කාගෙන් හරි රුපියලක් ඉල්ලගත්තත් ඒක දෙනකල් මට හරි හදිස්සියි – රංගන ශිල්පිනී දමිතා අබේරත්න
ගෝඨා මහින්ද පැවති ආණ්ඩුවට විරුද්ධව අරගලකරුවන් මුලින්ම පාරට බැස්සේ 2022 අප්‍රේල්වලය. අවසානයේ එය එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වූ දැවැන්තම ජන අරගලය බවට පත් වූ අතර රටේ ජනාධිපති ඉල්ලා අස්වෙන තැනට පත්කරන්නට තරම් එය ප්‍රබල විය. රංගන ශිල්පිනී දමිතා අබේරත්න එකී අරගලයේ නිතර නිතර ඇසගැටුනු රුවක් බවට පත්විය. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ‘බට්ටි’ ටෙලිනාට්‍යයේ ‘බට්ටි’ චරිතයෙන් මෙරට ජනප්‍රිය නිළියක්ව සිටි දමිතා අරගලයෙන් පසුවද විවිධ සිදුවීම් හරහා ඉහළට මතුවිය. මේ අතර පසුගිය දිනෙක ඇයට මුදල් ගනුදෙනුවක් නිසා රිමාන්ඩ්භාරයේ ඉන්නටද සිදුවිය. එයින් නිදහස්වීමෙන් පසු දමිතා අබේරත්නට අප කතා කළ අතර මේ සංවාද සටහන ගොඩනැගෙන්නේ ඇයත් සමඟ සිදුකළ කතාබහ ඇසුරිනි.
*දමිතා කියන්නද? බට්ටි කියන්නද? ජිනා කියන්නද? ලක්අම්මා කියන්නද?
(සිනාසෙමින්) ඔය හතරෙන් කොයි නම කිව්වත් ප්‍රශ්නයක් නෑ. මොකද ඔය නම් හතරටම මං මාර ආසයි. ‘දමිතා’ කියලා කියන්නේ කොහොමත් මගේ නම. බට්ටි කියන්නේ ‘බට්ටි’ ටෙලිනාට්‍යය නිසා මට වැටුනු නම. ජිනා කියන්නේ ‘තත්පරයක් දෙන්න’ ටෙලිනාට්‍යය නිසා වැටුනු නම. ඒ එක්කම ‘ලක්අම්මා’ කියන්නේ අරගලයට ගිහින් වැටුනු නම. කොයි නමත් හොඳයි.
*අවංකව ‘ලක්අම්මා’ කියන නමටත් ඔය කියන තරම් කැමතිද?
මොකද නැත්තේ. ලක්අම්මා කියන්නේ හරිම උතුම් නමක්. අපි මහපොළොවට ලක්අම්මා කියන්නේ. ඉතින් ඒ වගේ හරි උතුම් නමකින් සමහරු මට කතා කළාම මොකක් වෙනවද? අනික අපි ලක්අම්මා බේරගන්න පාරට බැහැලා අරගල කරපු අය. මං විතරක් නෙවෙයි එදා ඒ විදියට පාරට බැහැපු හැම ගැහැනියක්ම හැම පිරිමියෙක්ම ලක්අම්මෙක් ලක්පියෙක්.
*එදා ඔබත් ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ හිටපු කෙනෙක්. අද මොකද එදා අරගලය ගැන හිතෙන්නේ?
අරගලය ගැන සතුටුයි. මොකද ඒකෙන් විධායකයට කරන්න බැරිවුණු දෙයකුත් අපි කළානේ. රටේ ජනාධිපති, අගමැති පවා එදා වෙනස්කළේ අරගලේ හින්දනේ.
*මිනිස්සු ගහමරාගත්ත, ගෙවල් ගිනි තියාගත්ත අරගලේ ගැනද ඔබ මෙහෙම සතුටුවෙන්නේ?
එදා මං හිටගත්ත අරගලේ හරි පිරිසිදු එකක්. ඒක පක්ෂ පාට දේශපාලනයක් නැති නිර්පාක්ෂික වගේම හරි සාමකාමී අරගලයක්. අරගලේට ගැහුවේ, ගෙවල් ගිනි තිබ්බේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අපි කරපු අරගලේ ඒ ජාතියේ අය හිටියේ නෑ.
*හැබැයි අරගලයෙන් පස්සේ ඔබත් දේශපාලන පක්ෂයකට හේත්තුවුණා?
මං දැක්කා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඉතා හොඳ දැක්මක් තියෙන නායකයෙක් කියලා. ඔහු කිසිම බලයක් නැතුව අපේ රටේ මිනිස්සු ගැන දරුවෝ ගැන බලනවා. ඉතින් හරි තැන මං හිටගත්තා. හැබැයි අරගලේ කරද්දි මට කිසිම පක්ෂයක් පාටක් තිබුණේ නෑ.
