විශේෂාංග

මරණය වෙනුවට මං ඌරු හදවතක් තෝරාගත්තා

ඩේවිඩ් බෙනට් කියන්නේ අවුරුදු ගාණක ඉඳන් දරුණු හදවත් රෝගයකින් පෙළුනු ඇමෙරිකාවේ මනුස්සයෙක්. වයස කිව්වොත් අවුරුදු පනස් හතක්. වෛද්‍යවරු ඔහුගේ හදවත් රෝගය හැඳින්වූයේ මාරාන්තික හදවත් රෝගයක් විදියට. මොකද ඩේවිඩ්ගේ දෛවය ලියවිලා තිබුණේ තවත් දින කීපයකින් ඔහුගේ නමින් මරණ සහතිකයක් ලියවෙන විදිහට. ඒ තරමටම ඔහු හිටියේ දැඩි අසාධ්‍ය තත්ත්වයක. රෝහලේ වෛද්‍යවරුන්ට වුණත් ඔහු වෙනුවෙන් කරන්න තව කිසිම විදියක ප්‍රතිකාරයක් ඉතුරුවෙලා තිබුණේ නෑ.

හැබැයි ඩේවිඩ්ගේ ජීවිතේ බේරගන්න එක විකල්පයක් තිබුණා. ඒ තමයි ඔහුට හදවතක් බද්ධ කරන එක. විකල්පය ඒක වුණත් අවාසනාව හිටගෙන හිටියේ ඩේවිඩ් පැත්තේ. ඒ 100%ක් ඔහුට ගැළපෙන හදවතක් සොයාගන්න එක ලේසි වැඩක් නොවුණු හින්දා. අවසානේ එහෙම හදවතක් හොයාගන්න බැරිවෙනවා. ඒත් වෛද්‍යවරුන්ටත් ඕන ඩේවිඩ්ව කොහොමින් හරි ජීවත් කරවන්න. ඒ නිසා ඔවුන් තීරණය කරනවා ජානමය විදිහට වෙනස් කරපු ඌරු හදවතක් ඔහුට බද්ධ කරන්න.

ඉතිහාසයේ කවදාවත් වෛද්‍යවරු මෙහෙම සැත්කමක් කරලා නෑ. ඒක නිසාම ඔවුන්ට සිද්ධවෙනවා සැත්කම සඳහා ඇමෙරිකානු වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගන්න. ඩේවිඩ් කැමති නම් ඒක කරන්න ඔවුන්ට අනුමැතියත් ලැබෙනවා. ජීවත්වෙන්න කවුද අකමැති? ඩේවිඩ් සැත්කමට කැමති වෙනවා. සියල්ල සිදුවෙන්නේ ශෛල්‍ය වෛද්‍ය බාර්ට්ලි ග්‍රිෆිත්ගේ මූලිකත්වයෙන් බොල්ටිමෝර් නුවර මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරු පිරිසක් අතින්. ඔවුන් මුලින්ම කරන්නේ ඌරෙකුගේ සිරුරේ ජාන වෙනස්කරලා ඩේවිඩ්ට ගැළපෙන ආකාරයේ හදවතක් නිර්මාණය කරන එක. ඒකට ගන්නේ Revivicor කියන සමාගමේ ඌරෙක්. අවසානේ මේ දුර්ලභ සැත්කමට දිනයක් තීරණය කරගන්නවා.

