නවතම ප්‍රවෘත්ති

තමන්ට ගැළපෙනම පිරිමියා තෝරගන්නත් ගැහැනියක් දක්ෂ වෙන්න ඕන

අද පෙබරවාරි 14. ආදරවන්තයින්ගේ දිනය විදියට නම් වුණු දවසේ බොහොම ආදරෙන් ‘ධරණී’ නව කලාපයක් ඔබට තිළිණ කරන්න ලැබීම අපිට සතුටක්. හැබැයි ඒ ආදරණීය ‘ධරණී’ කලාපයේ කවරය සරසන්න ආදරණීය යුවළක් හොයාගන්න එක නම් අපිට තරමක අභියෝගාත්මක වුණා.

ඇත්තටම ආදරේ කරන යුවළක් හොයාගන්න එක ඒ තරම්ම අමාරු වැඩක්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔව්. ඒක ටිකක් අමාරු වැඩක්. ගොඩක්දෙනාගේ ආදරේ වැලන්ටයින් දවසට සීමාවෙලා. නැත්නම් වාණිජකරණය වෙලා. අනික ලෝකෙටම පෙන්නගෙන උජාරුවට ආදරේ කරන ගොඩක් අයගේ ආදර කතා ඇතුළෙ හැංගිලා තියෙන ඛේදවාචක අපි දැකලා තියෙනවා. ඉතින් එහෙම කල්පනා කරගෙන යද්දි ආදරේ සැබෑම අරුත ආදර්ශයෙන් පෙන්වන ආදරණීය යුවළක් ගැන අපේ මතකයට ආවා.

දිනූජා රූපසිංහ සහ ප්‍රදීප් ධර්මදාස කියන්නේ මීට කාලෙකට කලින් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය නාළිකාවක නිවේදන කටයුතු කළ දෙපළක්. ඉතින් ඔවුන්ගේ ආදර කතාවට බොහොම දිග ඉතිහාසයක් තිබෙනවා.

මේ වෙනකොට දිනූජා වෛද්‍යවරියක්. ‘සයිබර් ක්ලිනික්’ යූටියුබ් චැනල් එක කරන ඩොකටර් කිව්වම ඇයව නොදන්න කෙනෙක් නැති තරම්. එතකොට ප්‍රදීප් අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක්.

මේ දෙන්නාගේ එදා තිබුණු ආදර කතාව අදටත් ඒ විදියටම ගලාගෙන යනවා. ඒ නිසා ඉතින් ආදරවන්තයින්ගේ දවසේ ‘ධරණී’ කවරය දරමින් ආදරය නියෝජනය කරන්න අපිත් හිතේ බයක් සැකක් නැතුව මේ සොඳුරු යුවළට ආරාධනා කළා.

———————

වෛද්‍ය දිනූජා රූපසිංහ

‘‘මම ඉගෙනගත්තේ කොළඹ විශාකා විද්‍යාලයෙන්. පුංචි කාලේ ඉඳලා මම කලාවට ගොඩක් ලැදියි. ඉතින් කවදාහරි දවසක ලේඛිකාවක් වෙන්න තමයි මට ඕනෙ වුණේ. ඒත් මම වෛද්‍යවරියක් වෙනවා දකින්න මගේ තාත්තාට උවමනා වුණා. ඉතින් තාත්තගේ හීනේ හැබෑ කරන්න හිතාගෙන තමයි මම වෛද්‍යවරියක් වුණේ.

මම දැන් පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනය යටතේ රජයේ ප්‍රධාන පෙළේ රෝහල්වල රුධිර රෝග සම්බන්ධ වෛද්‍යවරියක් විදියට සේවය කරනවා. ඒ කාලේ ලොකු අවබෝධයක් තිබුණේ නැතත් තාත්තා මට තෝරලා දීලා තියෙන්නේ ගැළපෙනම වෘත්තිය කියලා මට දැන් හිතෙනවා. අපේ රටේ මිනිස්සු හරියට දුක් විඳිනවා. අසනීප වුණාට පස්සේ මිනිස්සු තවත් අසරණයි. වෛද්‍යවරු විදියට මිනිසුන්ගේ ලෙඩරෝගවලට ප්‍රතිකාර කිරීමට එහා ගිය දේවල් අපි කරනවා. ඉතින් ඒ වගේ සේවයක් කරන්න ලැබීමම වාසනාවක්.’’

