුරු රුපියල් 20කට අවුරුදු 22ක් තිස්සේ නඩු කියලා ඒ නඩුව ජයගත්තු මනුස්සයෙක් ගැන පහුගිය දවසක අපේ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වුණා. අපිට ඉතුරු නොදෙන්නේ බස්වලින්. හැබැයි මේ මහත්තයගේ රුපියල් ඉතුරු රුපියල් 20 නොදී ඇරලා තියන්නේ දුම්රිය කවුන්ටරෙන්. ඉතුරු සල්ලි හුටපටේ මේ දවස්වල හතරවටින් ඇහෙන නිසා මේ මහත්තයගේ කතාව කවුරුත් කියවලා බලන එක හොඳයි.
තුංගනාත් චතුර්වේදී ඉන්දියාවේ චතුර්වේදී ප්‍රදේශයේ පදිංචි නීතීඥවරයෙක්. 1999 වසරේදී ඔහු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ඉඳලා චතුර්වේදී ප්‍රදේශයට යන්න දුම්රිය ප්‍රවේශපත්‍ර දෙකක් ගන්න හිතාගෙන මථුරා කැන්ටූන්මන්ට් දුම්රිය කවුළුවට රුපියල් 100ක් දීලා තියෙනවා.
චතුර්වේදී ලබාගත්තු එක ටිකට්පතක මිල රුපියල් 35යි. ඉතින් ටිකට්පත් දෙකකට රුපියල් 70ක් අය කරගෙන ඉතුරු 30ක් දෙනවා වෙනුවට මුදල් අයකැම් නිලධාරියා ඔහුගෙන් රුපියල් 90ක් අයකරගෙන, ඉතුරු 10ක් දුන්නලු.
“මෙතන රුපියල් 20ක් අඩුයිනේ…”
චතුර්වේදී කීපසැරයක්ම කිව්වත් දුම්රිය මුදල් අයකැමි නෙමෙයිලු ඒ වචන තඹදොයිතුවකට මායිම් කළේ.
මේක නම් ලේසියකට අතාරින්නේ නැහැයි කියලා තදේටම හිතට ගත්තු චතුර්වේදී එයිට පහුවෙනිදම ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මුදල් අයකැමි නිලධාරියාට එරෙහිව මථුරාහි පාරිභෝගික අධිකරණයේ නඩුවක් ගොනු කළා. එතකොට ඔහුගේ වයස අවුරුදු 44යි.
“මේකට අවුරුදු ගාණක් ගියේ ඉන්දියානු අධිකරණයේ මන්දගාමීබව නිසයි. මේක මහ බොරු වැඩක් කියලා කීපවතාවක්ම ඒ අය මගේ නඩුව නිශ්ප්‍රභා කරන්නත් හැදුවා. ඒත් මම දිගින් දිගටම සටන් කරපු නිසා අධිකරණයට මගේ නඩුව විභාග නොකර බැරි වුණා.”
උත්සාහවන්තයා ජය ගනී කියනවනේ. ඒ කිව්වත් වගේ අවුරුදු 22ක දීර්ඝ නඩු කාලෙකට පස්සේ චතුර්වේදී දුම්රිය දෙපාර්තමේන්තුවට විරුද්ධව දාපු නඩුවෙන් ජයගත්තා. එතැනදී ඔහුට ඉන්දියානු රුපියල් 15,000 (ලංකා මුදලින් රුපියල් 69,000) ගෙවන්න දුම්රිය දෙපාර්තමේන්තුවට සිද්ධවුණා.
“ඔය නඩුව මහ බොරු වැඩක්. කාලය නාස්ති කිරීමක් කියලා මගේ පවුලේ අය කීපසැරයක්ම කිව්වා. මට හම්බුණු වන්දිය ගැනත් ඒ අය සතුටු නැහැ. මට නම් ඇත්තටම සල්ලි වැඩක් නැහැ. මම මේක කළේ යුක්තිය වෙනුවෙන්. දූෂණයට එරෙහිව සටන් කරන එක හැම පුරවැසියෙකුගෙම වගකීමක්.”
චතුර්වේදී නීතීඥවරයෙක් නිසා නඩුව වෙනුවෙන් ඔහුට නීතිඥ මුදල් වැයවෙලා නැහැ. හැබැයි උසාවි යන්නයි එන්නයි ඔහුට හම්බුණු වන්දියටත් වඩා වැඩි මුදලක් වැය වුණාලු. දැන් ඔහුගේ වයස 66යි. ඔය අවුරුදු ගාණට චතුර්වේදී නඩු වාර 120කට සහභාගී වෙලා තියෙනවා.
කවුරු කොහොම කිව්වත් තමන් අයුක්තියට එරෙහිව නැගී සිටියා කියලා චතුර්වේදී සතුටු වෙනවා. “මේ මිනිහා පිස්සෙක්” ඔය අතරේ සමහරු ඔහුට හිනාවෙනවලු. වෙහෙස මහන්සිය ගැනවත් නොසිතා චතුර්වේදී අයුක්තියට එරෙහිව හඬ නැගීම වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කරන පිරිසකුත් ඉන්නවා.
තමන් මහන්සිවෙලා හම්බකරන රුපියලට දෙකට වුණත් වංචා කරන්න දීලා උඩබලන් ඉන්න අවශ්‍ය නැහැ කියලයි ඔහු කියන්නේ. නඩු දැමිල්ල කෙසේ වෙතත් ඒ වෙනුවෙන් කතා කරන්න නම් පැකිළෙන්න එපා කියලයි අපිත් කියන්නේ.
සෙව්වන්දි හෙට්ටිආරච්චි