සත්තුවත්ත ඇතුළෙත් සත්තුන්ට නිදහසේ ඉන්න පුළුවන් වටපිටාවක් මම හදනවා
කුකුළත් අතේ තියාගෙන උදේ පාන්දරම ගමන පිටත්වෙච්චි අපි රිදියගමට ළඟා වෙනකොට වෙලාව උදේ නවයයි තිහට විතර ඇති. මේ පළාත බොහොම අව් කාශ්ඨකයි. ඉතින් ගමනාන්තයට ළඟා වෙනකොට මම වගේම අපේ අනිත් පිරිසත් තරමක් වෙහෙසට පත්වෙලා. හැබැයි බොහොම ආසා හිතෙන වැඩකටයුත්තක් හිතේ තියෙද්දී රෑට නින්ද යන්නේ නැහැයි කියලා අර කතාවක් තියෙන්නේ. ආන්න ඒ වගේ තමයි ගමන ගැන තිබුණ ආසාව අපේ ගමන් විඩාව යටපත් කරන්න තරම් ප්‍රබල වුණා.
ලංකාවට සිංහ දේශය කියලා කිව්වට අපේ රටේ තියෙන කැලෑවලදිවත් එළිමහන් පරිසරවලවත් අපිට සිංහයෝ දැකගන්න ලැබිලා නැහැනේ. ඉතින් අපිට එළිමහනේ සිංහයෝ දැකගන්න ලැබෙන එකම තැන තමයි රිදියගම තියෙන මේ ‘රිදියගම සෆාරි උද්‍යානය.’ සෆාරි උද්‍යානයේ වටපිටාවේ සිරියත් විඳින ගමන් අපි මුණගැහෙන්න පැමිණි තැනැත්තියගේ කාර්යාලයට ළංවුණා.
ඇය ශර්මිලා රාජපක්ෂ. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරිය ඇයයි. රිදියගම සෆාරි උද්‍යානය, දෙහිවල සත්ව උද්‍යානය එතකොට පින්නවල අලි සංරක්ෂණාගාරය සහ පින්නවල අලි අනාථාගාරය යන ආයතන හතරේම සියලුම පරිපාලන කටයුතු දරන්නී ඇයයි.
සොඳුරු ඇයත් එක්ක අද ‘ධරණි’ කවරය හැඩ කරන්නේ සත්ව උද්‍යානයේ ඉන්න හුරතල් සිංහ පැටික්කී ඩෝරා. මීට කලින් පත්තරේක මුල් පිටුවක සිංහයෙක් ඉඳලා තියෙනවද කියලා නම් අපි දන්නේ නෑ. හැබැයි අපිට නම් මේක බොහොම විශේෂ අත්දැකීමක්.
ඩෝරා හරිම දඟයි. ඉතින් ඩෝරාව ආම්බාම් කරන්නත් ලේසි නැති නිසා ටිකක් අමාරුවෙන් හැබැයි ආසාවෙන් ඩෝරා එක්ක ‘ධරණී’ කවරෙට අවශ්‍ය ඡායාරූප ටික ගත්තු අපි උද්‍යානය ඇතුළේ ටිකක් ඇවිදින ගමන්ම ශර්මිලා එක්ක කතාවට වැටුණා.
ඩෝරා එක්ක ඉන්න බය නැද්ද?
‘‘අපෝ එහෙම බයක් නෑ. හැබැයි මෙහෙම හිටියට ඩෝරා හරිම දඟයි. වෙලාවකට අපිව හපනවා… ආදරේට.. මේ මගේ අත් පුරා තියෙන්නේ දත් පාරවල්.’’
ඈ කිව්වෙම දෑත් අපේ දිහාවට දික්කරන ගමන්. ඩෝරා විතරක් නෙමේ ශර්මිලා එක්ක මේ සත්ව උද්‍යාන හතරේම ඉන්න හැම සතෙක්ම බොහොම එකතුයිලු.
‘‘මේ ළඟදි ඉපදුණු නිවුන් අලි බබාලා දෙන්නත් මාත් එක්ක හරි එකතුයි. සජ්ජන, දිශා, නීලමනී ඔය කවුරුත් මාත් එක්ක වරු ගණන් සෙල්ලම් කර කර ඉන්නවා. ඒ කාගෙන්වත් මට කරදරයක් නෑ. සත්තුන්ට හොඳට ඉව තියෙනවනේ. ඉතින් සත්තුන්ට ආදරේ කවුද, නැත්තෙ කවුද කියලා එයාලා හොඳට දන්නවා.’’
ඒ කතාව ඇත්ත. ඉතින් සත්තුන්ට ආදරේ කෙනෙක්ට මේ වගේ තනතුරක් ලැබුණ එක කොච්චර හොඳද කියලා හිතන ගමන් මම ඇයට තවත් ප්‍රශ්නයක් යොමු කළා.