*එතකොට ප්‍රදීප්ව මුණගැහෙන්නේ?

‘‘මම කොළඹ මෙඩිකල් ෆැකල්ට් එකේ ඉගෙනගන්න කාලෙදි ස්වර්ණවාහිනියේ නිදහස් නිවේදිකාවක් විදියටත් වැඩ කළා. ඒ කාලේ ප්‍රදීප් වැඩ කළෙත් එහේ. ඉතින් එතැනදී ප්‍රදීප් මගේ හොඳම යාළුවෙක් වුණා. කාලයත් එක්ක ඒ යාළුකම ආදරේකට පෙරලුණා.

විවාහ වෙන්න කලිනුත් අපි අවුරුදු දහයක් විතර ආශ්‍රය කළා. රංගන ශිල්පියෙක් කිව්වම සමාජයේ මවලා තියෙන ප්‍රතිරූපයක් තියෙනවනේ. ඒ වගේ හේතු නිසා මගේ දෙමව්පියෝ මේ සම්බන්ධෙට තදින්ම විරුද්ධ වුණා. ඒ නිසා අපි දෙන්නට ගොඩක් ප්‍රශ්න ඇති වුණා. හැබැයි ඒ කොයිම මොහොතකවත් අපේ ආදරේ නම් වෙනසක් වු‍ණේ නැහැ. පස්සේ ඉතින් ඒ ප්‍රශ්න හොඳ විදියට විසඳගන්නත් අපිට පුළුවන් වුණා.

ජීවිතේ හරියට පඩිපෙළක් වගේනේ. ආදරය කරන පලියට ඊළඟට තියෙන පඩිත් පාස් කරලා විවාහ වෙන එක නුවණක්කාර වැඩක් නෙමෙයි. ඒ නිසා අපි දෙන්නා අපේ හැමදේම ස්ථාවර කරගත්තා. අධ්‍යාපන කටයුතු හරියට කරගත්තා. ගෙවල් දොරවල් හදාගත්තා. ඒ ස්ථාවරත්වය එක්ක ලොකු බරක් නැතිව දෙන්නෙක්ට ඉස්සරහට යන්න ලේසියි.’’

*බඳින්න කලින් තියෙන ආදරේ බැන්දට පස්සේ වෙනස් වෙනවලු නේද?

‘‘ඒක මෙහෙමයි. යාළුවෙලා ඉන්න කාලෙ තිබුණු අර බොළඳ ආදරේ විවාහයෙන් පස්සේ පරිණත ආදරයක් වෙනවා කියලයි මට හිතේනනේ. හැබැයි ඒක එකපාරම වෙන දේකුත් නෙමෙයි.

