දරුවන්ට ඇත්තටම ආදරෙයි නම් මේ වරද කරන්න එපා
“පවුලටම ඉන්න එකම දරුවටවත් බෙහෙත් ටිකක් දෙනකොට මීට වඩා පොඩ්ඩක් හරි සැලකිල්ලක් තියෙන්න ඕන කියලා ඔයාට නිකමටවත් හිතුණෙ නැද්ද සඳමාලි?”
බෙහෙත් පෙත්තක් උගුරේ හිරවීමෙන් තමන්ගේ එකම දරුවව රෝහල්ගත කරන්න සිද්ධවුණු නිසා සඳමාලි වගේම සැමියා අතුලගේ හිතටත් සැනසීමක් තිබුණේ නෑ.
“මදැයි ඔයින් ගියා. අම්මා කෙනෙක් වැඩ කරන්නේ ඔය විදියටද? දරුවෙකුගේ වැඩක් හරියකට කරගන්න දන්නෙ නැත්නම් අඩුම තරමින් දන්න කෙනෙකුගෙන් අහන්නවත් තිබුණා නේද?” කියලා රට්ටු කියන කතා සඳමාලිගේ පපුවට පිහියෙන් අනින්නා වගේ වුණා.
මොකක්දෝ පෙර වාසනාවකට දරුවගේ ජීවිතයට හානියක් නොවුණත් සඳමාලිටත් අතුලටත් වෛද්‍යවරුන් අවවාද කළේ දරුවන්ට ඖෂධ ලබාදීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලයි.
නම් ගම් මනඃකල්පිත වුණත් සඳමාලිගෙත් අතුලගෙත් කතාව ඇත්තම ඇත්ත එකක්. මේ කතාව අපිත් එක්ක කිව්වේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය රුවන්ති පෙරේරා.
“දරුවෝ ඉන්න දෙමාපියෝ හොඳින් මතක තබාගත යුතු කරුණු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි වෛද්‍යවරුන් විදියට අපි දරුවන්ට බෙහෙත් නියම කරන්නේ දරුවන්ගේ බරේ ප්‍රමාණයට අනුව නියමිත මාත්‍රාව ලබලා දෙන්න කියලා මිසක් පෙති බාගයක්, පෙත්තක් දෙකක් වශයෙන් ලබලා දෙන්න කියලා නෙවෙයි.
උදාහරණයක් විදියට මාස 3-6ත් අතර 5-6kg බර දරුවන්ට 3ml, මාස 6-9 අතර 6-7kg බර තියෙන දරුවන්ට 4ml, මාස 9-12 අතර 7-9kg වගේ බර දරුවන්ට 5ml වගේ ප්‍රමාණයක් දෙන්න කියලා. අන්න ඒ විදියට දරුවන්ට වයස අවුරුදු 12ක් විතර වෙනකල් ඒ අයගේ බරේ ප්‍රමාණය අනුව ලබාදෙන බෙහෙත් ප්‍රමාණය අඩුවැඩිවීම් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විදියට නියමිත මාත්‍රාව පැය 6න් 6ට හරි බෙහෙත් ලබාදිය යුතු වෙනත් කාලසීමාවකට අනුව හරි නිවැරදිව ලබාදීමත් වැදගත් වෙනවා.”
දරුවන්ට විශේෂයෙන්ම දියර ඖෂධ (සිරප්) තෝරාගැනීමට තියෙන තවත් හේතු මොනවද කියලා අපි වෛද්‍යවරියගෙන් අහලා බැලුවා.
“මෙහෙමයි. දෙමාපියෝ අපි ළඟට ඇවිල්ලා වෛද්‍ය උපදෙස් අනුව බෙහෙත් නියම කරගෙන යනවා නම් වෛද්‍යවරුන් විදියට අපි අනිවාර්යයෙන්ම නියම කරන්නේ දියර ඖෂධයන් (සිරප්). ඒකට විශේෂ හේතු කාරණා කිහිපයක්ම තියෙනවා. එකක් අර කලින් කියපු විදියට බරට අනුව නියමිත මාත්‍රාව නිවැරදිව දෙන්න පුළුවන්කම තියෙන්නේ දියර ඖෂධවලින් (සිරප්) විතරයි. හැබැයි වෛද්‍යවරයෙකුගේ අනුදැනුමකින් තොරව ගොඩක් අම්මලා ගෙදරදී දරුවන්ට සාමාන්‍ය කැස්සට, හෙම්බිරිස්සාවට වගේම උණට ලබලා දෙන බෙහෙත් ඒ අයගේ හිතුමනාපෙට ඔහේ දෙනවා. බෙහෙත් පෙති දෙකට කඩලා වගේම පෙත්තම එහෙමපිටින්ම ගිල්ලවන අවස්ථාත් ඕනතරම් තියෙනවා. එහෙම වෙලාවට දරුවගේ නියම බර ප්‍රමාණයට අනුව අවශ්‍ය ඖෂධ මාත්‍රාව ශරීරගත වෙන්නෙත් නෑ. ඒ විතරක් නෙවෙයි අධිමාත්‍රාවට බෙහෙත් ශරීරගත වෙලා වෙනත් සංකූලතා මතුවෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම බෙහෙත් පෙත්තක් කුඩු කරලා පොවද්දි ඒවගේ පොඩි පොඩි කොටස් දරුවගේ උගුරේ හිර වෙනකොට දැනෙන තිත්ත රසය නිසා දරුවන් බෙහෙත් ටික සේරම ආපිට වමනේ දාන්නත් ඉඩ තියෙනවා. අනික කුඩා දරුවන් නිවැරදි ක්‍රමයට ඖෂධය ගිලින්න දන්නේ නැති නිසා බෙහෙත් පෙත්ත උගුරේ හිර කරගත්තොත් නැති ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්.
