ඩයනාගේ නඩුවට අධිකරණය දුන් තීන්දුව
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ඒ, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කර තිබු පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි.
අදාළ තානාපති කාර්යාල වාර්තාව ලැබීමෙන් පසුව එම නඩුවට අදාළ නියෝග නිකුත් කිරීමට අධිකරණයට පහසු වන බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා එතෙක් අදාළ තැනැත්තිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කිරීම සුදුසු නොවන බවත් සඳහන් කළා.
මෙම නඩුව පරික්ෂා කිරීමේදී ඊට අදාළ නියෝග නිකුත් කිරීමට නීතිපති උපදෙස් අවශ්‍ය නොවන බව තමන්ට පෙනී යන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලා පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.