කසාද බඳින්නේ වෙන වෙනම හිටපු දෙන්නෙක්නේ. ඉතින් බැඳලා අවුරුද්දක් දෙකක් ඇතුළත එකිනෙකාගේ නොගැළපීම් හරියට පේන්න ගන්නවා. ‘අයියෝ මේක හරියන්නේ නෑ…’ කියලා මටත් ඕනතරම් හිතිලා තියෙනවා. ප්‍රදීප්ට හරියට දේවල් අමතක වෙනවා. හැබැයි යාළුවෙලා ඉන්න කාලේ මට ඒක දැනිලා නැහැ. විවාහ වුණාට පස්සේ තමයි මට ඒක පේන්න පටන්ගත්තේ. දැන් හිතන්නකෝ ගමනක් යද්දි වාහනේ හරවන්න තියෙන තැන ඔහුට අමතකයි. මුල් කාලේ ඔහුගේ ඒ හැසිරීම ගැන මට තරහක් ඇතිවුණා. හැබැයි පස්සේ ඒක ඔහුගේ ස්වභාවය කියන එක මම තේරුම් ගත්තා. ඉතින් දැන් ගමනක් යද්දි පුරුද්දක් විදියට මම හරවන්න ඕන තැන් ඔහුට මතක් කරනවා. අඩුපාඩු හදාගන්නේ, නොගැළපීම් ගැළපීම් කරගන්නේ එහෙමයි. පිරිමියෙක් හිතන විදියයි, ගැහැනියෙක් හිතන විදියයි සම්පූර්ණම වෙනස්. ඒ දේවල් ​තේරුම් අරන් නම්‍යශීලී වෙනවානම් අඹු-සැමි යුවළකට සාර්ථක ගමනක් යන්න පුළුවන්.

හැබැයි තව දෙයක් තමන්ට ගැළපෙනම පිරිමියාව තෝරාගන්න ගැහැනියක් දක්ෂ වෙන්න ඕනේ. තෝරගන්න පිරිමියාගේ ගති සොබාවය අනුව ගැහැනියගේ ජීවිතේ කටුක වෙන්න ඉඩ තියෙනවා. අපි විවාහ වෙලා දැන් අවුරුදු අටක් වෙනවා. අපිට ඉන්නේ පුතාලම තුන්දෙනෙක්. ඉතින් ජීවිතේ ලේසි නැහැ. මේ අවුරුද්දෙදි මම මගේ පශ්චාත් විභාගයේ අවසාන විභාගයට මුහුණ දෙනවා. ඉතින් දරුවන්ගෙ වැඩයි, ඉගෙනුම් වැඩයි, වෘත්තියයි ඒ හැමදේම කළමනාකරණය කරගන්න එක ලේසි නැහැ. මේ හැමදේකටම මට ප්‍රදීප්ගේ ලොකු සහායක් ලැබනවා. මම උයනවා නම් ඔහු ගේදොර අස් කරනවා. මම දරුවෝ බලාගන්නවා නම් ඔහු උයනවා. අපි අතර කිසිම පංගුපේරුවක් නැහැ.

පෞද්ගලික ජීවිතේ විතරක් නෙමෙයි, මගේ වෘත්තීය ජීවිතේටත් ඔහුගෙන් ලොකු සහායක් ලැබෙනවා. ඇත්තටම මම ‘සයිබර් ක්ලිනික්’ යූටියුබ් නාළිකාව පටන්ගැනීම පිටුපස ඉන්නේ ඔහු. වෛද්‍යවරියක් විදියට සම්පත් දායකත්වය ලබාදෙන්න කියලා මට ගොඩක් මාධ්‍යවලින් කතා කරනවා. ඒත් ඒකට මට කාලයක් නැහැ. ඉතින් ප්‍රදීප්ගේ ප්‍රඩක්ෂන් ටීම් එකක් ඉන්න නිසා ​මේ විදියේ යූටියුබ් එකක් කරමු කියලා ඔහු යෝජනා කළා.

අපේ රටේ සෞඛ්‍ය අධ්‍යාපනය කියන එක බොහොම අවම මට්ටමක තියෙන්නේ. සමහර රෝගීන් ඉන්නවා ලොකු සැත්කමක් කරලා ගෙදර ගියාට පස්සේ එයාට තිබුණු ලෙඩේ ගැන තව කෙනෙක්ට කියන්න දන්නේ නෑ. හරියට පරිස්සම් වෙන්න දන්නේ නෑ. හැබැයි තමන්ගේ ශරීරය ගැන, ලෙඩ රෝගවලින් ආරක්ෂාවෙන හැටි ගැන දැනගන්න දැනුම් පිපාසාවකින් ඉන්න පිරිසකුත් ඉන්නවා. ඔන්න ඔය හැමදෙනාම වෙනුවෙන් මෙහෙම දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා මටත් හිතුණා. යූටියුබ් එක පටන් අරන් අවුරුද්දක් යන්න කලින් ලක්ෂ හතරකට වඩා වැඩි පිරිසක් සබ්ස්ක්‍රයිබ් කරලා තිබුණා.

