Latest News

දියවැඩියා රෝගීන්ට ආහාර පිළියෙල කිරීමට සුදුසු පිටි වර්ගයක්…

පොල් කුරුට්ට යොදාගනිමින් දියවැඩියා රෝගය සහිත පුද්ගලයන්ට ආහාර පිළියෙල කිරීමට සුදුසු පිටි වර්ගයක් නිෂ්පාදනය කිරීමට ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය සමත් වී තිිබෙනවා.

නැවුම් පොල් තෙල් නිෂ්පාදනයේ අතුරු ඵලයක් ලෙස මෙම පිටි වර්ගය නිෂ්පාදනය කිරීමට හැකි බව පර්යේෂණ මගින් හඳුනාගත් බව පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය නයනි ආරච්චිගේ පවසා සිටියා.

දිගුකාලීන පර්යේෂණ ඔස්සේ මෙය දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටමට අයහපත් බලපෑමක් සිදු නොවන නිෂ්පාදනයක් බවට තහවුරු වී ඇති අතර පොල් කුරුටු පිටිවලට සීනි අවශෝෂණය කිරීමෙ හැකියාව පවතින බවත් හෙළි වී තිබෙනවා.

පාන් පිිටි හෙවත් තිරිඟු පිටි මගින් සකසනු ලබන රොටී, කේක්, බිස්කට් වැනි ආහාර සියල්ලක්ම මෙම පොල් පිටි මගින්ද සැකසිය හැකි අතර තිරිඟු පිටිවලට සාපේක්ෂව මෙම පොල් පිටිවල කාබෝහයිඩේ්‍ට් අඩු බැවින් මෙය භාවිතයෙන් සෞඛ්‍යමය වාසි රැසක් ලබාගත හැකි වනවා.

අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉදිරියේ දී මෙම නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට හැකි බැවින් පොල් කුරුට්ට මගින් පොල් පිටි නිෂ්පාදනයට උනන්දුවක් දක්වන්නේ නම් එයට අවශ්‍ය ප්‍රායෝගික දැනුම පොල් පර්යේෂණ ආයතනය මගින් ලබාදීමට සූදානම් බවයි.