විශේෂාංග

ලට්ට ලොට්ට නැතුව කට්ට කට්ට එකතු කරලා හදමුද කළු රත්තරං

මේ දවස්වල කාගෙ කාගෙත් කතාබහට ලක්වෙන ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරික මහත්මයෙක් මේ ළගදි ඔහුගේ ට්විටර් ගිණුමේ ඔහු කළු රත්තරන් මිලදී ගන්නා බවට සටහනක් තියලා තිබුණා. ඉතින් එතැනදි ඔහු රත්තරන් නැත්නම් බ්ලැක් ගෝල්ඩ් කියලා හැඳින්නුවේ මොනවද කියන එක සමහරුන්ට විශාල ගැටලුවක් වුණාලු. හැබැයි ව්‍යාපාරික ලෝකේ ක්‍රියාකාරීත්වය දන්න කියන අයට ඔහු කළු රත්තරන් කිව්වේ පොල්කටු අඟුරුවලට බව තේරුම්ගන්න මහ ලොකු වෙලාවක් ගිහිල්ලා නෑ. රටේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ විතරක් නෙමෙයි විදෙස් රටවල ව්‍යාපාරිකයින් පවා පොල්කටු අඟුරු දකින්නේ රත්තරන් ආකර විදියටයි. හැබැයි අර කතාවක් තියෙනවනේ මැණික් ගලේ පය හැප්පුණත් කණා නෙමෙයි හැරිලා බලන්නේ කියලා. අන්න ඒ වගේ අපේ උදවිය වාර්ෂිකව පොල්කටු 50%ක්ම නිකන්ම වගේ අපතේ අරිනවා කියලා කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා.

ගෑස් ප්‍රශ්නේ නිසා මේ දවස්වල කුස්සියේ ලිප මොලවාගන්න එක රටේ සුවහසක් ගෘහණියන්ට ගැටලුවක් වෙලා. ඒ නිසා දැන් බොහෝදෙනා පොල්කටු අඟුරු ලිප් භාවිතයට යොමුවෙලා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ පොල්කටු අඟුරුවලට තියෙන ඉල්ලුමත් දෙගුණ තෙගුණ වෙලා. හැබැයි ඔය ඉල්ලුමට සරිලන සැපයුමක් අපේ වෙළඳපොළේ නැති බව තමයි ආරංචිය.

ගින්දර අවුළුවා ගන්න විතරක් නෙමෙයි දන්තාලේප, සබන් වර්ග ඇතුළු රූපලාවණ්‍ය ආලේපනවලටත් පොල්කටු අඟුරු කුඩු භාවිතා කරනවා. රූපලාවණ්‍ය නිෂ්පාදනවල ඇක්ටිව් චාර්කෝල් කියලා හඳුන්වන්නේ පොල්කටු අඟුරුවලට.

දියුණු වෙන මිනිහට දියුණු වෙන්න මී කුණත් ඇතිලුනේ. ඉතින් මේ අමාරු කාලේ දියුණු වෙන්න කැමති නම් පොල්කට්ටත් ඇති කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. පොල්කට්ටෙන් ගොඩ යන්නේ කොහොමද කියලා අපි දැන් බලමු එහෙනම්.

මුල්ම වැඩේ තමයි පොල්කටු එකතු කරගන්න එක. නිවසේ එතකොට අහල පහල ගෙවල්වල ඉවතලන  පොල්කටුත් මේ වැඩේට යොදාගන්න පුළුවන්. හැබැයි මේ වැඩේට පොල්කටු ටිකක් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය නිසා අපිට පුළුවන් වෙළඳපොළෙන් පොල්කටු මිලදී ගන්න.

අපිට එක පොල්කට්ටක් රුපියල් තුනක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පොල්කට්ටක් කියන්නේ පොල් ගෙඩියකම කට්ටට මිසක් පොල් බෑවක කට්ටට එහෙම නෙවෙයි.

