කොල්ලෙක් කැමති වෙන විදියේ බෙල්ලක් කෙල්ලෙක්ට තියෙන්නම ඕනෑ
මියන්මාරයේ තියෙනවා ‘කායන්’ කියලා එක ගෝත්‍රයක්… පුදුම වැඩේ කියන්නේ මේ ගෝත්‍රයට අයත් කාන්තාවන්ව දැක්ක ගමන් කාට වුණත් එකපාර මතක් වෙනවා කියන්නේ ජිරාෆ්වලු. ඒකට හේතුව තමයි, ජිරාෆ්ලාගේ වගේ ඒ කාන්තාවන්ගේ බෙල්ල දිගු වීම.
හැබැයි මේ අයගේ බෙල්ල දිගු වෙලා තියෙන්නේ ලෙඩක් දුකක් හෝ වෙන අතුරු ආන්තරාවක් නිසා නෙවෙයි. ඒ අය හිතාමතාම තමයි මේ විදියට බෙල්ල දිගු කරගෙන තියෙනවා කියන්නේ. මොකද මේ ගෝත්‍රයේ කාන්තාවන්ට පිරිමින්ගේ ආකර්ෂණය ලැබෙන්නේ බෙල්ල දිගු වෙන තරමටලු. ඒ නිසා ඒකට උපක්‍රමයක් විදියට මේ අය වයස අවුරුදු පහේ විතර ඉඳලා බෙල්ලට පිත්තල වළල්ලක් පළඳින්න පුරුදුවෙලා. වයස වැඩි වෙද්දී ඒ වළලු ගාණත් එකින් එක වැඩි වෙනවලු.
හැබැයි ඉතින් කාලයක් යද්දී ඒ හේතුව නිසාම මේ අයට නොහිතපු අකරතැබ්බයකටත් මුහුණ දෙන්න සිද්ද වෙලා. ඒ තමයි මේ හැම කෙනෙක්ගෙම බෙල්ල බලන්න බැරි තරමටම අවපැහැගැන්වී තිබීම. ගෙලෙහි වළලු නිසා දහඩිය පිටනොවීමත් වාතාශ්‍රයක් නිසි ලෙස නොලැබීමත් තමයි ඒකට හේතුව වෙලා තිබුණේ. ඉතින් ඔය හේතුව නිසාම 2006 වසරේදී කායන් ගෝත්‍රයේ නීතිරීතිවල සංශෝධනයක් සිද්ධ වුණා. ඒ තමයි බෙල්ල දිගවීම සඳහා වළලු පැළඳීම අනිවාර්යය දෙයක් නොවන බවට මුළු ගෝත්‍රයම පිළිගැනීම.
කායන් කාන්තාවන්ට වගේ වළලු පැළඳීමේ අවශ්‍යතාවයක් නැති වුණත් බෙල්ල අවපැහැගැන්වීම නම් අප අතරත් බොහෝ කාන්තාවන්ට තියෙන ගැටලුවක්. අන්න ඒ ගැටලුවට විසඳුමක් විදියට නිවසේදීම පහසුවෙන් කරගත හැකි ආයුර්වේද සත්කාර කිහිපයක් ගැනයි මේ කියන්න යන්නෙත්.
විද්‍යාත්මක ක්‍රමයට මේ විදියට ගෙල අවපැහැගැන්වීම හඳුන්වන්නේ Acanthosis nigricans කියන තත්ත්වය කියලයි. ඒ කියන්නේ සමේ නැවෙන ස්ථාන වෙන ගෙල පිටුපස, අත් යට වගේම ඉකිලි කියන ප්‍රදේශවල සම තද පැහැ වීම සහ ගොරෝසු වෙලා ඝනකම් තත්ත්වයට පත්වීම. මේ සඳහා විවිධ හේතු බලපාන්න පුළුවන් බව වෛද්‍යවරු කියනවා. හෝර්මෝන වෙනස්කම් වගේම දෙවන වර්ගයේ දියවැඩියාව පැවතීමත් ඒකට හේතු වෙන්න පුළුවන්. මීට අමතරව උපත් පාලන ඖෂධ, කෝටිකෝ ස්ටේරොයිඩ, ප්‍රෙඩ්නිසලෝන් වගේ සමහර ඖෂධත් ගෙල වට කළුවීමට හේතු වෙනවා. ඒ නිසා ගෙල වටා කළුවීම වළක්වා ගන්න ඕනෑ නම් ඔය කියපු හේතු හදුනාගෙන වෛද්‍ය උපදෙස් පරිදි ඒවාට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම සිදුකළ යුතුයි.
