විශේෂාංග

පාසල් දැරියක් පිරිමි ළමුන්ට ගවුම් උස්සලා

(මෙය උතුරුමැද පළාතේ පාසලක පසුගිය සතියේ සිදුවූ සත්‍ය සිදුවීමකි. දැරියගේ පුද්ගලිකත්වයට හානි නොවිය යුතු නිසා නම පමණක් වෙනස්කොට ඇත)

බහතෝරන වියේ සිටි පුංචි ගිහන්සා, ඇගේ භාෂාවෙන් මොන මොනවාදෝ කියන්නට වූවාය. දවසේ වැඩි හරියක් බිම එළන ලද පැදුරක අතපය සොලවමින් උන් පුංචි පැටික්කිය ගැන බලන්නට ඇගේ කිරි අම්මාටද ලොකු වෙලාවක් තිබුණේ නැත.

‘‘කෙල්ලේ… උඹව හුරතල් කර කර ඉන්න ගියොත් මට අද කඩේට ගිහින් එන්න වෙලාවක් නැතිවෙනවා’’

පුංචි කෙල්ලට කැඳ වතුර පොවමින්, ඇය කිව්වේ තරහකටම නොවේ. ගිහන්සා හැඬුවත් නොහැඬුවත්, නිදිය ගත්තත්, නැගිට සිටියත් කිරි අම්මා කඩ මණ්ඩියටත්, දරටික, වතුර ටික සොයා ගන්නටත් යා යුතුව තිබුණි. එවන් විටක දරුවා බලා කියා ගත්තේ අසල්වැසි ඥාතියෙකි. නොඑසේ නම් ගිහන්සාට වඩා වසර තුන හතරකින් වැඩිමල් දරුවෙකි.

මේ පුංචි පැංචියට ඒ දිනවල අම්මාගේ ආදරය අහිමිව යන්නේ ගෙදර තිබූ අඟහිඟකම් සමගිනි. ඒ ඒවාට පිලියම් ලෙස ඇයට රට රැකියාවකට යාමට සිදුවූ නිසාය. සිවිල් ආරක්ෂක භටයෙකු වූ ගිහන්සාගේ පියාද ඒ වන විට ඉන් ඉවත්ව කුලී වැඩක් කරමින් ජීවිකාව ගෙන ගියත් ඔහුට කුඩා දියණිය හා ගත කරන්නට කාලයක් තිබුණේ නැත. පුංචි දැරියව බලා කියා ගැනීම ගැන ඔහු ලොකුවට සිතුවේ ද නැත.

එහෙත් කාලය දින සති මාස බවට පත්වෙමින් තිබුණි. උතුරු මැද පළාතේ වියළි කර්කෂ බව මැදින් පුංචි ගිහන්සා, පාසල් යන වයසටද එළඹ සිටියාය.

අම්මා එවූ මුදල්වලින් පාසල් ගමනට අවශ්‍ය අඩුම කුඩුම ගෙනැත් දුන් කිරි අම්මා පුංචි කෙල්ලට අවවාදයක් දුන්නේ, ඒ වන විටද ඇගේ පුංචි පුංචි හිතුවක්කාරකම් ගැන අහල පහල ළමුන්ද පැමිණිලි කර තිබූ නිසාය.

‘‘සුගුණ අක්කේ මේකි අපේ කොල්ලට කෙළ ගහල තියෙනවා. තව නරක වචනෙකුත් කියලා තියෙනවා.’’

වත්සලා පැමිණිලි කරද්දි කිරි අම්මා කෙල්ලගේ කන මිරිකුවාය. එවේලේ ගිහන්සා නිශ්ශබ්දව සිටියත් පසුදා එම දරුවාට පහර දී අතද කොනිත්තා දමා තිබුණි.

මේ ගැන කිරි අම්මා ගිහන්සාගේ අම්මාටද පැමිණිලි කළාය.