පොල්කටු 1000කින් අඟුරු 50kg ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. පොල්කටු අඟුරු හදාගන්න එක අමුතුවෙන් කියලා දෙන්න දෙයක්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි අපි මේ කතා කරන්නේ දුම් අල්ලන්න එහෙම අපි හදාගන්න සාමාන්‍ය පොල්කටු අඟුරු ගැන නෙමෙයි. අඩු ඔක්සිජන් ප්‍රමාණයක් යටතේ අඩු දහනයකින් තමයි මේ පොල්කටු අඟුරු හදාගන්න ඕනේ.

පොල්කටු 20ක් විතර භාවිතා කරලා අපි මුලින්ම මේ වැඩේ කරලා බලමු. පොල්කටුවලට අමතරව මේකට භූමිතෙල් ස්වල්පයක්, අළු ටිකක් එහෙමත් අවශ්‍ය වෙනවා.

මේ සඳහා අපිට ක්‍රම දෙකක් භාවිතා කරන්න පුළුවන්. වළ ක්‍රමය සහ බැරල් ක්‍රමය. වර්ෂාව සහිත දවස්වලට තමයි මේ බැරල් ක්‍රමය නම් වඩාත් සුදුසු. ඒ නිසා මුලින්ම අපි වළ ක්‍රමය ගැන කතා කරමු.

 

පියවර 1

මුලින්ම කට ටිකක් පළල් අඩි තුනක විතර වළක් කපාගන්න. දැන් පොල්කටුවලින් ටිකක් කටුවක් උඩ කටුවක් හිටින විදියට මේ වළ ඇතුළේ අතුරන්න.

 

පියවර 2

පොල්කටු තුන හතරකට අළු පුරවලා භූමිතෙල් දාන්න. අර අපි වළෙන් තිබ්බ පොල්කටු ටිකක් එහෙට මෙහෙට කරලා අළු පුරවපු පොල්කටු ටික තියලා පත්තු කරගන්න.

 

පියවර 3

දැන් වළ පිරෙන්නම පොල් කටු එකතු කරන්න. ඊටපස්සේ විටින් විට පෙරළන ගමන් පොල්කටු ටික අවුළුවා ගන්න. පොල්කටු ටික ගිනි ගත්තට පස්සේ අළු නොවී අඟුරු ලබාගන්න ඕන නිසා වතුර ස්වල්පයක් දාලා ගින්දර නිවන්න.

 

පියවර 4

පස්සේ ඉක්මනින්ම වළ හොඳට සීල් වෙන විදියට තහඩුවකින් වහලා පස් තට්ටුවක් දාලා වහන්න. දවසක් විතර මෙහෙම තියලා අඟුරු ටික ගොඩට අරගෙන පැය දෙකක් විතර පවනේ වේළගෙන පැකට් කරලා අලෙවි කරන්න පුළුවන්.

බැරල් ක්‍රමයේදී වෙන්නේ මේ ක්‍රියාවලියම බැරල් එක ඇතුළේ කරගන්න එකයි.

මෙහෙම හදාගන්න පොල්කටු 1kgක් රුපියල් 150-200කට වගේ මුදලකට අලෙවි කරන්න පුළුවන්. මේවට ඉතින් කල් ඉකුත්වීමේ දිනයක් එහෙමත් නෑනේ. ඉතින් ටිකක් මහන්සිවෙලා පොල්කටු ටිකක් හොයාගෙන අද හෙටම මේ වැඩේ පටන්ගන්න පුළුවන් නම් ඔන්න ඕනම කෙනෙක්ගේ කල්ල මරේ.

මේ ගැන තව විස්තර දැනගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් 0714766819 කියන අංකයට කතා කරන්න කියන එකත් මතක් කරන්න ඕනේ.

සීතා පොන්නම්පෙරුම

ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා

සෙව්වන්දි හෙට්ටිආරච්චි