කළු කුමාරයා සොයා දෙන්නෙකුට ගෑස් සිලින්ඩරයක් නොමිලේ
ඒ කාලේ අනුරාධපුරේ රජකම් කරපු ‘පුවෝතල’ රජතුමාට ‘නීලමදන’ කියලා ඉතාම ජවසම්පන්න පුත් කුමාරයෙක් හිටියලු. ඉතින් පුත් කුමාරයගේ ජවසම්පන්නබව ගැන ආඩම්බරෙන් හිටපු රජතුමා සොලීන් සමඟ සටන් කිරීමේ භාරදූර කාර්යය පවරලා තිබුණෙත් මේ කුමාරයාට. මේ යුද්ධය අතුරතුරදී දවසක් නීලමදන කුමාරයාට ඉන්දියාවට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ සොලීන් විසින් පැහැරගෙන ගියපු අපේ රටේ තරුණයෝ දෙන්නෙක්ව බේරගෙන එන්න. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා අපි කතාවටත් කියනවනේ. ඉතින් ඉන්දියාවට යන ගමනේදී නීලමදන කුමාරයාටත් ඒ වගේ අකරතැබ්බයක් වෙලා තියෙනවා. පාර නොදැන ගියපු කුමාරයා එකපාරටම ඉන්දියාවේ කාන්තාවෝ විතරක් ජීවත්වෙන ප්‍රදේශයකට ගිහින් අතරමංවෙලා. දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙනවා කිව්වා වගේ පිරිමි පුළුටක් ඇහැ ගැහෙන්නේ නැතිව ඉඳපු මේ ගෑනු රැලම නීලමදන කුමාරයාව සිපගෙන තමන්ගේ වල්ලභයා කරගන්න පොරකෑවා කියලා තමයි ජනශ්රැතියේ සඳහන් වෙන්නේ. කොහොමින් කොහොමහරි මේ ගැහැනුන්ගේ හිංසාවට ලක්වුණ කුමාරයා එතැනදිම මියගිහිල්ලා තියනවා. හැබැයි මැරෙන මොහොතේත් කාන්තාවන් ගැන දැඩි වෛරයකින් මියගිය නීලමදන කුමාරයා ‘කළු කුමාරයා’ නමින් භූත ආත්මයක ඉපදිලා ස්ත්රීන්ට හිරිහැර කරනවා කියලයි ජනශ්රැතියේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ඒ කළු කුමාරයා ගැන කියැවෙන එක කතාවක්. මේ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් කළු කුමාරයා ගැන දැරුව තවත් මතයක්.
ක්‍රි.ව.හයවෙනි සියවසේදී රජකම් කරපු බුවනෙකබා චක්‍රවර්ති රජු යටතේ ඉන්දියාවේ විල්ලෝඩි ප්‍රදේශයෙන් ආපු කුමාරයෙක් මානවළු ප්‍රදේශය පාලනය කරලා තියෙනවා. මේ කුමාරයාගේ හම ඉතාමත් කළු පැහැයෙන් යුක්තයිලු. ඉතින් වැඩිකල් නොගිහින් ඔහුව මුළු රටේම ‘කළු කුමාරයා’ කියන නමින් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අනිත් කාරණාව තමයි මේ කළු කුමාරයා ඉතා දැඩි ලෙස කාමයට ගිජුවෙලා හිටපු, ස්ත්‍රී පහස ලබපු කෙනෙක්. ඔහුට බිසෝවරු තිස්දෙකකුත් ඉඳලා තියෙනවා. හැබැයි ඉතින් ඒ කොයිතරම් බිසෝවරු හිටියත් මේ කළු කුාමරයා විනෝදාංශයක් විදියට ප්‍රදේශයේ හිටපු තරුණියන්ට ලිංගික අතවර කළාලු. ඔය විදියට අධික රාගික ජීවිතයක් ගතකරපු කළු කුමාරයා මරණින් පස්සෙත් ස්ත්රීන්ට ලොල් කරන යක්ෂ ආත්මයක ඉපදිලා කියලා තමයි එතුමා කියන්නේ. ඒ වගේම මේ පිළිබඳව අනුරාධපුරේ රාජකුලවඩන විහාරයේ සෙල්ලිපිවලත් සඳහන් වෙලා තියෙනවා කියලා මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ඔහුගේ නිබන්ධනවලින් පෙන්නලා දීලා තියෙනවා.
