පුතා ‘රත්තරං’ ලේලි ‘අරහං’
‘‘මගේ අහිංසක කොල්ලව රවට්ටගෙන අර කාන්තියගේ දුව. මම ගිහින් හොඳ දෙකක් කතා කරලා එන්නම්කෝ.’’ සුමේධා ආවේගයෙන් කියන ගමන් නැගිට්ටා.
‘‘හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න සුමේධා. ඔහොම වාඩි වෙන්නකෝ.’’ සුමේධාගේ සැමියා පියසෝම ඇගේ අතින් අල්ලලා නවත්ත ගත්තා.
‘‘පොඩ්ඩක් ඉන්න කියන්නේ? ඒ අපේ දරුවා. අපිට ඉන්න එකම පුතා. ඇහේ මූණේ තියාගෙන හැදුවේ ඕකටද?’’ සුමේධා ආයෙමත් කිව්වේ කඳුළු පිහින ගමන්.
‘‘හිතේ තියෙන දුක මට කියලා ඉවර කරන්නකෝ සුමේධා. ඊට පස්සේ අපි කතා කරමු.’’ පියසෝම සන්සුන් හඬින් කිව්වා.
සුමේධාගේ පවුල ගමේ හැමෝම පිළිගත්තු පවුලක්. ඒකට හේතුව පියසෝම හිටපු විදුහල්පතිවරයෙක් වීම. විදුහල්පති තනතුර එපා වෙලා කන්තෝරු රස්සාවකට ගියාට මොකද ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු ගෞරවයේ නම් අඩුවක් වුණේ නැහැ.
‘‘කාන්ති කියන්නේ කට හැකර ගෑනියෙක්. ඔයා දන්නවනේ.’’ සුමේධා කියන්නේ තරහින්.
‘‘කඩයක් කරන්න ඉතින් කට හැකර නොවී බෑනේ. අනික ඔය ඔක්කොම කරන්නේ මනුස්සයත් නැතුවනේ. කොච්චර කට හැකර වුණත් ඔයාට දොසක් කියලා නෑනේ කවදාවත්.’’ පියසෝම සැහැල්ලුවෙන් කියද්දී සුමේධාට නම් තවත් තරහයි.
‘‘ඔව් ඉතින් මම ඔය කඩෙන් ණයට බඩු අරන් නෑනේ. කඩෙන් ණයට බඩු ගන්න මිනිස්සු ණය පරක්කු කළොත් කාන්ති බණින හැටි ඔයා නොදන්නවා නෙවේනේ.’’
‘‘ඔයා හිතනවද සුමේධා කාන්තිත් බිම බලාගෙන යන, අහිංසක ගෑනියෙක් වුණා නම් මේ ගමේ මිනිස්සු වෙලාවට ණය බේරයි කියලා?’’ පියසෝම අහද්දී නම් සුමේධාට ඒ කතාව ඇත්ත කියලා හිතුණා.
‘‘ඒත් ඒත් මට බය කාන්තිගේ දුවත් කාන්ති වගේම සැර පරුෂ ඇති කියලා. අපේ දරුවා හරිම අහිංසක දරුවෙක්. ඔහොම මඟුලක් අපේ පුතාට පෑහෙන්නේ නැහැ.’’ සුමේධා කියද්දී පියසෝම නිහඬවම බලාගෙන හිටියා.
‘‘ඔය කෙල්ල තමයි අපේ දරුවාව රවට්ට ගත්තේ. අපේ දරුවා අපෙන් අහන්නේ නැතුව කිසිම දෙයක් කළේ නැහැ මේ වෙනකම්. අර කෙල්ල තමයි මේකට වගකියන්න ඕනේ.’’ සුමේධාගේ කටහඬ ආයෙමත් වේගවත් වෙලා.
‘‘ඉතින් ඔයා හදන්නේ ඒ ගෑනු ළමයට බණින්නද?’’
‘‘ඔව්. මගේ පුතාව රවට්ට ගන්න එපා කියන්න ඕනේ.’’
‘‘සුමේධා ඔයාට මතකද අපි සම්බන්ධයක් ඇති කරගත්තු හැටි?’’ පියසෝම අහද්දී සුමේධාට හීන් හිනාවක් මතු වුණා.
‘‘මොකද අමතක?’’
‘‘මතකද මම ඔයා දිහා බලද්දී ඔයා ලැජ්ජාවෙන් ඇඹරෙනවා? මතකද මම ඔයාට ලියුම් කියක් එව්වද කියලා? ඔයා මට මුලින් මුලින් උත්තර එව්වෙත් නැහැනේ. අඩුමතරමේ ඔයා මම පන්සලේදී කතා කරද්දී මා එක්ක කතා කළේවත් නැහැනේ.’’ පියසෝම නෝක්කාඩු හඬින් කියද්දී සුමේධා පියසෝම දිහා බැලුවේ පුදුමයෙන්.
‘‘මේ මොකද අනේ මේ? මම ගෑනු ළමයෙක්නේ. මම කොහොමද ඔයා එක්ක බය නැතුව පැන පැන කතා කරන්නේ? ලියුම් එවන්නේ?’’
‘‘අන්න ඒකනේ සුමේධා. ඉතින් මම උපරිම උත්සාහ කරලා ඔයාව කැමති කරගත්තට පස්සේ කවුරුහරි ඇවිත් ඔයාට චෝදනා කළා නම් ඔයා මාව රවට්ට ගත්තා කියලා? මොන තරම් අසාධාරණයිද? නේද?’’ පියසෝම අහද්දී සුමේධා ගැස්සුනා.
‘‘අපිට අපේ දරුවා පොඩි වුණාට, අහිංසක නොදරුවෙක් වගේ පෙනුණට ඒ දරුවා අර ගෑනු ළමයව යාළු කරගන්න මාර ට්‍රයි එකක් දෙන්න ඇති. අකමැත්තක් තියෙනවා නම් ඒක කියන්න විදිහක් තියෙනවා සුමේධා. ඔහොම ගිහින් ඒ ළමයට චෝදනා කළොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ. අනිත් එක මේ ඒ දරුවන්ගේ ජීවිත. අපි අකමැති බව කිව්වත් සමහරවිට ඒ දරුවෝ එකතු වෙයි. අපි ඒ අකමැත්ත කිව්වේ සාමාන්‍ය වචනවලින් නම් ඒ කෙල්ලට ඒක අමතක කරලා අපි එක්ක සමාදානෙන් ඉන්න පුළුවන් වෙයි. ඒත් අපි නපුරු වුණොත්, ඒ ළමයට අපිව තිත්ත වෙයි පවුලට එකතු වෙන්නත් කලින්ම. කවදාවත් හිත හදාගෙන අම්මලා දූලා විදිහට ඉන්න බැරිවෙයි. නැන්දම්මායි ලේලියි විතරක්ම වෙයි.’’ පියසෝම හෙමිහිට පැහැදිලි කරද්දී සුමේධා සුසුමක් හෙලුවා.
‘‘එහෙනම් මම අකමැති විත්තිය අපේ පුතාට විතරක් කියන්නම්. ගන්න තීරණයක් එයා ගනියිනේ.’’
‘‘ඔව් සුමේධා. පුතා මොන තීරණය ගත්තත් අපි දරුණු විදිහට එයාලට බලපෑම් කරන්න හොඳ නැහැ. අපි අපේ අදහස විතරක් කියමු. එයාලා එයාලගේ ජීවිත ගැන තීරණ ගනියි.’’
සමාධි ඩයස්