Latest News

ආහාර සුරක්ෂිතතාව අහිමි පවුල්වලට SOS ළමා ගම්මානයෙන් විශේෂ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත් සමග මේ වනවිට රටේ දරුවන් රාශියක් මන්දපෝෂණය, පාසල් හැරයාම සහ ආහාර අනාරක්ෂිතතාව ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටින බව වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා.

මෙම ගැටලු වල ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් දරුවන්ට තම පවුල්වලින් වෙන්වීමට පවා සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ යහපත වෙනුවෙන් බිම් මට්ටමින් කැපීපෙනෙන මෙහෙවරක නිරත වන සංවිධානයක් වශයෙන් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන මේ වනවිට මෙම දරුවන්ට ආහාරපාන, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකවරණය තහවුරු කිරීම සඳහා විශේෂ මානුෂීය ආධාර වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මෙහි එක් පියවරක් වශයෙන්, සිය ළමා ගම්මාන පිහිටා ඇති දිස්ත්‍රික්ක 9 ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග එක් වී, වෙනත් රාජ්‍ය නොවන සංවිධාන සහ හවුල්කාර ආයතන වලද සහයෝගය ඇතිව, අදාළ දිස්ත්‍රික්ක තුළ සහය අවශ්‍ය දරුවන් සිටින අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගැනීමට ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පියවර ගෙන තිබෙනවා.

තමන්ට ලැබෙන සියලුම ජාත්‍යන්තර ආධාර මෙම මානුෂීය ආධාර වැඩසටහනට බැරකිරීමටද එම වැඩසටහන තීරණය කර ඇති අතර, එමඟින් රටේ පවුල් 3,000 කට අධික සංඛ්‍යාවක දරුවන් 10,000 කට පමණ සෙත සැලසෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.