ජනප්රවාදයට අනුව නම් කළු කුමාරයාගේ දෝෂයට ලක්වුණු කාන්තාවන්ට නින්දේදී ආහාර කවනවා, ලිංගික ආශ්වාදයත් ලබාදෙනවා. මේ නිසා ආහාර අරුචිය, පිරිමින් නොරුස්සනා ගතිය, උණ විකාරයෙන් කියැවීම සහ අඩනින්දෙන් අවදිව නිවසින් පිටවී යාම වගේ බොහෝ දේ සිද්ධ වෙනවා. ඒ වාගේම මේ කුමාරයා වැහුණට පස්සේ තරුණ කාන්තාවන්ගේ සිරුර කෘෂ වීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, දරුවන් නොලැබීම, මළ දරුවන් ඉපදීම මෙන්ම ගබ්සා වීම ආදී ව්යාධීනුත් වෙනවා. ඒ නිසාම මේ සියල්ලම ජ්‍යෝතිෂ්‍යයේදී කෙම්පහන්වලට (දෙහි කැපීම වැනි) ලක්වෙනවා. ඉතින් මෙච්චර හරියක් කරන මේ කළු කුමාරයා කවුද? භූත ආත්මක්ද? නැතිනම් මනඃකල්පිතයක්ද? කියන එක හරියටම දැනගන්න අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතාට කතා කළා.
‘‘ඔය කළු කුමාරයා ගැන අපේ ආචාර්ය මහාචාර්යවරුන් බොහෝදෙනෙක් නිබන්ධන රාශියක් කරලා තියෙනවා. ආචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්, ලයනල් බෙන්තරගේ සහ ඒ.පී.ද සොයිසා මහත්මයා වගේ අය බොහොමයක් ඒ අතර ඉන්නවා. හැබැයි ඒ හැම අධ්යයනයකම අවසානයට මේ කළු කුමාරයා සැබෑවක්ද? මනඃකල්පිතයක්ද කියන මතය ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා. ඒ කොහොම වුණත් කළු කුමාරයා කියන්නේ භූත ආත්මයක්ද කියලා කිසිම පර්යේෂකයෙක් තවමත් නිශ්චිතවම හොයාගෙන නෑ.’’
කතාව අතරතුර ඔහු විශ්වවිද්‍යාල ජීවිතයේ අත්දැකීමක්ද කියා සිටියේය.
‘‘දවසක් මගේ ශිෂ්‍යාවකගේ අම්මා කෙනෙක් මාත් එක්ක කතාබහ කරද්දී කියපු දෙයක් තමයි මේ ශිෂ්‍යාව ඉතාමත් අසාමාන්‍ය විදියට ප්‍රේම සබඳතා සහ විවාහ යෝජනා ප්‍රතික්ෂේප කරනවා කියන එක. ඉතින් මේක මේ පවුලේ උදවියට හරිම ප්‍රශ්නාර්ථයක් වෙලයි තිබුණේ. ඒ අය ඇගෙන් විවාහය ගැන අහපු හැම වෙලාවකම ඇය කියලා තිබුණේ කසාද බැඳලා අතින් කටින් දරුමල්ලෝ එල්ලගෙන ඉන්න ජීවිතයක් ඇයට එපා කියලා. ඒ වගේම ඇයට මැරෙනකල් නිදහසේ ඉන්න දෙන්න කියලා. අන්තිමේදි කොහොමින් හරි මේ ශිෂ්‍යාවට කසාදයක් කරලා දෙන්න හිතලා මේ අය අර ළමයගේ කේන්දර කොපියක් අරගන දේවාල තුන හතරකටත් ගිහිල්ලා තියෙනවා. ඒ ගියපු එක තැනකින් කියලා තියෙන දෙයක් තමයි මේ දැරිවිට තදබල