Latest News

යාචක කතගේ දරුවා පැහැර ගත් කාන්තාව අත්අඩංගුවට

යාචක කාන්තාවකගේ මාස එකහමාරක් වයසැති පිරිමි දරුවා පැහැරගත්තා යැයි කියන කාන්තාව වනාතවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බම්බලපිටිය පොලිසිය සඳහන් කලේ එහිදී බිලිඳු දරුවා ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

දරුවා පැහැරගැනීමට ආධාර අනුබල දුන් බව කියන ත්‍රිරෝද රථ රියදුරෙකු, බ්‍රෝකර්වරයෙකු ඇතුළු පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ සැමියා විදේශගතව සිටින අතර ඇය දරු ප්‍රසූතියක් සඳහා කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසක රැඳී සිටියදී දරු ගැබට මාස හතක් තිබියදී දරුවා මියගොස් ඇතැයි වාර්තා වනවා.

ඉන් අනතුරුව අදාළ කාන්තාව කෙසේ හෝ දරුවකු සොයා නැවතත් ගමට යාමේ අධිෂ්ඨානයෙන් කල්ගෙවා ඇතැයි ද පොලීසිය සඳහන් කළා.

දරුවකු මිලදීගැනීමට ලක්ෂ තුනක මුදලක් ඇය සතුව තිබී ඇති අතර දෙමටගොඩ ප්‍රදේශයේ දන්නා හඳුනන පුද්ගලයකුට දරුවකු සොයා දෙන ලෙස කාන්තාව පවසා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම පුද්ගලයා මෙම කාන්තාව සමග දෙමටගොඩ, බොරැල්ල, බම්බලපිටිය ආදී ප්‍රදේශවල දරුවෙකු සොයා දින කිහිපයක් ඇවිදිමින් සිටියදී බම්බලපිටිය ප්‍රදේශයේ සපත්තු මසන පුද්ගලයකු ලබාදුන් තොරතුරක් අනුව යාචක කාන්තාව මුණගැසී ඇය අත දරා සිටි මාස එක හමාරක් වයසැති පිරිමි දරුවා මුදලට ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, එයට කැමැත්ත පළකළ යාචක කාන්තාවට ප්‍රධාන සැකකාර කාන්තාව රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති අතර බ්‍රොකර්ට රුපියල් 50,000කුත් ත්‍රීරෝද රථ රියදුරුට රුපියල් 25,000ක් සහ අනෙක් පුද්ගලයන් දෙදෙනාට ද රුපියල් 25,000 බැගින් දී තිබූ බවයි.

යාචක කාන්තාව සමග දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලකට ගොස් තිබූ සැකකාරිය, දරුවා වෙනුවෙන් රුපියල් 1,900ක් වියදම් කර ඇඳුම් පැළඳුම් මිලදීගෙන ලබාදී තිබු බවද පොලීසිය සඳහන් කළා.

දරුවා කාන්තාවට ලබාදීම වෙනුවෙන් යාචක කාන්තාව රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගත්තත් පසුව දරුවා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර කොම්පඤ්ඤවීදිය රථ ගාලකදී දරුවා යාචක කාන්තාව අතින් උදුරාගෙන කුලී මෝටර් රථයක නැගී වනාතවිල්ලුවට රැගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

තම දරුවා පැහැරගත් බවට යාචක කාන්තාව කරන ලද පැමිණිල්ලක් අනුව CCTV දර්ශන අනුව සිදුකළ පරීක්ෂාවේදී ත්‍රිරෝද රථයක ලියාපදිංචි අංක ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

පැමිණිලිකාර යාචක කාන්තාව සහ ඇයගේ සැමියා තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන් බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් 53 හැවිරිදි ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් සියලුදෙනා සහ යාචක කාන්තාව ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

බම්බලපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වනවා.