මම කොස්වලින් කේක් හදන්න පටන් ගත්තේ අවුරුදු පහකට කලින්
අලුත් දේවල් ගැන හිතන්නටත්, අලුත් අත්හදාබැලීම් කරන්නටත් කෙනෙකුට සිතේනම් ඒ තුළ ඇත්තේ රටට අවැසි නිර්මාණශීලීත්වයයි. බොහෝවිට ව්‍යවසායකයන් බිහිවෙන්නේ ඒ නිර්මණශීලීත්වය තුළිනි. එලෙස නව ආරක ගිය දිවානි වැලිතරගේ හරි අපූර්ව ආහාර වට්ටෝරු ගොන්නක්ම රටට හඳුන්වා දී ඇත.
“මට සහෝදර සහෝදරියෝ නෑ. ඉතින් අම්මා උයද්දි මමත් කුස්සියට ගිහින් අම්මට අත්උදව් දෙනවා. ඒත් මට ඕන වුණේ අම්මා හදන කෑමවලට වඩා වෙනස් කෑම හදන්න. උදාහරණයක් විදියට කොස් තම්බලා හරි ව්‍යංජනයක් විදියට හරි කන්න තමයි අපි වැඩිපුර පුරුදුවෙලා ඉන්නෙ. මට හිතුණා කොස් පිටි කරලා කේක් හදන්න, රොටී හදන්න පුළුවන් නේද කියලා. ඒ හිතුණා වගේම ඒකට හිතගිය තවත් කාරණයක් තමයි අපේ ගෙදර වත්තේ තිබුණ කොස් ගහේ පළමු වාරෙට ගෙඩි ගොඩක් හැදුන එක. ගෙදර කාලා, තව කාටහරි දුන්නත් ගොඩක් කොස් අපතේ යනවා. මට ඒ වෙලාවේ හිතුණා කේක්, පිට්ටු, මෆින්, වණ්ඩු, පකෝරා, චිප්ස් විදියට අගය එකතු කළ ආහාර හැදුවොත් ඒකෙන් ආදායමක් ලබන්නත්, ගුණ පිරුණු ආහාරයක රසය බලන්නත් පුළුවන් නේද කියලා.”
දිවානිගේ පදිංචිය ගම්පහ දිස්ත්‍රික්කයට අයත් රදාවඩුන්න ගම්මානයේයි. නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලද ඇය ඖෂධවේදිනියක ලෙස කලක් රැකියාවක නියැලුණාය. එහෙත් ඇගේ හිත තිබුණේ දේශීය කෑමබීමට අලුත් යමක් එක්කරන විදියක් ගැන සිතමිනි.
“මම කොහේහරි ගමකට ගියත් අලුත් කෑම මොනවද කියලා හෙව්වා. ඒ හොයන එක ඇතුළේ දේශීය දේවල් ගැන තමයි මට උනන්දුවක් තිබුණේ. අල වර්ගයක් දැක්කත් මම ඒකෙන් හදන්න පුළුවන් කෑම වර්ග මොනවද කියලා කල්පනා කරනවා. ගෙදර ඇවිත් ඒවා අත්හදා බලනවා.”
පර්චස් විසිපහක ඉඩකඩ තුළ කොළපළා ඇතුළු විවිධ බෝග වර්ග වගාකර ගන්නටද දිවානිට ඉඩකඩ ලැබිණි. දඹල, මෑ, පිපිඤ්ඤා, බෝංචි, ගෝවා, බටු වැනි එළවලුත්, කංකුං, මුකුණුවැන්න, නිවිති වැනි කොළපළා වර්ගත් දන්දිල, ඉන්නල වැනි අල වර්ගත්, තියඹරා ආදියත් ඇයගේ ගෙවත්ත තුළ යහමින් වගා කර ඇත. ඒ ඇතැම් එළවලු වර්ග ලුණු දමා වේලා පසුව ගන්නට සකසා තබන බවද ඇය කියන්නේ ආහාර සංරක්ෂණයේ වැදගත්කම ගැන එතරම් නොසිතන අයෙකුට වුවද අලුත් අදහස් ගෙනෙමිනි. ඒ අතර ‘බත් ගස’ ලෙස පැරැණ්ණන් හැඳින්වූ කොස් ගහේ පලදාව දිවානි සිතන්නේ ආශිර්වාදයක් ලෙසිනි.