විදියට කළු කුමාර දෝෂය තියෙන නිසා පිරිමින්ව ප්‍රතික්ෂේප කරනවා කියන එක. ඒ වගේම තොවිල් පවිල්, ශාන්තිකර්ම කිහිපයක් කළාට පස්සේ මේ කළු කුමාර දෝෂය ශරීරයෙන් පහවෙලා ඇය විවාහයකට කැමති කරගන්න පුළුවන් කියලත් පවසලා තිබුණා. පස්සේ ඉතින් ඒ කියපු විදියටම ඇගේ වැඩිහිටියෝ ඒ අවශ්‍ය තොවිල් වගේම අනිත් ශාන්තිකර්මත් අඩුවක් නැතුව කරලා තිබුණා. ඒ වුණාට ඊටපස්සෙත් ඔය කියන ශිෂ්‍යාව විවාහයකට කැමතිවෙලා තිබුණෙ නෑ. අන්තිමේදි කරන්නම දෙයක් නැතිකමට ඇයගේ අම්මා බොහොම යාප්පුවෙන් රහසිගතව විවාහයට අකැමති වෙන්න වෙනත් මොකක් හරි ගැටලුවක් තියෙනවස කියලා ඇයගෙන් ප්‍රශ්න කරලා තිබුණා. එහෙම ඇහුවම තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ ඇයට අධික ලෙස සුද යාමේ ලිංගාශ්‍රිත රෝගයක් තියෙනවා කියලා. ප්‍රේම සම්බන්ධයක් හරි විවාහයක් හරි කරගත්තොත් පෙම්වතා හෝ සැමියා ඇයව පිළිකුල් කරලා දායි කියන බයෙන් තමයි ඇය පිරිමි සම්බන්ධතා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. පසුව ඇයව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් ළඟට එක්කගෙන ගිහිල්ලා සුව කරාට පස්සේ ඇය විවාහ යෝජනාවකට කැමති වෙලා තිබුණා.’’
ඒ පිළිබඳව විවිධ ප්‍රදේශවල අය දරණ මතවාද, කරන නොයෙකුත් ශාන්තිකර්ම මෙන්ම විවිධ වූ ප්‍රතිකාරයන් ගැනත් ඔහු සඳහන් කළේ මේ ආකාරයට.
‘‘කාන්තා ශරීරය තුළ විවිධ කාලවලදී, හෝර්මෝන ක්රියාකාරීත්වයන් වෙනස් වෙනවා කියන එක වෛද්‍ය විද්‍යාවට අනුව සනාථ වුණ දෙයක්. ඉතින් බොහෝ ආචාර්ය, මහාචාර්යවරුන් වගේම මානව විද්‍යාඥයින්ගේ පර්යේෂණවලිනුත් ඔප්පු වෙලා තියෙන කාරණාවලට අනුව නම් මේ කළු කුමාර දෝෂය කියන්නෙත් අන්න ඒ වගේ හෝර්මෝන වෙනස්වීමත් එක්ක ඇතිවෙන මනෝ රෝගයක්.
ඔය ආහාර රුචිය, පිරිමින් නොරුස්සන ගතිය, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම වගේම සිරුර කෘෂ වීමත් ඒ හෝර්මෝන වෙනස්වීම්වල ප්‍රතිඵල කියලයි ඒ අය කියන්නේ.
ඒ වගේම පුරුෂ පාර්ශවයේ බොහෝ අය අපිත් එක්ක කියන කාරණාවක් තමයි තමන්ගේ බිරිඳට ඔසප් දින ළංවුණාම, ඔසප් දිනවලදී සහ ඔසප් වීම අවසන් වෙලා දින දෙක තුනක් යනතුරුත් ස්වාමිපුරුෂයාව පේන්නේ නයාට අඳුකොළ වගේ කියලා.