‘‘උඹ ඇවිත් මේ ළමය බාර ගනින්’’

කිරි අම්මා කීවාය.

‘‘මම ටික දවසකින් එනවනේ අම්මේ. ළමයා ඉස්කෝලේ යන්න හිටියම හරියාවි. බය නැතිව ඉන්නකෝ.’’

ඇය එසේ කීවත් පාසල් යාමට පටන් ගත්දා සිට අකුරු ඉගෙන ගන්නවාට වඩා ගිහන්සාට ඕනෑ වූයේ පුංචිකමට දඩබ්බරකම් කරන්නටය. එම පාසල මිශ්‍ර පාසලක් වුවත් ගිහන්සා විටෙක කෙල්ලන්ට වාගේම කොල්ලන්ටද පහර දෙන්නට කොනිත්තන්නට වූයේය. ඒ වාගේම ඇය පාසලට ආවේද අපිරිසිදුවට හා අපිළිවෙළටය. කොණ්ඩය හරියකට පීරා තිබුණේද නැත. ගුරුවරුන් දෙන අවවාදයක් හෝ පිළිගන්නට තරම් සිතක් නැති ගිහන්සාට තවමත් වයස අවුරුදු හතකි. ඇය දැන් දෙක වසර පන්තියේය.

කොරෝනා නිවාඩු කාලයේ ඇගේ අම්මා ලංකාවට පැමිණියෙන්, වෙනදාට වඩා දැරිය පිළිවෙළකට පාසලට පැමිණියාය. එහෙත් ඇගේ ගතිගුණවල නම් වෙනසක් සිදුවූයේ නැත. ඊට අලුත් අලුත් ක්‍රියා එක් වූවා පමණි.

‘‘මේ දරුවා දවසක් ලොකු පන්තියක පිරිමි දරුවන්ට සුදු ගවුම උස්සලා පෙන්නලා. ඒ වෙලාවේ ළමයට ගුරුවරු අවවාද කළා. ඒත් වරින්වර මේ ක්‍රියාව සිද්ධ වෙලා තියෙනවා. ආසන්නම සිද්ධිය වෙලා දැන් සතියක් විතර වෙනවා. මේ දරුවට දැන් යෙහෙළියොත් ඉන්නවනේ. ඉතින් මෙයයි යාළුවෝ දෙන්නෙකුයි පිරිමි ළමයින්ට ගවුම උස්සලා පෙන්නලා. ඒ වෙලාවේ අලුත් සෙල්ලමක් ගැනත් කියලා තියෙනවා. පිරිමි ළමයි දෙන්නෙකුටත් කියලා කලිසම ගලවලා පෙන්නන්න කියලා. ඉතින් මේ ක්‍රියාව ගැන දරුවන්ගෙන්ම අපට පැමිණිලි ආවා.’’

ඒ උතුරුමැද පළාතේ පාසලක් වූ ගිහන්සාගේ පාසලේ විදුහල්පතිනියයි. ‘ධරණී’ කළ විමසුමට අදහස් දක්වමින් ඇය කියා සිටියේ, අදාළ සිදුවීම තුළ පැති කිහිපයක් තිබිය හැකි බවයි. කෙසේ නමුත් පාසලක විනය කාරණා සුළු කොට තැකිය හැකි දේ නොවන බවද ඇය කීවාය.

‘‘මේ පවුලේ එකම දරුවා මේ ළමයා. ඇය මේ ක්‍රියාවට පෙළඹුණේ කොහොමද කියනෙක ගැටලුවක්. මේ ළමයා සෙල්ලමක් කරමු කියලනේ කියලා තිබුණේ. ඒ ගැන මේ දරුවා එයාගේ හොඳම යෙහෙළියට කියලා තියෙනවා. දෙන්නම එක පන්තියේ. අපි ඇයගෙනුත් ප්‍රශ්න කළා.’’

ඒ ප්‍රශ්න කිරීම කරන්නේ දැරිය සෙල්ලමක් ගැන කියා තිබූ නිසාය.