*දමිතා බලාපොරොත්තු වෙන්නේ කොහොම රටක්ද?
මං ඉල්ලන්නේ නිදහස් රටක්. ජාතිභේද නැති රටක්. හරි ආදරෙන් ඉන්න පුළුවන් රටක්. පොඩි මිනිහටත් හොඳට කාලා ඇඳලා ඉන්න පුළුවන් රටක්. හොරාකන දේශපාලුවෝ නැති රටක්. ජනාධිපතිගේ ඉඳන් නාට්ටාමි වෙනකල් එකම නීතියක් තියෙන රටක්. එහෙම රටක් බිහිවෙනවා දකින්න මං ආසයි.
*පසුගිය දවස්වල ලොකු ප්‍රශ්නෙකට මුහුණදෙන්නත් වුණා නේද?
ඔව් ඔව්. රිමාන්ඩ් එකෙත් දවස් කීපයක් ඉන්න වුණා. මං හිතන්නේ ජීවිතේ අපට එහෙම ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙන අවස්ථා එනවා.
*ඇත්තටම දමිතා කියන්නේ මිනිස්සු එහෙම අමාරුවේ දාපු කෙනෙක්ද?
දමිතා අබේරත්න කාටවත් වංචා කරලා නෑ. කාගෙවත් දෙයක් කඩා වඩාගෙන නෑ. කාගෙන් හරි රුපියලක් ගත්තත් ඒක දෙනකල් හදිස්සියි. මොකද මට හැමදාම ඕනවුණේ අපේ රටට රුපියලක්වත් ණය නැතුව මැරෙන්න. මම පැපිලියාන ගමේ ඉන්නේ. ගේ තියෙන්නේ අපේ ආච්චිගෙන් ලැබුණු ඉඩමක. මං පාවිච්චි කරන ෆෝන් නම්බරේ අවුරුදු 25ක් විතර පරණයි. මං ඔය කියන විදියේ දේවල් කළා නම් මම ඔහොම සාමාන්‍ය ජීවිතයක් ගතකරයිද?
සමහරු මං එක්ක තියෙන වෙනත් තරහවල් පිරිමහගන්න මාධ්‍යය හරහා සෑහෙන්න මඩ ගහනවා. ඒ මිනිස්සු තමා සල්ලිවලට ඕන දෙයක් කරන්නේ. අනේ මට නම් කොච්චර මඩ ගැහුවත් කමක් නෑ. මොකද මං දන්නවා මං කවුද කියලා.
*ඒ අයට කියන්න දෙයක් තියෙනවද?
අපේ රටේ කොච්චර නම් දූෂණ වංචා වෙනවද? කොයිතරම් බරපතළ ප්‍රශ්න තියෙනවද? ඒ අයට ඒවා ගැන ටිකක් හොයන්න බැරි ඇයි? මොකක් හරි හිතේ තරහකට ඒ අය මඩ ගහන්නෙත් මේ රටේ කලාවට සේවයක් කරපු, මේ රටට ජාත්‍යන්තර සම්මාන ගෙනාපු, මිනිස්සු ගැන හිතලා මහපාරට බැහැපු, මිනිස්සු වෙනුවෙන් පෙනී හිටපු මට.කමක් නෑ. ඒ දේවල් නිසා දමිතා වැටෙයි කියලා කවුරු හරි හිතනවා නම් ඒක එහෙම නෑ. දමිතා කියන්නේ යකඩ ගැහැනියක්.
*රටේ ප්‍රශ්න ගැන කතා කරද්දි ඔබ ගොඩාක් තැන්වලදි සංවේදි වෙන හැටි අපි දැකලා තියෙනවා. දමිතා කියන්නේ එහෙම සංවේදි කෙනෙක්ද?
ඔව් මට මහපාරේ සතෙක් බඩගින්නේ ඉන්නවා දැක්කත් ඒක හුඟාක් දැනෙන කෙනෙක්. මහත්තයත් එහෙමයි. කවුරු හරි ඇඳගෙන ඉන්න ඇඳුම ඉල්ලුවොත් ඒකත් ගළවලා දෙයි.
*මෙහෙම ගිහින් දමිතා අබේරත්නත් පාර්ලිමේන්තුවෙන් මතුවෙයිද?
(සිනාසෙමින්) ඇත්තටම රටට සේවයක් කරන්න ඡන්දේ ඉල්ලන්නම ඕන නෑනේ.
රුවන් එස්.සෙනවිරත්න