ඕකටත් මම අත්දැකීමෙන්ම හොඳ කතාවක් කියන්නම්. මගෙන් අධ්‍යාපනය ලබපු නිතරම වගේ මාව බලන්න එන යන ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයෙක් හිටියා ඔහු විශ්වවිද්‍යාලේ අධ්‍යාපන ලබපු කාලෙදිත් ඔහුට තනියම නිරාකරණය කරගන්න බැරිවුණ අතිශය පෞද්ගලික ගැටලු පවා මාත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් විසඳගත්තු කෙනෙක්. ඉතින් මෙයා දවසක් මාව මුණ ගැහෙන්න ඇවිල්ලා කිව්වා සර් මට අර යක්ෂ ගෑනි එක්ක පවුල් කාලා ඇතිවෙලා තියෙන්නේ මට ඒකිගෙන් දික්කසාද වෙන්න ඕන කියලා. පස්සේ මම ඇහුවා එකපාරටම දික්කසාදෙකට යන්න හේතුව මොකක්ද කියලා. ඒ වෙලාවෙදි ඔහු මට කිව්වේ බිරිඳ මාසෙකට සති එකහමාරක් දෙකක් ඔහු එක්ක කිසිම හේතුවක් නැතුව ගහ මරාගන්නවා කියන එක. ඒ විතරක් නෙවෙයි ඒ සතිය දෙක ඇතුළේ රෑට නිදාගන්නවත් ඔහුට ඇඳට එන්න දෙන්නෙ නෑලු, අතපය ඇඟේ වදිනකොට අමාරුයි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මාසෙට සති දෙකක්වත් ඔහුට බිම නිදාගන්නම වෙනවලු. බැරිම තැන ඔහු අමතර මෙට්ටයකුත් ගෙදරට ගිහින් දාගෙන තිබුණා. ඔහු කියපු විදියට නම් ගෙදර වැඩිහිටි උදවියටත් මේ ගැන තේරිලා ඔවුන් පවා මේකට විසඳුම් හොයන්න දේවාලවලට, ජ්යෝතිෂ්යවේදියෝ ළඟට ගිහිල්ලා තිබුණා. පස්සේ එහෙම ගියපු තැනකින් කියලා තිබුණේ ඔහුගේ බිරිඳගේ ශරීරයට කළු කුමාරයා බැල්ම දානවා කියලා. කළු කුමාරයා ඇගේ ශරීරයට ආසාවෙන් ආදරෙන් ඉන්න නිසා සැමියට ඇගේ ළඟට එන්න දෙන්නෑ කියලා තමයි කියලා තිබුණේ. මේ කළු කුමාර බැල්ම නැති කරන්න තොවිලයක් නටලා තවත් ශාන්තිකර්ම කීපයකුත් කරන්න කිව්වලු. හැබැයි එච්චර කාලෙකට ඔහු කිසිම වෙලාවක තමන්ගේ බිරිඳට සමීපවෙලා මේ ගැන කතාබහ කරලා තිබුණේ නෑ. පස්සේ මම දීපු උපදෙස්වලට අනුව ඔහු මේ ගැන බිරිඳ එක්ක හොඳින් කතාබහ කරලා තිබුණා.
එහෙම කතාබහ කළාට පස්සේ තමයි ඇය කියලා තිබුණේ අගේ මාසික ඔසප් දිනවලදී රුධිර වහනය වෙද්දී ඇයට අධික ලෙස තරහා යනවා කියන එක. ඒ වගේම ඒ දින අවසන් වෙනකම්ම නිදියහනේදි ඇයට ඔහුගේ අතපයක් වදිනවටවත්, වැඩිපුර කතාබහ කරනවටවත් කැමති නෑ කියලා. ඉතින් බලන්න මේ කතාබහ කරලා විසඳගන්න පුළුවන් ප්‍රශ්නනේ කොහෙවත් ඉන්න කළු කුමාරයෙකුට භාරදීලා තියෙන්නේ.’’
එමෙන්ම පිරිමින්ට බලපාන මෝහනී සංකල්පයද කාන්තාවන්ගේ මෙම කළු කුමාර දෝෂයටම සමාන එකක් බවයි ඔහු අපට කීවේ. විවිධ පර්යේෂණවල ප්‍රතිඵලවලට අනුව මේවා සංගීතය, නැටුම්, චිත්‍ර, වර්ණ මෙන්ම ශබ්ධ චිකිත්සක ප්‍රතිකාර මගින් සුව කළ යුතු මනෝ රෝග ලෙස හඳුනාගෙන තියෙනවා.
