Latest News

14 හැවිරිදි බාලවයස්කාර දැරිය විකිණු තැරැව්කරු රිමාන්ඩ් භාරයට

ගල්කිස්ස ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක ඇතුලු කාන්තාවන් පිරිසක් ලිංගික කටයුතු සඳහා වෙළෙදාම් කර කෙටිකලකදී රුපියල් කෝටි 4කට අධික මුදලක් උපයාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ තැරැව්කරු ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (22) සිදුකර නියෝගයකට අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, වාද්දුව පදිංචි විතානගේ රජීව් රවිනාත් ජයසිංහ නැමැත්තායි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

ගල්කිස්ස ප්‍රදේශයේ 14 හැවිරිදි බාලවයස්කාර දැරියක ගණීකා සේවයේ යොදවීමේ සිද්ධියකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බව ද අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

අදාළ සැකකරු බාලවයස්කාර දැරිය සහ තවත් කාන්තාවන් සහ තැනැත්තන් වෙළෙදාමේ යොදවමින් නිතිවිරෝධී ආකාරයෙන් මුදල් සහ දේපල උපයාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

සැකකරු ඉකුත් 2006 වර්ෂයේ සිට බැංකු ගිණුම් 08ක් මගින් රුපියල් හාරකෝටි පනස්හය ලක්ෂ අසූ එක්දහස් නවසිය අටක මුදලක් සංසරණය කර ඇති අතර වෙනත් අයගේ නමින් වාහන කිහිපයක් ද මිලදී ගෙන තිබෙනවා.