දෙපාරක් නොහිතා අත දරුවන්ටත් මඤ්ඤොක්කා කවන්න
ලක්මිණී පුංචි පුතුව රිජ්වේ ආර්යා ළමා රෝහලට ගෙන ගියේ, දින කිහිපයක් තිස්සේ වූ නොනවතින කැස්සට ප්‍රතිකාර ගන්නටය. දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරයා කී දෙයින් ලක්මිණීගේ දෙනෙත් තෙත්විය.
“අම්මේ අපි දරුවව හොස්පිට්ල් ඇඩ්මිට් කරමු… එයාගේ පෝෂණ තත්ත්වයත් හොඳටම දුර්වලයි. බෙහෙත් වේල් දෙක තුනක් ගනිද්දී කැස්ස හොඳවෙයි. ඒත් දරුවගේ කෑමබීම ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා.”
වෛද්‍යවරයාගේ හඬ කාරුණික නමුත්, ලක්මිණීට මතක් වූයේ ත්‍රිරෝද රැකියාවේ නියැලෙන සැමියා උපයන මුදලය. වෙනදාට දරු දෙදෙනා ඇතුළු හතරදෙනාට ජීවත්වෙන්නට ඒ මුදල ඇති වුවත්, දින දෙකක් හැර දින දෙක තුන ඉන්ධන පෝළිමේ සිටින්නට සිදුවෙද්දී, දවස ගෙවන්නට සිදුවන්නේ කෑවායින් නොකෑවැයින් බව කියන්නේ කෙලෙසද?
දරු පැටවුන්ට බිත්තරයක්, යෝගට් එකක්, කිරි වීදුරුවක් දෙන්නට නැතිකම නිසා දුක්වූ වාර වාගේම සැමියා සමඟ බහින්බස් වූ වාර ද ලක්මිණීට මතකය.
අද වනවිට මේ ප්‍රශ්න තම පවුලට, මුළුතැන්ගෙයට පමණක් සීමා වූ ඒවා නොවන බව ලක්මිණීට සිතුණේ, රෝහලේදී හමුවුණු අනෙක් අම්මලා සමඟ කළ කතාබහෙනි.
“දැන් ඉතින් චීස්, බටර් බබාලට දෙන්න බෑනේ… මම නම් වත්තේ ඉඩ තියෙන තැන්වල කොළ ජාති හිටෙව්වා. නිවිති එහෙම හරි ඉක්මනට හැදෙනවා. ඒවා දරුවන්ටත් හොඳයි.”
එක මවක් කියද්දී ලක්මිණීට සිතුණේ තමාත්, එසේ කරන්නට සිතා සිටි බවයි. එහෙත් දරු දෙදෙනාගේ වැඩත් සමඟ එය දිනෙන් දිනම අතපසු වූ බව ඇය සිතුවේ කණගාටුවෙනි.
මේ අතර ලක්මිණීගේ පුතු වාගේම විවිධ අසනීප නිසා ඒ වනවිට ළමෝ පනස්තුන් දෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ගනිමින් උන්හ. දින කිහිපයක සිට රෝහලට ඇතුළත් කරනු ලබන දරුවන්ගෙන් නිරීක්ෂණය වී තිබුණු කරුණු සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ නියැදි පරීක්ෂාවකට ලක් කිරීමට වෛද්‍යවරුන් තීරණය කරන්නේ මේ අතරය.
“එම සමීක්ෂණයට ඒ මොහොතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෝ පනස්තුන් දෙනාම අපි යොදාගත්තා. එහිදී අපට හඳුනාගන්න ලැබුණා ඉන් දරුවන් එකොළොස් දෙනෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා කියලා. එයින් තිදෙනෙක් උග්‍ර මන්දපෝෂණ තත්ත්වයට ලක්වෙලා වගේම, අදාළ සමීක්ෂණයට ගත් ළමුන්ගෙන් හරි අඩකගේ පමණ පෝෂණ තත්ත්වය සතුටුදායක මට්ටමක තිබුණේ නැහැ. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින් සහ ඛණිජ ලවණ ලැබීමේ අඩුව නිසයි දරුවන් මේ තත්ත්වයට මුහුණ දී තිබෙන්නේ.”
ඒ රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඒ පිළිබඳ කී කතාවය.
සැබෑවටම ගෙදර අඩුපාඩුකම් කොතෙක් තිබුණද වැඩෙන දරුවෙකුට අවශ්‍ය පෝෂණය නිසි පරිදි නොලැබුණහොත් එය දරුවාගේ වැඩීමට, අධ්‍යාපන මට්ටම් හීන වීමට මෙන්ම බුද්ධි වර්ධනයටද බලපානු ලබන බව වෛද්‍යවරයා සඳහන් කළේය.
ඒ වාගේම ළමුන්ට දෙන ත්‍රිපෝෂ පැකට්ටුවත් කාලයක සිටම නොලැබුණෙන් එයද මෙම වයසේ දරුවන්ගේ පෝෂණයට බලපෑවේය. ඇපල් ගෙඩියට, මිදි ගෙඩියට ඇතැම් දරුවන් හුරු කළද කෙසෙල් ගෙඩියක්, ගස්ලබු කෑල්ලක්, වෙරළු ගෙඩියක් කන්නට දරුවාට හුරුවක් හෝ කැමැත්තක් නැතුවා විය හැකිය.