මම වෛද්‍යවරියක්නේ. ඉතින් මිනිසුන්ගේ කායික රෝග, මානසික රෝග, ලිංගික රෝග ඒ හැමදෙයක්ම මට එකයි. ඒ නිසා මම ඔය හැමදෙයක් ගැනම පොදුවේ කතා කරනවා. මේ වෙනකොට මම වීඩියෝ එකසිය විස්සක් විතර කරලා තියෙනවා. එතැන ලිංගික සෞඛ්‍ය ගැන කතා කරන වීඩියෝ හතක් විතර තියෙනවා. ඒ වීඩියෝ හතට අනිත් ඒවාට වඩා මිලියන ගණනක් වීව්ස් තිබුණා. ඒ වගේම ඒවට ධනාත්මක ප්‍රතිචාර සෑහෙන ලැබුණා. ඇත්තටම ඍණාත්මක ප්‍රතිචාර නම් නැති තරම්. ඇයි ඒ? මිනිස්සු මේ කාරණා ගැන දැනුවත් වෙන්න කැමතියි. ප්‍රශ්නය තියෙන්නේ ඔවුන්ව දැනුවත් නොකරන එකයි.

‘මගේ දුව දැන් බඳින වයසේ ඉන්නේ. මට එයා එක්ක සමහර දේවල් කතා කරන්න බැහැ. ඒ නිසා මම එයාට ඩොක්ටර්ගේ චැනල් එක බලන්න කිව්වා’ කියලා අම්මා කෙනෙක් මට කිව්වා. එහෙම හරි දෙමව්පියෝ දරුවන්ව දැනුවත් කරනවා නම් ඒක ලොකු දෙයක්.

ලිංගිකත්වය කියන්නේ අරුම පුදුම දෙයක් කියන මතය දරුවන්ගේ ඔලුවට දාන්න එපා. දරුවන්ට ඒ දේවල් හංගන්න එපා. ශරීරයේ අවයව ටික ගැන දරුවන්ට කියලා දෙන්න. හැඟීම් කළමනාකරණය ගැන දැනුවත් කරන්න. මේ ලෝකේ ඉන්න හැම ගැහැනියකටම තියෙන එකම අවයව ටික පිරිමින්ටත් එහෙමයි. ඒ දේවල් මැජික් නෙමෙයි. ඒවා මැජික් විදියට මවාපෑමෙන් දරුවන් පුංචි කාලෙම ජීවිත විනාශ කරගන්න ඉඩ තියෙනවා කියන එක වැඩිහිටියෝ තේරුම්ගන්න ඕනේ.’’

———————

ප්‍රදීප් ධර්මදාස

‘‘රට යන දිශාව එතකොට දේශපාලනය ගැන ටිකක් කතා කරන්න ‘ප්‍රදීපාගාරය’ කියලා මම යූටියුබ් චැනල් එකක් පටන්ගත්තා. ඒකටත් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදියටත් වැඩ කරන නිසා ඒ කාර්යබහුලත්වය එක්ක මට රංගන කටයුතුවල නිරත වෙන්න දැන් ලොකු වෙලාවක් නැහැ. හැබැයි සමහරු මගෙන් අහනවා ‘රඟපාන්නේ නැත්තේ වයිෆ් එපා කියලද?’ කියලා.

ඇත්තටම නැහැ. රංගනයට එනකොටත් මගේ සහ දිනූජාගේ සම්බන්ධය තිබුණා. ඒ කාලේ ඉඳලා අද වෙනතුරු ඇය මට කිසිම දෙයක් කරන්න එපා කියලා නැහැ.

