නින්දෙන් මුත්‍රා කළාට කුඩා දරුවෙකුට දුන් දඬුවම
දිවුලපිටිය, කඩවල ප‍්‍රදේශයේ ළමා නිවාසයක සිටි පිරිමි දරුවකුගේ ශිෂ්ණයට, එහි පාලිකාව විසින් මිරිස් කුඩු දැමීම හේතුවෙන් එම දරුවා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ , අධිකරණ නියමයෙන් රඳවා සිටින අවුරුදු 09 ක් වූ දරුවෙක්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය , මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණා.
මෙම දරුවාට රාත‍්‍රී කාලයේදී නින්දෙන් මුත‍්‍රා පිටවීම සිදු වන අතර එයට උරණ වී ඇති පාලිකාව දරුවා ළමා නිවාසයේ පිහිටි පහළ නාන කාමරයට රැගෙන ගොස් එම දරුවාගේ ඇඳුම් ඉවත් කර දරුවාගේ ශිෂ්ණයට මෙසේ මිරිස් කුඩු දමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
දිවුලපිටිය පොලිසිය පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ සඳහන් කලේ, එම ළමා නිවාසයේ සිටින දරු දැරියන්ට එම පාලිකාව විසින් අනිසි ආකාරයේ බලපෑම් කරමින් අකටයුතු ක‍්‍රියාවන් සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවයි.
මෙම ළමා නිවාසයේ පිරිමි සහ ගැහැණු දරුවන් විසි පස් දෙනෙකු පමණ සිටින බවත් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් දිවුලපිටිය පොලීසියට නියෝග කර ඇත්තේ, රෝහල්ගත කර සිටින දරුවා සහ එම ළමා නිවාසයේ වාසය කරන දරුවන්ගේ ප‍්‍රකාශ සටහන් කර ගන්නා ලෙසත් යම් වරදක් සිදුවී ඇත්නම් එහි පාලිකාවට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසයි.
මේ අතර අදාළ ළමා නිවාසය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ගම්පහ ප‍්‍රධාන පරිවාස කාර්යාලයටද අධිකරණයෙන් නියෝග කරනු ලැබුවා.