දිරිය දිනූ කතුන්

ඕන යකඩ යකෙක් මට්ටු කරන්න අපි දෙන්නම ඔට්ටුයි

එකදාස් නවසීයේ මුල වෙද්දිත් ඇමරිකාවේ ගෑනුන්ට ඡන්ද අයිතිය තිබුණේ නැහැ. ඒ විතරක්ද පිරිමින්ගෙ ගාණටම වැඩ ගත්තත් ඒ අයට ලැබුණේ සොච්චම් පඩියක්. මේ අසාධාරණේ ඉවසන්න බැරිම තැන නිව්යෝර්ක් නගරයේ කම්හල් ​සේවිකාවෝ පහළොස් දාහකට වැඩි පිරිසක් 1909 පෙබරවාරි 28 වැනිදා උද්ඝෝෂණේකට පාරට බැස්සා. වැඩ කරන පැය ගාණ අඩු කරලා ඒකට සරිලන වැටුපක් එක්ක ඡන්ද අයිතිය ලබාදෙන්න කියන එකයි එදා ඔවුන්ගේ ඉල්ලීම වු​ණේ. එදා ගෑනු කරපු ඉතිහාසගත පෙරළිය වෙච්චි දවස ලෝකේ මුල්ම කාන්තා දිනය විදියට හඳුන්වනවා.  හැබැයි 1975දී මාර්තු 08 වැනිදා ලෝක කාන්තා දිනය විදියට නම් කළා.

ඒ කාලේ ඉඳලා ලෝකේ පුරා ගෑනුන්ට වෙන තරමක් වුණේ කෙනෙහිලිකම්නේ. ඉතින් කාන්තා දිනයක් වෙන්කළ පලියට පිරිමින්ට ලැබුණ වරප්‍රසාද ගෑනුන්ට ලැබුණේ නැහැ. ඉතින් ඒ වරප්‍රසාද දිනාගන්න ලෝකේ පුරා ඉන්න ගෑනු අරගල කළා. ඉල්ලීම් කළා. සංස්කෘතියට එපිටින් ගිහින් ජීවිත පූජා කළා. ඔය දේවල ප්‍රතිඵලයක් විදියට 1995 දී රටවල් 189ක් එකතුවෙලා කාන්තාවන් වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කළා. ලෝකේ ඕනම කාන්තාවකට අධ්‍යාපනය ලබන්නත්, තමන්ගේ අභිමතය අනුව ඕනෑම දේශපාලන මතයක් දරන්න වගේම තමන් කැමති පරිසරයක ජීවත්වීමේ අයිතියත් ඔය ගිවිසුමෙන් තහවුරු කෙරුණා.

ඒ අරගලවලින්, ගිවිසුම්වලින් යුරෝපයේ කාන්තාවන්ට සම්පූර්ණ ස්වාධීනත්වය ලැබුණත් ආසියාතික රටවල ජීවත්වෙන කාන්තාවෝ බහුතරයක් තවමත් ඉන්නේ පසුගාමී තැනක. හැබැයි ඉදිරියට ඒක වෙනස් වෙයි කියලා හිතෙන සාධක අපිට අද ඕනතරම් හම්බෙනවා. ලෝක කාන්තා දිනය දවසේදී මේ කියන්න යන්නෙ එහෙම කතාවකට උදාහරණයක්.

දිල්කි මදුශිකා සහ තරුණි සත්සරණිව අපිට මුණගැහුනේ කටුබැද්ද ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේදී. ගෑනුන්ට උරුම සියුමැලි හීන විතරයි කියලා හිතන සමාජෙක යකඩ හීන එක්ක ඔට්ටු වෙන්න ඉගෙනගන්න මේ කෙල්ලෝ දෙන්නා විශේෂයි කියලයි අපිට හිතුණේ.

පුංචි කාලේ ඉඳන් හීන දැක්කේ වෛද්‍යවරියක් වෙන්න. ඒත් සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස් පෙළට යද්දි ඉංජිනේරුවරියක් වෙන්න ආසා හිතුණා. පස්සේ මං උසස් පෙළට තාක්ෂණවේදය කළා. හැබැයි උසස් පෙළට මම බලාපොරොත්තු වුණ තරම් ප්‍රතිඵල තිබුණේ නැහැ. පස්සේ මම කටුබැද්ද ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ පාඨමාලාවකට සම්බන්ධ වුණා.”

කතාබහේ ආරම්භය ගත්තේ 24 හැවිරිදි දිල්කි මදුශිකා. ඇය කුරුණෑගලත් අනුරාධපුරයත් අතරමැද තියෙන අඹන්පොල පැත්තේ තරුණියක්. මහව මහා විජයබා ජාතික පාසලෙන් ඉගෙනගත්තු දිල්කි ඇය හදාරණ පාඨමාලාව ගැන කිව්වේ මෙහෙම.

යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාව, නඩත්තුව හා වෑද්දුම් ශිල්පය වගේ දේ ගැන උගන්වන පාඨමාලාවක් තමයි මම කරන්නේ. ලංකාවෙන්ම මේ පාඨමාලාව තියෙන්නේ කටුබැද්ද ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ විතරයි. අපේ බැජ් එකේ ළමයි 50ක් ඉන්නවා. ඒ අතරින් ගෑනු ළමයි දෙන්නෙක්ට ඉන්නේ අපි දෙන්නා විතරයි. ඉතින් පිරිමි කරන හැම වැඩක්ම අපිත් ඉගෙනගන්න ඕනේ. ඇත්තටම කෙල්ලෙක්ට ඒක ලේසි නැහැ. උදාහරණයක් විදියට බැකෝ එකක් ගත්තොත් අපට ඒක එළවන්න පවා ඉගෙනගන්න වෙනවා. මොකද අලුත්වැඩියාව කළාට පස්සේ වැඩේ හරියට වුණාද කියලා බලන්නත් එපැයි.”

