Latest News

මෙරට ආර්ථික අර්බුධයෙන් කාන්තාවන් හා ළමුන් වැඩි වශයෙන් පීඩාවට පත්වෙලා…

මෙරට පවතින ආර්ථික අර්බුධය හමුවේ වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන් හා ළමුන් බව ආසියා හා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම පවසනවා.

එම කොමිසමේ දකුණු හා නිරිත දිග ආසියා කාර්යාල ප්‍රධානී මිකිකො ටනාකා මහත්මිය පවසන්නේ, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම තු‍ළින් පවුල් පරිසරය තුළ කාන්තාවන් හා දරුවන් සුරක්ෂිත කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි.

වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් එම මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඇය එහිදි වැඩිදුරටත් පවසා සිටියේ, ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම විසින් මේ වන විටත් මෙරට ව්‍යවසාය සංවර්ධනයට සහ ප්‍රවර්ධනයට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් ඉදිරියේ දී තම සංවිධානයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බවත්ය.

මෙහිදි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සම්බන්ධීකරණය කරමින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වන විටත් තම අමාත්‍යාංශය හා රජය කටයුතු කරමින් සිටින බවයි.

ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නංවා ඇති බවත් ග්‍රාමීය මට්ටමින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් වෙත ගොස් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී ඔවුන් නඟාසිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එහිදි වැඩිදුරටත් සඳහන් කර සිටියා.