“මම මීට අවුරුදු පහකට වගේ කලින් ඉඳලා තමයි කොස්වලින් කෑම හදන්න පටන් ගත්තේ. පසුගිය කොරෝනා පළමු රැල්ල කාලේ මං හදපු ආහාර වට්ටෝරු බොහෝදෙනෙක් අත්හදා බලලා තිබුණා. ඩෙවල් වර්ග, චිප්ස්, කොස් මදුලු පුරවලා උයන හැටි වගේම කේක් හදන හැටිත් හඳුන්වා දුන්නා. ඒ එක්කම මම ගෙදර ඉඳන් කොස් කේක් පුංචි ව්‍යාපාරයක් පටන්ගත්තා. ලැබෙන ඇණවුම්වලට අනුව දැනටත් ඒ කටයුතු කරනවා. කොරෝනා කාලේ වගේම මේ දවස්වලත් කොස් වැඩිපුර ලැබෙනවා. ඉතින් අලුත් කෑම වට්ටෝරු කිහිපයක් මේ දිනවල අලුතින් අත්හදා බැලුවා. කොස්වලින් හදන හැලප, සුදු ආප්ප, පෑන්කේක්, පරාටා වගේම වඩේ වුණත් හරිම රසවත් කියලා කියන්න ඕන. කොස්වලින් හදන කෑම රසවත් වගේම මෘදු ගතියෙන් යුක්තයි. ඊට හේතුව කොස්වල ස්වභාවික පිපුම්කාරකයක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඒ වගේම කිසිඳු අගුණයක් නැහැ. කොස් වේළලා පිටි කරලා වුණත් හදාගන්න පුළුවන් ආහාර වර්ග රැසක් තියෙනවා. පෑන්කේක්, පරාටා, වඩේ දැක්කම ඇසට ප්‍රිය වගේම පිටි කෑම අහිතකර කෙනෙකුට වුණත් මේ කෑම අහිතකර නැහැ. ලොකු වියදමක් යන්නෙත් නැහැ. මේ දවස්වල අපි ජීවන බර ගැන ගොඩක් කතා කරනවා. වඩේ එකක් කාලා කඩෙන් ප්ලේන්ටියක් බිව්වොත් අද අපිව විකිණෙන තරම් කියලා කතාවට කියනවා. ඒ වගේම මේ කාලය බොහෝදෙනෙකුට ජීවත්වෙන්න බැරිතරමට ජීවන බර වැඩියි. ඒ කොහොම වුණත්, වත්තේ පිටියේ වවාගන්න පුළුවන් දෙයක් වවාගෙන කොස් ගෙඩිය, දෙල් ගෙඩියක් අපතේ නොයවා ආහාර සුරක්ෂිත කරගැනීම ගැන හැම කාන්තාවකටම පුංචි හරි අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඒකට හැම කෙනෙක්ම මේ වගකීමෙන් කටයුතු කළ යුතු කාලයක්. ඒක වචනයකට සීමා නොකර කොස්, අල, බතල උපයෝගී කරගෙන කෑමබීම හදන්න හැකියාවක් තියෙනවානම් තමන්ගේ නිෂ්පාදනයක් අලෙවි කරලා ආදායමක් ලබාගන්න එක හිතට සතුටක්. පවුලේ ආර්ථිකයටත් එය ශක්තියක් වේවි කියලයි මම හිතන්නේ.”
දිවානි අලුත් ආහාර වට්ටෝරු අත්හදා බලන්නේ තමන්ගේම ආකාරයට වුවත් ඇය ආහාර කලාව ගැනත්, කෘෂිකර්මය ගැනත් දැනුම සොයා යන්නේ ඒ ගැන තව තවත් උනන්දුවෙනි.
“මට තවම කොස්වලින් ඉඳිආප්ප, ලැවරියා වගේ කෑම හදන්න බැරිවුණා. එම ආහාර වට්ටෝරුවත් මේ දිනවල අධ්‍යයනය කරමින් ඉන්නේ. ඇත්තටම කොස් කියන්නේ ලෙඩරෝග ගණනාවකට ගුණදායක ආහාරයක්. එහි ඉරි, ඇට පවා අපතේ නොයවා ආහාරයට එක්කරගත හැකියි.”
දිවානි මුහුණුපොතෙනුත්, සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙනුත්, කොස්වලින් සාදාගත හැකි ආහාර වර්ග හතළිහක් පනහක් පමණ දැනට ඉදිරිපත්කොට තිබේ. එවා අත්හදා බලමින් රස ගුණ කියන මිතුරු ලැයිස්තුවක්ද ඇයට වෙයි. ඉන්ද දිවානි ලබන්නේ සතුටකි.
“මම අදහස් කරලා තියෙනවා මේ අමාරු කාලය තුළ මගේ පුංචි කේක් ව්‍යාපාරය අලුත් විදියට පටන්ගන්න. ඒ වගේම ගෙවත්තේ ඉඩකඩ තුළ වගාවක් කරලා, ලබන සැනසුම සතුට හිතට ඔසුවක් වගේ.”
සැබෑවටම හිත ඇත්නම් මේ කියන සතුට සැනසුම ඔබටද දුර ඈතක නොවනු ඇත.
දීපා වසන්ති එදිරිසිංහ