 

*එතකොට දැන් දිල්කිට බැකෝ එළවන්නත් පුළුවන්ද? ඇඟපතින් පුංචි වුණත් ගතේ හයිහත්තියෙන් දිල්කි පුංචි නැති බව හිතන ගමන් මම ඇහුවා.

මොකද බැරි? හොඳට පුළුවන්. අපේ ටෙක් එකේ බැකෝ එකක් තියෙනවා. ඒකෙන් තමයි පුරුදුවුණේ.”

එහෙම කියපු දිල්කි දුරකතනයෙන් බැකෝ පදින වීඩියෝවක් පෙන්නුවා. ඒ වීඩියෝ එක පහුගිය ටිකේ සමාජ මාධ්‍යවල හුවමාරු වුණ බවත් ඇය කිව්වා.

මේ පාඨමාලාව කරනවට ගෙදරින් කැමති වුණා. හැබැයි ඒකට මාව කොළඹට එවන්න අම්මලා කැමති වුණේ නෑ. ඉතින් ගෙදරින් අවසර ගන්න ලොකු මහන්සියක් ගත්තා. හැබැයි දැන්නම් මගේ ගැන එයාලත් ආඩම්බරයි. ඇත්තටම මේක තමයි මගේ ජීවිතේ මම ගත්තු හොඳම තීරණේ. මගේ අනාගතය දැන් පැහැදිලියි. දැනටමත් විවිධ ආයතනවලින් මාව ඒ අයගේ ආයතනවලට සම්බන්ධ කරගන්න අහනවා. මේ අවුරුද්දෙන් පස්සේ මට මේ ක්ෂේත්‍රයෙන්ම හොඳ වැටුපකට රැකියාවක් කරන්න පුළුවන්.”

දිල්කිත් එක්ක පාඨමාලා කරන අනෙක් තරුණිය 23 හැවිරිදි තරුෂි සත්සරණි. ඇය ගාල්ල බද්දේගම. පොඩි කාලේ ලෝයර් නෝනා කෙනෙක් වෙන්න හීනයක් තිබුණත් උසස් පෙළ කරද්දි ඒ හීනේ වෙනස් වුණාලු.

මම ඉගෙනගත්තේ ගාල්ල ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයෙන්. ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, නංගියි. තාත්තා කරන්නේ වෑල්ඩින් වැඩ. ඉතින් අයියව මේ ක්ෂේත්‍රයට යොමුකරන්න තාත්තට ලොකු ආසාවක් තිබ්බා. ඒත් අයියා කැමති වුණේ නෑ. තාත්තගේ ආශාව ඉෂ්ට කරන්න මම මේ පැත්තට යොමු වුණා. අනික මාත් මේ පැත්තට කැමතියි. මම මෙහෙම කෝස් එකක් කරන්න යනවා කියලා දැනගත්තම ගෑනු ළමයෙක්ට ඔය වැඩ හරියන්නෙ නෑ කියලා සමහරු කිව්වා. පස්සේ මං ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ඇහුවා. මේ ක්ෂේත්‍රයට වැඩිය ගෑනු ළමයි නොඑන නිසා ඉදිරියට යන්න හොඳ අවස්ථාවක් තියෙනවා කියලයි එයාලා කිව්වේ.”

උසස් පෙළට ඉංජිනේරු තාක්ෂණවේදය කරපු තරුෂිගේ ඉදිරි බලාපොරොත්තුව මේ ක්ෂේත්‍රයෙන්ම ඉදිරියට ගිහින් ඉංජිනේරුවෙක් වෙන එකලු. හැබැයි කාන්තා නියෝජනය අඩු පිරිමි වැඩි ක්ෂේත්‍රයක වැඩ කිරීම තරුණියක් විදියට ලොකු අභියෝගයක් කියලයි ඇය කිව්වේ.

ඇත්තටම මේක අභියෝගයක්. මොකද අපිට හැප්පෙන්න තියෙන්නේ යකඩ එක්ක. බොරු කියන්න ඕන නෑ මුල් කාලේ එපාවුණු වෙලාවලුත් තිබුණා. හැබැයි මේ පාර තෝරගත්තු එක ගැන දැන් නම් ආඩම්බරයි. මගේ දෙමව්පියෝ, මගේ ගුරුවරු, මගේ බැජ් එකේ යාළුවෝ මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ. ඒ අයගේ උදව් මට ලොකු ශක්තියක්.”

කතාබහ අවසානයේ සාම්ප්‍රදායක රැකියා රාමුවෙන් එළියට ගිය තරුණියක් විදියට ‘ධරණී’ කියවන ලංකාවේ තරුණියන් වෙනුවෙන් මෙහෙම කතාවක් කියන්නත් ඇය අමතක කළේ නෑ.

මේ වගේ ක්ෂේත්‍රවලට එන්න කැමැති ගොඩාක් ගෑනු ළමයි ඉන්නවා. සමාජයෙන් ඇහෙන කතා නිසා ඒ අයගේ හිත්වල චකිතයක් තියෙනවා. ඒ අයට මං කියන්නේ බය නැතුව මේ ක්ෂේත්‍රයට එන්න. එහෙම එන ඕන කෙනෙක්ට තමන්ගේ අනාගතය හදාගන්න පුළුවන්. ගැහැනු රස්සා පිරිමි කරන රස්සා කියලා නෑ. හිතේ හයිය තියෙනවා නම් ගෑනු අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්.”

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප ප්‍රදීප් දඹරගේ

පසුතලය මොරටුව ජර්මන් කාර්මික විද්‍යාලය