කලින් කියපු දරුවගෙත් වයස අවුරුදු 3 1/2ක් විතර. පහුගිය කොරෝනා සමයේදී රට වහලා තිබුණ වෙලාවේ මේ දරුවට වෛරස් උණක් හැදිලා ටිකක් අමාරු වෙලා තිබුණා. ඒ දවස්වල වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යන්න එන්න පවා අමාරු වුණ නිසා මේ අම්මා වැඩිහිටියන්ගේ උණට දෙන බෙහෙත් පෙත්තක් දරුවට පොවන්න උත්සාහ කරලා තියෙනවා. මේ පොඩි දරුවට එතරම් දැනුම් තේරුමක් නැති නිසා වතුර ටිකක් එක්ක අර බෙහෙත් පෙත්ත පිටඋගුරේ ගිහින් හිරවෙලා තියෙනවා. අන්තිමට වෛද්‍යවරුන්ට පින්සිද්ධ වෙන්න දරුවගේ ජීවිතේට හානියක් නොවී බේරගන්න පුළුවන්කම ලැබුණා.”
හැබැයි සඳමාලිත් අතුලත් විතරක් නෙවෙයි මේ වරද අද සමාජයේ ඉන්න ගොඩක් දෙමාපියන්ගෙන් සිද්ධවෙන දෙයක්. අන්න ඒ නිසා එදා දවසේ ඇගේ ළමා රෝග සායනවලට සහභාගී වුණ ගොඩක් දෙමාපියන්ට ඇය උපදෙස් දීලා තිබුණේ මාස තුනකට වැඩි ඕනම දරුවෙකුගේ ඕනම රෝගීත්වයකට ඖෂධයක් ලබලා දෙනකොට විශේෂයෙන්ම දියර ඖෂධ (සිරප්) පමණක්ම ලබලා දෙන්න කටයුතු කරන්න කියලා.
“විශේෂයෙන්ම අම්මලාට දෙන්න ඕන තවත් උපදෙසක් තියෙනවා. ඒ තමයි පෙති වශයෙන් තියෙන ඖෂධ වර්ග හදලා තියෙන්නේම පෙත්තක් විදියටම ගිලින්න මිසක් දෙකට කඩලා හරි කුඩු කරලා හරි දියර වශයෙන් බොන්න දෙන්න නෙවෙයි. එකක් තමයි එහෙම කරහම ඒ ඖෂධයේ තියෙන ගුණාත්මකභාවය නැතිවෙලා යනවා. එක්කෝ මම කලින් කිව්වා වගේ බෙහෙත් අධිමාත්‍රාවක් ශරීරගතවෙලා වෙනත් සංකූලතාවයන් මතුවෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවගේ ශරීරයට බෙහෙත් අහන්නෙම නැතිව රෝගය උත්සන්න වෙන්න පුළුවන්.
අන්න ඒ නිසා දරුවෝ ඉන්න දෙමාපියන් කොයිම වෙලාවකවත් තමන්ගේ දරුවගේ අසනීපයකදී වෛද්‍ය අනුදැනුමකින් තොරව නිවසේදී ඖෂධයක් ලබලා දෙනවා නම් ඒ සඳහා හැමවෙලාවෙම දියර ඖෂධයක්ම (සිරප්) භාවිතා කරන්න කටයුතු කරන්න කියලා තමයි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ.”
වෛද්‍යවරුන් විසින් දරුවන්ට දියර ඖෂධ (සිරප්) පමණක්ම අනිවාර්යය කරන හේතුව මොකක්ද කියලා දැන් ඔබට පැහැදිලි අවබෝධයක් ලැබිලා ඇති. ඖෂධ ලබාදීමේදී සැලකිලිමත් විය යුතු කාරණා ගැන ඉදිරියේදී අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.
එතෙක් වෛද්‍ය උපදෙස් පරිදි අවශ්‍ය අවස්ථාවල දියර ඖෂධ (සිරප්) පමණක්ම ඔබේ දරුවාට ලබාදෙන්න කියන එකයි අපගේ උපදේශනය.
ලිහිණි මධුෂිකා