‘‘දකුණු පළාතෙත් කළු කුමාර දෝෂය වෙනුවෙන්ම නටන කළු කුමාර සමයම කියලා ශාන්තිකර්මයක් තියෙනවා. ඒ වගේම කළු කුමාර දිෂ්ඨිය කියලා පැරණි පොතකුත් ලියැවිලා තියෙනවා. මේ හැම එකකදිම වගේ කරන්නේ සද්දෙට බෙරයක් ගහලා වන්නමක් නටලා දෙහි ගෙඩියක් කපලා නූල් ටිකක් දාන එක. අන්න එතකොට කළු කුමාර දෝෂය සුව අතට හැරෙනවා. නමුත් මේ දේවල් කොයිතරම් දුරට අද සමාජයට ගැලපෙනවද නැද්ද කියලා නම් දන්නේ නෑ. ඒ කොහොම වුණත් මේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එකේ වරදක් නෑ.’’
ඒ කෙසේ වෙතත් කළු කුමාරයා නිසා එදා මෙන්ම අදත් කාන්තාවන්ට සමාජයේදී සිදුවන අතවරවලින් බේරීමට බොහෝදුරට හැකි වී ඇති බවයි මහාචාර්යවරයා පවසන්නේ.
‘‘එදා විතරක් නෙවෙයි අදත් සමහර වැඩිහිටියෝ තරුණගෑනු දරුවන්ට ගොම්මන් වෙලාවට තනිපංගලමේ ඇළ දොළවල් ළඟ නාන්න එපා කියන්නේ, දොට්ට පිලට යන්න එපා කියන්නේ, බෝක්කු තුංමන්හන්දි පහු කරන් ගමන් බිම්න් යන්න එපා කියන්නේ කළු කුමරයා බැල්ම දායි කියලා. නමුත් ටිකක් හිතලා බලන්න ඇත්තටම අදත් ඇඳිරි වැටිච්ච වෙලාවට එළිපහලියට ගිය තරුණියන්ට ලිංගික අතචර කරලා මරලා බෝක්කු කාණු පල්ලේ දාලා ගියේ කළු කුමාරයාද නැත්නම් රස්තියාදු ගහන කුමාරවරුද කියලා. හැබැයි හැන්දෑවෙ හයෙන් පස්සේ එළියට බැස්සොත් කළු කුමාරයාගේ බැල්ම වැටෙනවා කියන බයට ගෑනු දැරිවියෝ තනිපංගලමේ යන්නේ නෑ. එතකොට ඉබේටම ඒ අයගේ ආරක්ෂාව සැලසෙනවා. ස්ත්‍රී දූෂණ අඩු වෙනවා. එහෙම බැලුවම කළු කුමාරයා කාන්තාවන්ට වින කටින්න ආපු යකෙකුට වඩා කාන්තවන්ව රකින්න ආපු මනඃකල්පිත යකෙක් විදියට සලකන්න පුළුවන්.’’
කළු කුමාර දෝෂය දරුඵල අහිමිවීමට බලපාන ආකාරය ගැනත් ඔහු කීවේ මෙවැනි කතාවක්.
‘‘මම හදිසි අවස්ථාවලදී ගමන් බිමන් ගියපු සමීප කුලීරථ රියැදුරෙක් හිටියා. ඔහු ඉතාමත් තරුණ වයසේදී විවාහ වුණත් අවුරුදු තිස්පහකට ආසන්න වෙනකම්ම දරුවෙක් හදාගන්න බැරිවෙලා තිබුණා. ඔවුන් දෙදෙනාව පරීක්ෂා කරලා බලපු හැම වෛද්‍යවරයෙක්ම කියලා තිබුණේ දෙදෙනාමට දරුවෝ හදන්න පුළුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවා කියලා. නමුත් ඉතින් එහෙම වෙලත් දරුවෝ නැති නිසා ඔහුගේ බිරිඳ දන්න දන්න හැම ජ්‍යෝතීර්වේදියා ළඟටම ගිහිල්ලා මේකට පිළියම් හොයලා තියෙනවා.
