මේ නිධානය මතු කරගන්න එක බිම් අඟලකුත් ඇති
ගෙදරදොරේ වැඩ රාජකාරි කොතෙක් තිබුණත් ගෙවත්ත වෙනුවෙන් කාලය වෙන් කරගත් කාන්තාවෝ කවදාටත් දිනුම්ය.
වස විස නැති එළවලු ටිකක් අල බතල ටිකක් එවන් ගෙවත්තක කළඑළියයි.
“මම විවාහ වුණේ 2014 අවුරුද්දේ. ඊටපස්සේ මේ ගේ හදාගෙන රාගම පදිංචියට ඇවිත් ඉස්සරවෙලාම කොළපලා වර්ග තමයි වගා කරන්න පටන්ගත්තේ. විවාහයට කලින් මම පුවත්පත් කලාවේදිනියක් විදියටත් කටයුතු කළා. මගේම පොත් සාප්පුවකුත් කළා. හැබැයි පුතා ලැබෙන්න ඉඳිද්දි මහත්තයා කිව්වා, දැන් ගෙදර හිටියානම් නේද හොඳ කියලා. බබා ලැබුණට පස්සේ එයාගේ වැඩ රාජකාරි ටිකෙන් ටික වැඩිවෙද්දී මමත් ඒකට කැමති වුණා. මුලින්ම මුකුණුවැන්න, ගොටුකොළ, තෙබු, කංකුං, මොනරකුඩුම්බිය, පොල්පලා, කුප්පමේනිය වගේ දේවල් වගා කළා. එළවලු පැළ හිටෙව්වේ පෝච්චිවල. ඒ එක්කම අපි පදිංචියට ආව මුල් කාලෙම රඹුටන්, පොල් පේර, කටු අනෝදා, වෙරලු, කටුලොවි, ඇඹරැල්ලා, කෙසෙල් වගේ ලොකු ගස් වර්ගත් හිටෙව්වා. ගේත් එක්ක තියෙන මුළු ඉඩමේ ප්‍රමාණය පර්චස් එකොළහයි. මම කියන්නේ ලොකුවට ඉඩ ඕන නැහැ. බිම් අඟලක් තිබුණත් මිරිස් පැළයක්, බටු පැළයක් හරි හිටවගන්න පුළුවන්නම් එයින් හිතට දැනෙන සතුට මිල කරන්න බැහැ.”
ඒ දිනූෂා කල්පනී මාකවිටගේ හඬය. කලක් පන්හිඳට පෙම් බැඳි ඇය දැන් මුළු කාලයම වෙන්කර ඇත්තේ පවුලේ කටයුතු වෙනුවෙනි. වරාය අධිකාරියේ සේවය කරන දම්මික ලසන්ත වීරසිංහ දිනූෂාගේ සැමියායි. ගෙදරදොර වටපිටාව ලස්සනට තියාගන්නටත්, වගා කටයුතුවලට අවැසි උදව්පදව් සියල්ල ලබාදෙන්නටත් ඔහු කැමැත්තෙන් ඉදිරිපත් වන බව දිනූෂා කීවාය.
“ඇත්තම කිව්වොත් මේ වගාව මගේ විතරක් නෙමෙයි අපි තුන්දෙනාගෙම කිව්වොත් තමයි හරි. මම එහෙම කියන්නේ මහත්තයත් ගෙදර ඉඳිද්දී වගා වැඩවලට ලොකු සහයෝගයක් දෙනවා. එයා තමයි මට කොම්පෝස්ට් බින් එක හදලා දුන්නෙත්. අපි වගාවට රසායනික පොහොර දාලා නැහැ. කුස්සියේ උයද්දි අහකදාන එළවලු කැබලි ටික පවා මගේ විශේෂ පොහොර එක හදාගන්න මම යොදනවා. ඒ නිසාම කුණු ප්‍රශ්නත් අපිට කවදාවත් නෑ. ගඳ ගහනවා, නගර සභාවෙන් එනකල් කියලා බලා ඉන්න උවමනාවකුත් නැහැ. මේ පස ඒ තරම් සරුසාර පසක් නොවෙන නිසා අපි වගාවට සුදුසු විදියට පස සකස්කර ගන්නවා. ඒ නිසාම වැඩිපුර පෝච්චිවල තමයි වගා කරන්නේ. කලින් කලට විවිධ එළවලු වර්ග වගා කළා. කඩෙන් ගෙනා එළවලු ඉවරවුණු දාට වත්තේ ඇවිද්දම එළවලු දෙක තුනක්, කොළපලා ටිකක්, ඇඹරැල්ලා ගෙඩි ටිකක් කඩාගන්න පුළුවන්. ඇඹරැල්ලා මාලුවට පුතත් හරි කැමතියි.”
හය හැවිරිදි පුංචි පුතු දෙව්නිජ සතිල් වීරසිංහ ජාත්‍යන්තර පාසලක එක වසරේ ඉගෙනුම ලබයි. ගෙදර හිඳින්නේ නම් ඔහුද අම්මා සමඟින් ගෙවත්තේ සිටින්නට වැඩිපුර කැමතිය. පුංචි පුතුද දැන් සිටම පරිසරයට ගහකොළට ආදරේ දැක්වීම ගැන ඔවුන් සිටින්නේ සතුටිනි. ඒ සතුට හැමදාමත් ළඟ තබා ගන්නට දිනූෂා කැමතිය. ඊට ලොකු ලොකු දේවල් උවමනා නැතැයි ඇය සිතන්නීය.
