ගිය වසර තුළ ළමා හිංසන පිළිබඳ පැමිණිලි 3,373ක්
2021 වසර තුළ පමණක් ළමා හිංසන පිළිබඳ පැමිණිලි 3,373ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
ඊයේ (04) යෙදී තිබු “ළමා හිංසනයට එරෙහි ජාතික දිනය” වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන එම අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ අවුරුදු 5ට අඩු දරුවන් හිංසනයට ලක්වීමේ සිද්ධීන් 598ක් පසුගිය වසර තුළ වාර්තා වී ඇති බවයි.
දරුවන් පියා අතින් හිංසනයට ලක්වූ සිදුවීම් 1,342ක්, මව අතින් හිංසනයට ලක්වීමේ සිදුවීම් 718ක් සහ මව පියා යන දෙදෙනාගේම හිංසනයට ලක්වූ දරුවන් පිළිබඳ පැමිණිලි 191ක් ලැබී ඇති බව සභාපතිවරයා සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ හිංසනයට ලක්වූ දරුවන් පිළිබඳ පැමිණිලි 98ක් සහ භාරකරුවන්ගේ අතින් හිංසනයට ලක්වූ දරුවන් පිළිබඳ පැමිණිලි 64ක් ද පසුගිය වසර තුළ සිය අධිකාරිය වෙත ලැබී ඇති බවයි.
ළමුන් ආරක්ෂා කිරීමේ වගකීම්දරන මව්පියන්, භාරකරුවන් සහ වගකියුතු සෙසු පිරිස් අතින් ළමුන් හිංසනයට ලක්විම ඛේදවාචකයක් බව පෙන්වාදෙන සභාපතිවරයා පවසන්නේ ළමා හිංසන වැළැක්වීම සඳහා සියලු පාර්ශව වඩා සංවේදීව කඩිනමින් කටයුතු කිරීමේ කාලය එළඹ ඇති බවයි.