හිටපු මහෙස්ත්‍රාත්වරියකට වසර 10ක සිරදඬුවම් නියම කෙරේ
හිටපු මහෙස්ත්‍රාත්වරියකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියම කර තිබෙනවා.
මෙලෙස වරදකරු වී ඇත්තේ, ගාල්ල හිටපු මහෙස්ත්‍රාත් ඩී. එස්. මෙරිංචිආරච්චි මහත්මිය යි.
සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කලේ යයි චෝදනා කරමින් පවරා තිබු නඩු දෙකකට වරදකරු කරමින් ඇයට මෙම දඬුවම ලබා දී තිබෙනවා.
ඒ අනුව එක් නඩුවකට වසර 05ක් බැගින් වන පරිදි වසර 10ක සිරදඩුවම් නියම කිරීමටයි මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කර ඇත්තේ.
එමෙන්ම අධිකරණය මගහැර සිටින විත්තිකාර මෙරින්චිආරච්චි මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු ද නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළා.
ඊට අමතරව විත්තිකාරියට රුපියල් 22,500 ක දඩයක් ද නියම කර තිබෙනවා.
විත්තිකාරිය අධිකරණය මඟහැර සිටින අතර ඇය නොමැතිව මෙම නඩු විභාගය පැවැත්වුණා.
2000 වසරේ දී සුරාබදු නඩුවක් සඳහා නියම කෙරුණු රුපියල් 7500ක දඩ මුදලක් රුපියල් 1500ක් ලෙස සටහන් කිරීම සහ තවත් නඩුවක රුපියල් 5000ක දඩ මුදලක් රුපියල් 1500ක් ලෙස සටහන් කිරීම ඇයට එල්ලවූ චෝදනාවයි.
එය සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවට මහාධිකරණය තීන්දු කර තිබෙනවා.