ෂර්මිලා බොහොම තරුණ කාන්තාවක්. මේ තනතුර ලැබෙද්දි මේ භාරදූර වගකීම ඉටු කරන්න පුළුවන් කියන විශ්වාසයක් හිතේ තිබුණද?’
‘‘කළමනාකරණය, ජාත්‍යන්තර සබඳතා වගේ අංශ කිහිපයකින්ම මම උසස් අධ්‍යාපනය හදාරලා තියෙනවා. ඒ වගේම ඒ සම්බන්ධ වෘත්තිය අත්දැකීම් රාශියක් මට තියෙනවා. ‘ෂර්මිලා ඔයාට මේ වගකීම බාරගන්න පුළුවන්ද? කියලා ජනාධිපතිතුමා දවසක් මාව කැඳවලා ඇහුවා.
එතුමා ඕනම කෙනෙක්ට වගකීමක් බාරදෙන්නේ ඒක බාරගෙන කරන්න පුළුවන් කියන විශ්වාසයෙන්. ඒ නිසාම මටත් මගේ ගැන ලොකු ආත්ම විශ්වාසයක් ඇතිවුණා.
මම වැඩ බාරගත්තේ ගිය අවුරුද්දේ. ඒ වෙනකොට සත්ව උද්‍යාන හතර ඇතුළෙම පරිපාලන ගැටලු ගොඩක් තිබුණා. සමහර සේවක සංගම් සහ විද්‍යාත්මක (මෙහෙයුම් කටයුතු) සේවකයන් අතරේ සංකීර්ණ ගැටලු තිබුණා.
ඒ වගේම තමයි මම බාරගන්නකොට සත්ව උද්‍යාන සියල්ලම කිසිම අදායමක් නොලබන රජයෙන් යැපෙන ආයතන බවට පත්වෙලා තිබුණේ.
ඉතාම කෙටි කාලෙකින් මේ ගැටලුවලට සාර්ථක විසඳුම් දෙන්න මට පුළුවන් වුණා. සේවයේ පිහිටලා පළවෙනි මාස දෙකහමාර ඇතුළේ ආයතනයේ තිබුණු සීමිත සම්පත් මගින් වාර්තාගත ආදායමක් පෙන්වන්න පුළුවන් වුණා. මේ සේරටම මට සත්ව උද්‍යාන සේවක මඩුල්ලේ සහාය ලැබුණු බවත් කියන්න ඕනේ.
සත්තුන්ගේ සුබසාධනය වෙනුවෙන් මම ව්‍යාපෘති කිහිපයක් පටන්ගත්තා. ඉන් එකක් තමයි ඇනිමල් එන්රිච්මන්ට් ව්‍යාපෘතිය.
සතුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම තමයි එහි අරමුණ. සතුන්ට දිනපතාම ව්‍යායාම කිරීම, කූඩු ඇතුළෙම ඔවුන්ට සෙල්ලම් කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීම, ලංකාවෙන් වඳවෙමින් පවතින සතුන් සහ ලංකාවට පමණක් ආවේණික සතුන් අභිජනනය කිරීම වගේ අනු ව්‍යාපෘති රැසක්ම මේ තුළ අන්තර්ගතයි.’’
හැබැයි සත්ව උද්‍යානවල ඉන්න සත්තුන්ව හරියට බලන්නේ නැහැ, එයාලට කන්න බොන්න දෙන්නේ නෑ කියලා සමාජයේ ලොකු කතාබහක් තියෙනවා නේද?
‘‘මම පුංචි කාලේ ඉඳලා සතුන් ඇතිදැඩි කරන, සත්තුන්ට ආදරේ කරන කෙනෙක්. ඒ වගේ දේවල් කරන්න මට නම් බැහැ. ඒ නිසා ඕකට මට දෙන්න තියෙන උත්තරේ ඒක තනිකරම බොරුවක් කියන එක.
සත්ව උද්‍යාන හතරේම සතුන් 5000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ ආහාරවලට විතරක් අපි වාර්ෂිකව මිලියන 460ක් වැය කරනවා.
සුමාන දෙකකට සැරයක් මම මේ සත්ව උද්‍යාන හතරම අධීක්ෂණය කරන්න යනවා. කොටින්ම කිව්වොත් සතෙක් අසනීප වෙලා කිව්වොත් මම අනිවාර්යයෙන්ම ඒ සතාව බලන්න යනවා. එයාලට පුංචි අසනීපයක් හැදුනත් අපි හැකි ඉක්මනින් ඔවුන්ව ප්‍රතිකාරවලට යොමු කරනවා.