“ඇත්තටම දරුවන්ට චීස්, බටර්, රට කිරි, රට පලතුරු දෙන්නම ඕන කියලා දෙයක් නැහැ. දියර කිරි වීදුරුවක්, බිත්තරයක්, නිවිති වෑංජනයක්, කතුරුමුරුංගා මැල්ලුමක් බත් එක්ක දෙන්න හැකිනම් එය ඉතා වටිනවා. කහ පාට එළවලු, පලතුරු, දඹල, මෑ, බඩඉරිඟු වගේ ආහාර කෑමවේලට එක්කර ගන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම කෙසෙල්, ගස්ලබු, නමිනං, ජම්බු වගේ පලතුරු දරුවාට ලබාදෙන්න පුළුවන්. ඒ වගේම දරුවාට අමතර ආහාර ලබාදීම මාස හයෙන් අරඹනවා. එතැනදි බත් වගේම අල, බතල කියන්නෙත් පිෂ්ඨය අඩංගු ආහාර. ඉතින් මඤ්ඤොක්කා, බතල වුණත් හොඳට තම්බලා, පොඩිකරලා මාස හයේ බබාට වුණත් දෙන්න පුළුවන්. එය කිසිසේත්ම දරුවට අහිතකර නෑ. ඒ වගේම මුරුංගා කොළ පෝෂණ ගුණයෙන් යුතුයි. මුකුණුවැන්න, ගොටුකොළ, නිවිති, සාරණ වගේ කොළ පළාවලත් ගුණය දරුවට ලබාදීම මේ මොහොතේ වැදගත් වෙනවා. ඊට හේතුව තමයි නෑ, බෑ කියලා දරුවන්ගේ පෝෂණය වැනි කාරණා උගසට තියන්න බෑ. මොන අර්බුදය ආවත් දරුවන්ගේ අනාගතය ගොඩනගන එක ඒ අමාරුකම් මැද්දේ වුණත් සිදුවිය යුතු දෙයක්. විශේෂයෙන්ම වැඩෙන දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතාව කියන්නේ මග නොහැරිය හැකි කාරණාවක්.”
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ නිසි කලට අවශ්‍ය නිසි පෝෂණය නොලැබුණහොත් අනාගතයේ රටට බිහිවන දරුවන් දක්ෂතා අතින්, හැකියාව අතින් පසුගාමී විය හැකි බවය. එමෙන්ම දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතා සපිරිය යුත්තේ මව්කුස සිටියදීමය. නොඑසේනම් බිහිවන දරුවාගේ වැඩීම වාගේම උස යෑමද අඩුය. එවිට ඉගෙනුම් දක්ෂතා අඩුවනවා වගේම නිතර රෝගාබාධවලට ලක්වීමේ ඉඩකඩද වැඩිය.
ඉකුත්දා වෛද්‍ය පර්යේෂණායතනය මගින් සිදුකළ සමීක්ෂණයකින්ද අනාවරණය වූයේ පාසල් ළමුන් දස දෙනෙකුගෙන් දෙදෙනෙකු මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බවයි. ඇතැම් පළාත්වල දරුවන් කුසගින්නේම පාසල් යන අවස්ථා තිබේ. ප්‍රාථමික ශ්‍රේණිවල ළමුන්ට දිවා ආහාරය ලබාදීම සිදුකළද, ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හා ගෑස් නැතිකම හේතුවෙන් එසේ ලබාදුන් ඇතැම් ආහාර වේල් නැවතී ගොසිනි. ඇතැම්විට කලින් ලබාදුන් පෝෂණීය ආහාරවේල වෙනුවට වෑංජනයක්, පොල් සම්බෝලයක් එක්ක එම ආහාරය ලැබෙන අවස්ථාද තිබේ.
මේ කොතැන අඩුපාඩුකම් සිදුවුවත් ගෙදර අම්මාට දරුවන්ගේ කුසගින්න වෙනුවෙන්, වැට මුරුංගා අත්තක් හෝ කඩාගෙන බත්පතට එක්කරන්නට සිදුවේ. බත් නැතිදාට කොස්, දෙල්, අල, බතල ගෙඩියකින් හෝ වේලක් පිරිමසා ගන්නට සිදුවේ. වත්තේ පිටියේ එක බිම් අඟලක් හෝ හිස්ව නොතියා මඤ්ඤොක්කා දඬුවක් හෝ සිටුවන්නට සිදුවේ. කෑම සපයා ගැනීමට වෙනදාට වඩා වෙහෙසෙන්නට සිදුවුවත් දුෂ්කර කාලයන් පසුකර යා හැක්කේ එය මගහැර යාමෙන් නොව ඊට හැකි පමණින් අභියෝග කිරීමෙනි. ලංකාවේ අම්මාවරුන්ට ඒ ධෛර්යය ඕනෑවටත් වඩා තිබේ. ඒ ඔවුන් තමන් කුසගින්නේ සිටියද දරුවන් කුසගින්නේ තියන්නට අකමැති බැවිනි.
දීපා වසන්ති එදිරිසිංහ