පස්සේ එක ජ්‍යෝතීර්වේදියෙක් ඇයට කියලා තියෙනවා ඇගේ ශරීරයට කළු කුමාරයා බැල්ම හෙළන නිසා ගර්භාෂය ඇතුළෙදිම කළල විනාශ වෙනවා කියලා. ඕකටත් කලින් සිද්ධිවල වගේම ලොකු ශාන්තිකර්මයක් එහෙමත් කරලා තියෙනවා. නමුත් මේ රියැදුරා මට කිව්වේ වෙනම කතාවක්. ඔහු කියන විදියට ඔහුගේ බිරිඳ හරිම අපිරිසිදුයි. මුළු දවසම වැඩපල කරලා ඇය අඩුම තරමින් රෑට නින්දට යද්දිවත් ඇඟපත හෝදලා පිරිසුදු වෙන්නේ නෑලු. ඒ ගැන කිව්වම ඇයගේ උත්තරේ වෙලා තියෙන්නේ අවුරුදු ගාණක් එකට නිදාගන්න මිනිහා ළඟට රෑට නිදාගන්න මේකඅප් දාලා එන්න ඕනද කියන එක. ඉතින් ඇයගේ මේ අපිරිසිදුකම නිසා ඔහු යහපත් මානසිකත්වයකින්, කැමැත්තකින් ලිංගික කාර්යයේ යෙදිලා තිබුණෙ නෑ. නමුත් අර ජ්‍යෝතිෂ්‍යවේදියා කියපු විදියට දවස් විසිඑකක් නාලා පිරිසිදු වෙලා අවශ්‍ය ශාන්තිකර්ම කළාම ඊට මාසෙකට විතර පස්සේ ඇය ගැබිනියක් කියලා දැනගන්න ලැබිලා. මෙතැනත් ගැටලුව වෙලා තියෙන්නේ ඇගේ අපිරිසිදුකම නිසා සැමියා ඇයව ප්‍රතික්ෂේප කිරීම මිසක් කළු කුමරයාගේ දෝෂයක් නෙවෙයි. ඒකනේ පිරිසිදුවට හිටපු කාලය ඇතුළත ඇගේ කුසට දරුවෙක් ආවේ.’’
ගැහැනුන්ට පිරිමි රුස්සන්නේ නැති එකටයි, දරුවන් නොලැබෙන එකටයි, ඇඟ කෙට්ටු වෙන එකටයි හැමදේටම කළු කුමාරයාට දොස් කියන්න කලින් ටිකක් බුද්ධිමත් විදියට හිතන්න. ඊටපස්සේ තමන්ගේ ගැටලුව කායික එකක්ද මානසික එකක්ද කියන එක හරියට හඳුනගෙන කායික හෝ මනෝ වෛද්‍යවරයෙකුගෙන් නිසි ප්‍රතිකාර ගන්න.
මේ කියන විදියට සමහර ගෑනු උදවියට අසනීප, අපිරිසිදුකම් වගේ දේවල් වහන් කරගෙන ඉන්න ලැබිලා තියෙන්නේ ඔය කළු කුමාරයා නිසා. අනික කළු කුමාරයට බයේ හැන්දෑවේ තනියම එළියට නොබහින ගෑනු ළමයි කළු කුමාරයා නිසාම කොච්චර රැකිලා ඇත්ද? කට්ටඬියෝ, ඇදුරෝ, ජ්‍යෝතිෂ්‍යකාරයෝ කොච්චරක් හම්බ කරගෙන ඇත්ද? එහෙම බලද්දි තොවිල් නටලා එළවගන්න නෙවෙයි කළු කුමාරයා ඉන්න තැනක් හොයලා කකුල් දෙක අල්ලලා වැන්දත් පාඩු නෑ.
ලිහිණි මධුෂිකා