විශේෂාංග

වැස්සකටවත් ඉස්පිරිතාලෙට නොගිය ඩිංගිහාමි අම්මා යන්නම යයි

මෙරට වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණේ වැලිගම කනංකේ විසූ කංකානම් ගමගේ ඩිංගිහාමි මාතාවයි. ඇය අවුරුදු 116ක පරමායුෂ විඳ ඉකුත්දා දිවිසැරිය නිම කළාය.

තම දිගු දිවි ගමනේ සොඳුරු මතක සිය 115 වන උපන්දිනයදා ඩිංගිහාමි මාතාව මතක් කළේ අප සහෝදර පුවත්පතක් වූ ‘අරුණ’ හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. තම සතුටු අතීතය ගැන එදා ඇය කී තොරතුරුද සමඟින් මෙම ලිපිය සැකසේ.

සතුටු සිත මවන සැනසිල්ල ඒ දිගු දිවි ගමනේ අපුරුවට සනිටුහන්ව තිබිණි. ආයු වඩන බල වඩන අපූරු රහසද ඒ සිනාවම වෙතැයි අපිට සිතුණේ ඇයගේ 115 වන උපන්දිනයට පසුදිනක එම නිවසට ගොඩවැදුන විටය.

‘‘මම හෙම්බිරිස්සාවකටවත් ඉංග්‍රීසි බෙහෙතක් බීලා නැහැ. ඉස්පිරිතාලෙකට ගිහිනුත් නැහැ. ඒ කාලේ කොස්, දෙල් වගේ වස විස නැති ගමේ කෑමවල හිඟයක් තිබුණෙත් නැහැ. කාලා බීලා බොහොම සතුටින් කාලය ගතකළා. සතුට කියන දේ ජීවිතයට බොහොම වැදගත් දෙයක්.’’

සෙමින් වදන් එක්තැන් කළත්, ඩිංගිහාමි මාතාවගේ වදන් පැහැදිලිය. 2013 වසරේ නාන කාමරයේදී ඇදවැටීමෙන් වූ අනතුරක් හේතුවෙන් එක්තැන්ව සිටි ඇයගේ පෙනීමද ඒ වනවිට නැතිව ගොස් තිබුණි. එහෙත් ඇයගේ දෙසවන් හොඳින් ඇසුණාය.

‘‘මම උදේට නැගිටින්නේ පිරිත් අහලයි. ඒ වගේම රටේතොටේ වෙන විත්ති දැනගන්න ගොඩක් කැමැතියි. ඒ නිසා ප්‍රවෘත්තිත් අහනවා. ගමක ලස්සන ඇස් දෙකට පෙනෙද්දී හිතට සතුටුයි. මං ඉපදුණ අතුරලිය ගමත්, විවාහයෙන් පස්සේ පදිංචි වුණු වැලිගමත් ඒ ලස්සන තිබුණු ගම්මාන. මගේ මහත්තයා කළේ ගොවිතැන් කටයුතු. මමත් ඒවට හරි හරියට උදව් වෙලා තියෙනවා. කොස්, දෙල්, කොළ, පළා ටික වත්තෙම තිබුණා. ඉතින් කෑමබීම්වල අඩුවක් අපට තිබු‍ණේ නැහැ. අපි දෙන්නට දරුවෝ තුන්දෙනයි. පුතාලා දෙන්නයි, එක දුවයි. දුව නම් පුංචි කාලෙම මියගියා. පුතාලගේ දරුවොයි, එයාලගේ දරු මුණුබුරොයි එක්ක මං දැන් බොහොම සතුටින් කාලය ගත කරනවා.’’