අපි දකිනවා ගොඩක් සම්බන්ධතාවල සැමියා බිරිඳට සීමා දාගෙන, බිරිඳ සැමියාට සීමා දාගෙන දෙන්නට දෙන්නා බයෙන් බයෙන් ජීවත් වෙනවා. මේ ජීවත්වෙන ටික කාලෙට එහෙම ජීවත්වෙලා වැඩක් තියෙනවද?

හැම කෙනෙක්ටම තමන්ට කියලා අනන්‍යතාවයක් තියෙනවා. හැබැයි ආදරේ කරද්දි මිනිස්සු ඒවාට නිති රීති දාගන්නවා. පෙම්වතයි, පෙම්වතියයි එකම ෆේස්බුක් එක පාවිච්චි කරන්න ඕනේ, පාස්වර්ඩ් හුවමාරු කරගන්න ඕනේ ඔය වගේ නීති නිසා මිනිසෙක්ගේ අනන්‍යතාවය නැති වෙනවා. ආදරේ කළ පලියට, විවාහ වුණු පලියට කාගෙවත් පෞද්ගලිකත්වයට අභියෝග කරන්න කාටත් අයිතියක් නැහැ කියලා මම හිතනවා.

හැබැයි ආදරේ ඇතුළේ, විවාහය ඇතුළේ දෙන්නගේ වගකීම් හරි විදියට බෙදිලා යන්නත් ඕනේ. එක්කෙනෙක්ට බර වැඩි වුණොත් එතැන ලොකු අඩුවක්. අපිට ඉන්නේ පුතාලා තුන්දෙනෙක් නිසා ගෙදර හරියට ලෝක යුද්ධයක් වගේ. වයිෆ් හස්බන්ඩ් දෙන්නම වැඩ ඇරිලා ආවම වයිෆ් කුස්සියේ නැහෙද්දි හස්බන්ඩ් කකුල් උඩ දාගෙන ටීවී බලනවා නම් ඒ පවුල සාර්ථක නැහැ. මගේ බිරිඳ සේරම කරනකල් කට ඇරන් බලන් ඉන්න මට නම් බැහැ. උයන එක, ගේ අස්පස් කරන එක ඒවා මහලොකු දේවල් නෙමෙයි. දැන් ඉඳලම මම ඒ දේවල් අපේ දරුවන්ටත් උගන්වනවා. ඒක වැඩිහිටියන් විදියටත් අපේ වගකීමක්.

අනිත් දේ තමයි ආදරවන්තියට, බිරිඳට ආදරේ කරන්න එක දවසක් අවශ්‍ය නැහැ. ඒ වගේ දවස් තියෙන්නෙම වාණිජ අරමුණු ඉටු කරගන්න. පළවෙනි දේ විශ්වාසවන්ත මනුස්සයෙක් වෙන්න. සම්බන්ධයක් ඇතුළේ විශ්වාසය, අවබෝධය තියෙනවා නම් මේ හැම දවසක්ම වැලන්ටයින් දවස් තමයි. අද අපිට මේ සමාජයේ හැමදෙයක් දිහාම සැකෙන් බලන්න වෙලා. ඇයි ඒ? මිනිසුන්ව විශ්වාස කරන්න බැහැ. අපිට අනිත් මිනිසුන්ව හදන්න බැහැ. ඒ නිසා අපි තනි තනිව හැදෙමු. විශ්වාසවන්ත මිනිස්සු වෙලා ඉස්සරහට මේ රට භාරගන්න ඕනේ තරුණ පරපුර. ඉතින් අපේ තරුණ පරපුර තවත් සබුද්ධික වෙන්න ඕනේ. නිර්මාණශීලී වෙන්න ඕනේ. එහෙම වුණොත් ඉස්සරහට හරි අපිට හොඳ ගමනක් තියෙයි.’’

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප සමන් අබේසිරිවර්ධන

පසුතලය සෝලිස් හොටෙල් පිටකෝට්ටේ