එදා පසුගිය ජනවාරි 07 වෙනිදා. ඩේවිඩ්ගේ ජීවිතේ තීරණය වෙන සැත්කම ආරම්භ වෙනවා. පැය හතක දීර්ඝ කාලයක් සැත්කම සිදුවෙනවා. ඒත් ඉතිහාසයේ කවදාවත් නැති අන්දමේ සැත්කමක් සිදුවෙන බව වෛද්‍යවරු ඇරෙන්න කවුරුත්ම දන්නේ නෑ. හැබැයි ඩේවිඩ්ගේ ඉඳන් හැමෝගෙම වාසනාවට වගේ සැත්කම සාර්ථක වෙනවා. ඒත් වෛද්‍යවරු තව දීන කීපයක් ඩේවිඩ් දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ඔහුගේ කිසිම අසුබවාදී වෙනසක් දකින්න නෑ. ඒ අනුව දින තුනකට පස්සේ වෛද්‍යවරු තීරණය කරනවා සැත්කම සාර්ථකයි කියලා. ඊටපස්සෙයි ඔවුන් මාධ්‍ය දැනුවත් කරන්නේ. ඒ පසුගිය ජනවාරි 11 වෙනිදා. එතැන් පටන් මේ සැත්කම ගැන ලෝකයේම අවධානය යොමුවෙනවා.

වෛද්‍ය විද්‍යාව තුළ මිනිසුන්ට බද්ධ කිරීම සඳහා ජාන වෙනස් කළ සතුන් යොදාගෙන ඉන්ද්‍රියන් නිර්මාණය කිරීම හඳුන්වන්නේ ‘සීනෝ-ට්‍රාන්ස්-ප්ලාන්ට්ටේෂන්’ කියලා. මේ වනවිටත් ඇතැම් රටවල පර්යේෂණාගාර තුළ ඌරන් යොදාගෙන ඉන්ද්‍රියන් නිර්මාණය කරනවා. ඒ ඉන්ද්‍රියන් මිනිස් සිරුරුවලට බද්ධ කිරීමත් කලාතුරකින් සිදුවෙනවා. ඒත් මේ තමයි ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කළ පළමු අවස්ථාව. තාක්ෂණයේ දියුණුවත් එක්ක 100%ක් ගැළපෙන ආකාරයෙන් ඉන්ද්‍රියන් ඌරන්ගේ සිරුරුවල වර්ධනය කරගන්න පුළුවන් කියලයි වෛද්‍යවරු කියන්නේ.

මේ අතර පසුගියදා ශෛල්‍ය වෛද්‍ය බාර්ට්ලි ග්‍රිෆිත් පළමු වතාවට මාධ්‍ය හමුවේ පෙනී ඉඳලා ඩේවිඩ්ට කරපු පෙරළිකාර සැත්කම ගැන කතා කළා. එහිදී ඔහු සඳහන් කළේ මිනිසුන්‍ට අවශ්‍ය ඉන්ද්‍රියන් හිඟයට මෙවැනි සැත්කම් සාර්ථක විසඳුමක් වෙයි කියලයි. ඔහු සඳහන් කරන විදිහට මේ වෙනකොටත් ලෝකයේ ඉන්ද්‍රියන් හිඟ අර්බුදයක් තියෙනවා. වෛද්‍ය බාර්ට්ලි එහෙම කියද්දි මැරෙන්න පණ ඇද ඇද හිටපු ඩේවිඩ් බෙනටුත් පසුගියදා හිනාවෙවී මාධ්‍ය ඉදිරියට ඇවිත් මෙන්න මෙහෙම කතාවක් කියලා තිබුණා.

‘‘සැත්කමට කලින් වෛද්‍යවරුන් මට මගේ තත්ත්වය ගැන පැහැදිලි කළා. ඔවුන් කිව්වා මට තියෙන්නේ අවස්ථා දෙකයි කියලා. එකක් මං ඌරු හදවත බද්ධයට කැමති වෙන්න ඕනේ. නැත්නම් මරණය තෝරාගන්න ඕනේ. මට ආසයි ජීවත්වෙන්න. නිසා මං පළවෙනි අවස්ථාව ගත්තා. ඒක අඳුරේ වෙඩි තියාගන්නවා වගේ එකක් තමයි. ඒත් අන්තිමේ මගේ පැත්තට වාසනාව කැරකුණා.’’

රුවන් එස්.සෙනවිරත්න