“නිවාඩු දවස්වලට අපි තුන්දෙනාම ගෙදර ඉන්නවනම් මම කොළකැඳ හදනවා. වත්තෙන් ගන්න හාතවාරිය, වැල්පෙනෙල කොළ වගේ කොළපලා වර්ග ගෙවත්තේ තියෙනවා. සමහර දවස්වලට උදේට මඤ්ඤොක්කා තම්බලා කොච්චි සම්බෝලයක් හදලා ගන්නවා. මේ දවස්වල වත්තේ මඤ්ඤොත්තා වගේම රාජඅලත් තියෙනවා. ඒ වගේම පැහුණු අලුකෙසෙල් කැනකුත් තියෙනවා. නාරං වර්ග කිහිපයක් තියෙනවා. තිබ්බටු, දඹල, බණ්ඩක්කාත් තියෙනවා. කාලයක් යද්දි එළවලු පැළ මැරෙනවා. එතකොට ඒවට අලුතෙන් පැළ හිටවන්න ඕන. ඒ වගේම අපි කරපිංචා, රම්පේ කවදාවත් කඩෙන් ගේන්නේ නැහැ. ළඟදි කරඳමුංගු පැළයකුත් හිටෙව්වා.”
එසේ අලුත් අලුත් දේ වගාවට එක්කර ගනිද්දී එම ගහකොළ ගැනද අලුත් අලුත් දේ ඉගෙනගන්නට ලැබෙන්නේය.
දිනූෂා පුංචි සන්ධියේ ඇගේ මව ගෙදර පරිභෝජනයට අවශ්‍ය දේ ගෙවත්තේම වගාකරගත් අයුරු සිහිවෙද්දී ඇගේ හිතත් නිතැතින්ම වගාවට බැඳුණි. කිරිබත්ගොඩ මාවරමණ්ඩිය ගමේ ගහකොළවලින් පිරි එම සොඳුරු පරිසරයට අදටත් ඇය මහත් සේ ඇලුම් කරන්නීය.
“මට මතකයි ගෙවත්තකට ඕන කරන ගොඩක් දේවල් අම්මගේ වගාවේ තිබුණා. ගෙදරින් වෙන්වුණාට පස්සේ, මගේ ගෙවත්තත් ඒ වගේ වගාවකින් පොහොසත් කරගන්න එක මගේ හීනයක් වුණා. ඒ වගේම මම මැහුම් ගෙතුම්වලට වගේම කේක් හදන්නත් කැමතියි. පුතාගේ උපන්දිනේටත් මම ලස්සනම කේක් එකක් ගෙදර හදනවා. ඒ කඩෙන් ගන්න බැරි නිසා නෙවෙයි. අපිට තියෙන හැකියාවන් අපි හඳුනාගෙන ඒවා ප්‍රායෝගික ජීවිතයට එක්කරගත්තම ජීවිතේ බොහොම අපූරුවට දැනෙන්න ගන්නවා. ගෘහණියක් විදියට, මවක් විදියට, බිරිඳක් විදියට මට ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. ඒත් හැමදාම සතුටින් ජීවිතය ගෙවන්න ඕන පරිසරය අපි විසින්මයි සකස් කරගන්නත් ඕන. අපේ ගෙදර ඇතුළේ ඒ පරිසරය තියෙනවා. අපේ හිත්වලට සතුට ගෙනෙන්න අපේ ගෙවත්තේ හරිත පැහැයත් අපිට ලොකු උපකාරයක් කියනෙක නොකියා බැහැ.”
සාර්ථක ගෙවතු වගාවක් ආර්ථිකයටද සවියක් බව අමුතුවෙන් කිව යුතු නැත.
“පසුගිය කාලේ කහ හිඟවුණා. ඒ කාලේ වෙනකොට මම ගෙවත්තේ කහ වගා කරලා තිබුණේ. ඒ නිසා කහ සොයමින් වෙහෙස වෙන්නවත් මිල වැඩියි කියලා ලතවෙන්නවත් ඕන වුණේ නැහැ. අදටත් අවුරුද්දට වරක් අල ටික ගලවලා ගෙදරට අවශ්‍ය කහ ටික හදාගන්නවා. වගාව සරු කරගන්න මම ඉවතදාන කෙසෙල් ලෙලි, බිත්තර කටු පොහොරක් විදියට හදාගන්නවා. ඒ වගේම මම පොලිතින් ප්ලාස්ටික් පුළුස්සලා පරිසරයට හානි කරන්නෙත් නැහැ. අපේ ගෙදර අවට හරිම සංවේදී පරිසරයක් තියෙන්නේ. වත්තේ හැමතැනම සමනල්ලුත් ඉන්නවා. කුරුල්ලොත් ඉන්නවා.”
ඒ පරිසරය ඇයගේ හිතට ගෙනෙන්නේ සතුටත් සැහැල්ලුවත්ය. නිදහසේ ඒ සතුට විඳිමින්, ඒ සුන්දර ගෙවත්ත තවත් සුන්දර කරගැනීම ඇයගේ අදිටනයි.
දීපා වසන්ති එදිරිසිංහ