Latest News

15 හැවිරිදි දරුවෙකුට වෙඩි ප්‍රහාරයක්

කැකණදුර මොටාගෙදර ප්‍රදේශයේ දොලහේන වත්තේ දී 15 හැවිරිදි පාසල් සිසුවකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට එම වත්තේ මුරකරු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසනවා.

අදාළ දරුවාගේ පාදයකට තුවාල සිදු වීම නිසා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, තල්පාවිල මහ විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

සරුංගල් යැවීම සඳහා ඔහු මිතුරකු සමග අදාළ වත්තට ඇතුළු වී තිබෙන අතර එහිදී මුරකරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම අවස්ථාවේ දී මිතුරා පැන ගොස් තිබෙන අතර කකුලට තුවාල වු සිසුවා නිවසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව දෙමාපියන් විසින් ඔහු මාතර මහ රෝහල වෙත යොමුකර තිබෙනවා.

කෙසේවෙතත් සැකපිට අත්අඩංගුවට ගත් 61 හැවිරිදි මුරකරු පොලීසියට සඳහන් කර ඇත්තේ, බියවැද්දීම සඳහා අහසට වෙඩි තැබූ බවයි.

අදාළ පාසල් සිසුවාට වෙඩි වැදී තුවාල සිදු වී ඇත්ද නැතහොත් වෙනත් ආකාරයකින් තුවාලයක් සිදු වී ඇත්ද යන්න පරීක්ෂා කිරීම සඳහා ඔහු මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.