News

CID/STF මධ්‍යම පළාතේ ඉහළ පුටු හිස්වෙයි

සේවා දිගුවක රාජකාරියේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු ලබන 31 වැනිදාත් තවත් නිලධාරියකු ජනවාරි 31 වැනිදාත් සේවා කාලය අවසන් කර විශ්‍රාම යෑමට නියමිතය.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මේ මස 31 වැනි දින විශ්‍රාම යාමට නියමිත අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ අධිපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ලබන ජනවාරි 31 විශ්‍රාම යාමට නියමිතය

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මෙම වසරේ විශ්‍රාම යාමට සිටී. මෙම නිලධාරීන් තිදෙනාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සේවා දිගුවක් ලබා දුන්නේය.

උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස 1982 පොලිසියට බැඳුණු රවී සෙනෙවිරත්න ප්‍රදේශ කිහිපයක රාජකාරි සිදු කොට පොලිස් විශේෂ කාර්ය බළකාය පළමු නිලධාරී කණ්ඩායම ලෙස එක්ව 1997 සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස රාජ්‍ය බුද්ධි සේවයෙන් පසුව තායිලන්තයේ ශ්‍රී ලංකා පළමු ලේකම් ලෙසද 2016දී බස්නාහිර බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසත් මඩකලපුව, ත්‍රිකුණාමලය, ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් 2012 ජූලි 21 දින සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අඛණ්ඩව වසර ගණනක් සේවය කර විශ්‍රාම යාමට නියමිතය.

සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස 1985 මැයි 20 දින පොලිසියට එක්වන එස්.එම්. වික්‍රමසිංහ පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේනගේ කාලයේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් පසුව වැඩබලන පොලිස්පති ලෙසත් කටයුතු කළ අතර මේ වන විට මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් සේවය කර ඇත.

උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට 1979 ජනවාරි 15 දින එක්වන එම්.ආර්. ලතීෆ්ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක් වන අතර පසුව රාජ්‍ය බුද්ධි සේවයේත් තායිලන්ත මහකොමසාරිස් කාර්යාලයේත්, ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් සේවය කර ඇති අතර මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බළකායේ අධිපති ලෙස කටයුතු කරයි.

චමින්ද සේනාරත්න