ඊට අමතරව ගෙල වටා අවපැහැගැන්වීම වළක්වාගන්න නිවසේදීම කළ හැකි සත්කාර කිහිපයකුත් ආයුර්වේදයේ සඳහන් වෙනවා.
ඒ සඳහා මුලින්ම කරන්න ඕනෑ ගෙලෙහි සම මත ඇති මැරුණු සෛල ස්ථරය ඉවත් කරගන්න එකයි. ඒකට ක්‍රම කීපයක් අනුගමනය කරන්න පුළුවන්.
කොකුම් පොතු කුඩු කරගත් කොරල් පර වගේ ගොරෝසු ද්‍රව්‍යයන්ගෙන් සම මෘදුව පිරිමැද මතුපිට මැරණු සෛල ස්ථරය ඉවත් කරගන්න පුළුවන්.
ඊට අමතරව කෝපි කුඩු, කහකුඩු සහ මී පැණි වගේම දෙහි යුෂත් මිශ්‍ර කරලා ගෙලෙහි ආලේප කර විනාඩි 5ක් තබා පිරිමැදීමෙනුත් මැරුණු සෛල ඉවත් කරගන්න පුළුවන්.
ඒ වගේම කෝපි කුඩු සහ මී පැණි පොල් වතුරත් එක්ක මිශ්‍ර කරලා විනාඩි පහක් විතර සම මතුපිට තබා පිරිමැදගන්නත් පුළුවන්.
කුඩු කරගත් බාර්ලිවලට දෙහි යුෂයි, කිරියි එක් කරලා සම මත ටික වෙලාවක් වියළෙන්න තබා පිරිමැදගැනීමෙනුත් මේ වැඩේම කරගන්න පුළුවන්.
ඊටපස්සේ සමට හිතකර පිණ්ඩ තෙල් හරි ත්‍රිපලා තෙල් හරි අරගෙන ගෙලෙහි අඳුරු ප්‍රදේශවල ආලේප කරගන්නවා නම් හොඳයි. ඒකෙන් සම මත රුධිර සංසරණය වැඩිවෙලා සම පැහැපත් වීමක් සිද්ධ වෙනවා.
ඒ වගේම ගෙල වටා සම පැහැපත්වීම සඳහා සුදුහඳුන් කුඩු, වැල්මී කුඩු, වෙනිවැල්ගැට කුඩු, කස්තුරි කහ, මී පැණි, මී කිරි වගේ දේවල්වලින් සාදාගන්න පැක් එකක් වුණත් ආලේප කරන්න පුළුවන්.
මීට අමතරව අධික ස්ථූලතාවය අඩුකර ගැනීම වගේම ශරීරයේ අනවශ්‍ය සෙම් කොටස් ශරීරයෙන් බැහැර කිරීමත් අවශ්‍යයයි.
ඒ වගේම අවශ්‍ය පමණට ජලය පානය කිරීම, සීනි, පිටි, ලුණු සහ තෙල් භාවිතය අවම කිරීම වගේම නිවැරදි ව්‍යායාමය සිදු කිරීමෙනුත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
උපදෙස් – වෛද්‍ය නිලංකා පතිරණ, ප්‍රධාන වෛද්‍ය නිලධාරී,ශල්‍ය අංශය,බස්නාහිර පළාත් ආයුර්වේද රෝහල,මීගොඩ.
නෙත්මි තෂාරා