ඩිංගිහාමි මාතාව කියද්දී ඇයගේ පොඩි පුතු අපට ඇයගේ වැඩිහිටි හැඳුනුම්පත පෙන්නුවාය. එහි ඇයගේ උපන්දිනය ලෙස සටහන්ව ඇත්තේ 1906 ජනවාරි 11 වනදායි. ඇය වයස 115 පිරුණදා වැලිගම ප්‍රාදේශීය සභාව මගින් පැවැත්වූ වැඩිහිටි දින උත්සවයේදී ‘උත්තම මාතා’ සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

‘‘මගේ මහත්තයා මියගිහින් දැන් අවුරුදු හතළිහකටත් වැඩියි. දරුවොයි, දරුවන්ගේ දරුවොයි තමයි මට හැම මොහොතෙම සතුට ගේන්නේ. මට ඉස්සර ​හොඳට කවි කියන්න පුළුවන්. ජනකවි එහෙම මම බොහොම ලස්සනට කියනවා. ඒ විතරක් නෙවෙයි ලස්සන සුරංගනා කතන්දරත් මම දරු පැටව් වටකරගෙන කියනවා.’’

ඇය කීවාය. බාල පුතු වන එම්.ජී.සිරිසේන දැන් අසූ හැවිරිදිය. ඔහුටද අම්මා ගැන මතක ගොඩකි. ඇයව බලා කියාගන්නේද ඔහුයි.

‘‘අපි දන්න කියන කාලේ ඉඳලා අම්මට රසට කෑම හදන්න පුළුවන්. මට මතකයි ඉස්සර අම්මා බැදි දෙල් ඇටයි මදුළුයි උයලා කන්න කැමතියි. ඒක බොහොම රස මාලුවක් විදියට හදනවා. ඉස්සර තාත්තා කැලෙන් බෙරලිය ගෙඩි හොයන් එනවා. අම්මා ඒවයින් පිට්ටු හදනවා. ඒ වගේ රසවත් කෑම බීමවලින් අඩුවක් අපට තිබුණේ නෑ. අම්මා ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. මට මතකයි ගෙදර වී කොටනවා, පැදුරු වියලා විකුණනවා. මගේ නෝනට පැදුරු වියන්න ඉගැන්නුවෙත් මගේ අම්මා.’’

සිරිසේන කියන්නේ බිරිඳ දෙස බලමිනි. දැන් ඇයද වයස හැත්තෑ ගණන්වලය. දිගු කාලයක් නැන්දනියව බලා කියාගන්නට වාගේම ඩිංගිහාමි මාතාවගේ ආදරය ලබන්නටද ඇයට වාසනාව ලැබිණි.

ඩිංගිහාමි මාතාව එක්තැන් වීමට පෙර සෑම මසකම පන්සලට ගොස් සිල් සමාදන්වීම පුරුද්දක් කරගත් තැනැත්තියකි. එක්තැන් වූ පසුවද ඇය සිල් සමාදන් වීම දිගටම කරගෙන ආවාය.

‘‘අම්මා උදේම නැගිටිනවා. ඒ නැගිටලා ගෙදර අයවත් කතා කරලා නැගිට්ටවනවා. ඒත් පහුගිය දහවෙනිදා ඒ කටහඬ ඇහුනේ නැහැ. ගිහින් බලද්දි අම්මා මියගිහින්.’’

ඒ ඇයව වැඩි කාලයක් බලාකියාගත් ලේලියයි. ඔවුනගේ ආදරය, රැකවරණය, සොයාබැලීම් ඩිංගිහාමි මාතාවට වැඩි කලක් ජීවත් වන්නට දිව්‍යමය ඖෂධ වූවාට සැක නැත. ගම්මුන්ද ඩිංගිහාමි මාතාවට ගරු කරන්නේ ඇය යහපත් ධෛර්යමත් කාන්තාවක වූ බැවිනි.

ඒ කාලයේ වූ මැලේරියා වසංගතයත්, මේ කාලයේ වූ කොරෝනා වසංගතයත් අතරමැද වසර 116ක් දිවිගෙවූ ඩිංගිහාමි මාතාව සොබාදහමට අනුගත වෙමින් මාර්තු 11දා ජීවිතය නිමාකළේ ලංකාවේ වාසනාවන්තම මාතාවක ලෙසිනි. එනම් ලංකාවේ විසූ වයස්ගතම කාන්තාව ලෙස තම නාමය ඉදිරියේ ලියාගත් වැකිය තවත් බොහෝ කලක් පවතින බැවිනි.

දීපා වසන්ති එදිරිසිංහ

මහින්ද තැළිකෝරාලගේ