‘‘අම්මා මාමා කෙනෙක් එක්ක එහෙම සෙල්ලමක් කරනවා දැක්කලු. ඒක සෙල්ලමක් කියලත් කිව්වලු.’’

මේ ගිහන්සාගේ පුංචි මිතුරිය ඒ ගැන විමසද්දී කී කතාවය. ගිහන්සා සැබෑවටම එවැනි දසුනක් නිවසේදී දැක ඇද්දැයි කියන්නට කිසිවකුත් දන්නේ නැත. විදුහල්පතිතුමිය කියන්නේ හත් හැවිරිදි දැරියක් වූ ගිහන්සා හිතට එන එන දේ කියන්නට පෙළඹෙන ස්වභාවයක් ඇති බවයි.

‘‘දැන් මේ ක්‍රියාව දරුවන්ගේ විනය සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් මතු කරලා. දැනට අදාළ සිදුවීමට සම්බන්ධ දැරිය ඇතුළු ගෑනු ළමයි දෙන්නටත්, පිරිමි ළමුන් දෙන්නටත් අවවාද කළා. ආයෙම පාසල තුළ මේ වගේ දෙයක් වෙන්න බැහැ කියලා. දැනට පාසල තුළ එවැනි ක්‍රියාවක් වාර්තා වුණේ නැහැ.’’

දැරියගේ මෙම ක්‍රියාව ගැන මවද පාසලට කැඳවා සාකච්ඡා කොට තිබේ. මෙයට මුල් වූ කරුණු කාරණා මෙන්ම මානසිකව දැරිය පත්ව ඇති තත්ත්වයෙන් ඇය මුදවා ගැනීමට එම ළමා මනසට අවශ්‍ය ආදරය, රැකවරණය ලබා දීමත්, වැඩිහිටියන් ලෙස බුද්ධිමත්ව ක්‍රියා කිරීමත් වැදගත්ය. ඒ අනුව මෙම දැරියන් ළමා රක්ෂණ කමිටුවේ උපදේශනයන් වෙත යොමු කිරීමට ද නියමිතය.

සමස්තයක් ලෙස ගත් කළ මෙවැනි චර්යාත්මක වෙනස්කම් සහිත දරුවන් ගැන ඉඳහිට අසන්නට ලැබේ. ඒ නිසාම මෙවැනි වෙනස්කම්වලට බලපාන හේතු මොනවාදැයි අපි විමසා සිටියේ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක, වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතාගෙනි.

කුඩා දරුවන් ගත්තම තම නෙත ගැටෙන ඕනෑම දර්ශනයක් අනුගමනය කිරීමේ ස්වභාවික පෙළඹවීමක් දකින්න ලැබෙනවා. දැරිය කියා ඇති ආකාරයට ඇය දුටුව ලිංගික දර්ශනයක් හේතුවෙන් ඇය එය අනුකරණය කරනවා විය හැකියි. එසේ නොමැති නම් කුඩා වයසේ සිටියත්, ඇය කවරකු හෝ අතින් අපහරණයට ලක්ව ඇද්ද යන්න පිළිබඳ ගැටලුවක් පවතිනවා. එසේනම් මෙම හැසිරීමට එය හේතුවූවා විය හැකියි. මේ පිළිබඳව මවට දැනුම් දීලා, දැනට සිද්ධිය යටපත් වෙන්න හැරලා, ඉතා ඉක්මනින් ළමා මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කිරීම වැදගත්. අනුරාධපුර මහ රෝහලේ ළමා මානසික රෝග සායනයට දරුවා රැගෙන ගොස් අවශ්‍ය උපදේශනය ලබාදීම දරුවාගේ අනාගත සුබ සිද්ධියට හේතුවෙනවා.

මෙහි නම් ගම් මනඃකල්පිතයි.

දීපා වසන්ති එදිරිසිංහ