පින්නවල අලි අනාථාගාරයේ ඉන්නේ බලෙන් අල්ලගත්තු අලි කියලා සමහරු කියනවා. නැහැ එතැන ඉන්නේ ආබාධිත වෙලා අසරණ වුණු අලි. මේ අසනීප තියාගෙන මේ සත්තුන්ට වැඩි කාලයක් කැලේ ජීවත්වෙන්න බැහැ. කෑමබීම්, බෙහෙත්හේත් ටික වෙලාවට වැටෙන නිසා මේ සත්තු දීර්ඝ කාලයක් මේ තැන්වල ජීවත්වෙනවා. සත්වෝද්‍යාන ගැන ඔය වගේ කතා පතුරුවන පිරිසක් ඉන්නවා. සත්ව සුබසාධනය ගැන කතා කරලා මුදල් හොයාගන්න එක තමයි ඔවුන්ගේ අරමුණ. ඒක ලොකු මාෆියාවක්. සත්ව සුබසාධනය ගැන කතා කරන හැමෝම එහෙමයි කියලා මම කියන්නේ නැහැ. හැබැයි එහෙම පිරිසකුත් ඉන්නවා කියලා මතක තියාගන්න.’’
හොඳම දේක වුණත් නරකම හොයන උදවිය ඉතින් මේ සමාජයේ සුලබයි. මේ සා සේවාවක් කළත් දැනටත් ඇයට එල්ලවෙන අභියෝගවල අඩුවක් නැති බව ඇය අපිත් එක්ක කීවේ බොහොම කණගාටුවෙන්.
‘‘ටිකක් ඇහැට කනට පේන කාන්තාවකට අඩු වයසෙන් තනතුරක් ලැබුණම වටේපිටේ ඉන්න අයට ඒක දරාගන්න අමාරුයි. මට මේ තනතුර ලැබුණු වෙලාවේ සමාජ මාධ්‍යවල මගේ ඡායාරූප දාලා බොහොම නොමනා දේවල් සටහන් කරලා තිබුණා. මම මේ තනතුරට ගියේ වැරදි පාරෙන් කිව්වා. සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනේ. කාන්තාවක් වීමවත්, වයසවත් ඒකට බාධාවක් නෙවෙයි. ඔය වගේ දේවල්වලදි කෑගහලා රණ්ඩුවලට පැටලෙන්න මගේ කැමැත්තක් නැහැ. ඉතින් මේ තනතුරට සුදුසුයි කියන එක බොහොම නිහඬව ක්‍රියාවෙන්ම මම ඔප්පු කරලා ඉවරයි.’’
එකිනෙකට වෙනස් ස්ථාන හතරක තියෙන සත්වෝද්‍යාන හතරක් අධීක්ෂණය කරන ගමන් පෞද්ගලික ජීවිතේ කළමනාකරණය කරගන්න එකත් පහසු වෙන්න විදියක් නෑ. ඒ නිසා ඒ ගැනත් අපි ඇයගෙන් අහලා බැලුවා.
‘‘මට අවුරුදු 13ක දුවෙක් ඉන්නවා. ඇයත් සතුන්ට හරිම ආදරෙයි. අපේ ගෙදර ඉන්න පූසෝ දෙන්නට ඇය කතා කරන්නේ නංගි, මල්ලි කියලා. ඇය ඇයගේ හැම වැඩක්ම තනියම කරගන්නවා. ඒක මට පහසුවක්. ඒ වගේම මගේ සැමියගෙනුත් මට විශාල සහයෝගයක් ලැබෙනවා. යම් යම් අභියෝග එනකොට මමත් යම් ආතතියකට පත්වෙනවා. ඒ හැම මොහොතකම මගේ පිටුපස ඉන්නේ ඔහු. ඒ වගේම මගේ අම්මගෙන් මට ලැබෙන සහාය ගැනත් මතක් කරන්න ඕනේ.
මේ හැමෝගෙම සහාය මැද තව දිගු ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා. සත්තු වත්තේ ඉන්න සත්තුන්ට නිදහස නැහැ කියලා ගොඩක් අය කියනවා. ඉතින් සත්ව උද්‍යාන ඇතුළේ වුණත් සතුන්ව නිදහස් විදියට තියාගන්න පුළුවන් ව්‍යාපෘතියක් අරඹන්න මට අදහසක් තියෙනවා. ඒ වැඩේ සාර්ථක වුණොත් සත්ව උද්‍යානවල සතුන්ව කූඩු කරන සංස්කෘතිය නැති කරන්න අපිට පුළුවන් වෙයි.’’
ඈ කීවේ සතුන්ගේ සුවසෙත පතන සියලුම දෙනාගේ හිතට අලුත් බලාපොරොත්තුවක් එකතු කරන ගමන්. ඉතින් ඈත් එක්ක කළ ඒ විශේෂ කතාබහ අවසාන කරලා ආයෙත් සැරයක් ඩෝරාගේ හුරතලෙත් ටිකක් බලලා එහෙම අපි රිදියගම සෆාරි උද්‍යානයෙන් කොළඹ ගමන පිටත් වුණා.
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම්