විශේෂාංග

ඉර හඳ තරු පවතිනතුරු අපි මැරෙන්නෙ නෑ??

සෑම වසරකම අප්‍රේල්, මැයි මාස දෙක සැලකෙන්නේ වසරේ උෂ්ණාධිකම මාස දෙක ලෙසිනි. එම කාලය තුළ සමකය ආසන්න රටවලට දැඩි උණුසුම් තත්ත්වයක් වාර්තාවෙයි. මෙවර සාපේක්ෂව එම උණුසුම වැඩි වශයෙන් දැනෙන්නට පටන්ගෙන ඇත. මේ තත්ත්වය අපේ ශරීර සෞඛ්‍යයට කවර අන්දමින් බලපායිද? ඒ සම්බන්ධව මේ කතාබහ වෛද්‍ය සමත් සෝමරත්න මහතා සමඟිනි.

 

*මේ දිනවල රටේ පවතින දැඩි උෂ්ණත්වය මිනිස්සුන්ට බලපාන්නේ කොයි විදියටද‍?

සාමාන්‍යයෙන් අප්‍රේල් සහ මැයි කියන්නේ සමකය ආසන්න රටවලට දැඩි උණුසුමක් දැනෙන කාලයක්. ඒත් මෙදා සැරේ ඒ තත්ත්වය අසාමාන්‍ය විදියට වැඩිවෙලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට මේ තත්ත්වය ලොකුවටම බලපාලා තියෙනවා. මේ අධික උණුසුම මිනිසුන් විදියට අපිට ඉතාමත් අහිතකර තත්ත්වයක්. මොකද පුද්ගලයෙකුගේ ශරීර උෂ්ණත්වය තියෙන්නේ සෙල්සියස් අංශක 36.5 – 37.5 අතර ප්‍රමාණයක. ඒත්  පරිසර උෂ්ණත්වය ඒක ඉක්මවලා යනකොට ඒ තත්ත්වය මිනිස් සිරුරට දරාගන්න බැරිවෙනවා. ඒත් එක්ක අනිවාර්යයෙන්ම සෞඛ්‍යමය පැත්තෙන් යම් යම් ගැටලු මතුවෙනවා.

 

*මේ උණුසුම නිසා බලපෑම් එල්ලවිය හැකි අවදානම් පිරිස් කවුද?

අධික උෂ්ණත්වය හමුවේ අවදානම් වැඩිම පිරිස වෙන්නේ වයස අවුරුද්දට අඩු දරුවෝ. ඊටපස්සේ වයස අවුරුදු 65ට වැඩි උදවිය. ඊළඟට ගර්භිනී කාන්තාවන්. එතැනින් ගියාම දිගුකාලීනව විවිධ රෝගාබාධ තියෙන පුද්ගලයෝ. එතැනදි හෘද රෝග, වකුගඩු රෝග, අක්මාව අශ්‍රිත රෝග සහ අධිරුධිර පීඩනය රෝගයෙන් පෙළෙන අය විශේෂයි. ඒත් එක්කම එළිමහන් රැකියා කරන අයත් අවදානම් පිරිසට ඇතුළත් ඒ අතරින් පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකරන අය වගේම කම්කරුවන් විශේෂයි.

 

*අවදානම් වැඩිම පිරිස කුඩා දරුවන් නම් ඔවුන් පරිස්සම් කරගන්න ඕන කොහොමද?

පුළුවන් තරම් අවුරුද්දට අඩු දරුවෝ නිවසේම රඳවගන්න කටයුතු කරනවා නම් හොඳයි. අව්වේ නම් අරන් යන්නම එපා. විශේෂයෙන්ම හරහට වඩාගෙන යන දරුවන්ට බලපෑම වැඩියි. අක්ෂි දෝෂ වගේ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. අනික තමයි ඔවුන්ට නිතරම කිරි දෙන්න. වතුර දෙන වයසේ දරුවන්ට නම් වතුර දෙන්න. මොකද එයාලට ඒවා ඉල්ලන්න තේරුමක් නෑනේ. ඒ වගේම පොඩි දරුවෝ වෙනදා වගේ සාමාන්‍ය විදියට මුත්‍රා එහෙම කරනවද කියලත් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ.

 

*ඔබ කියන විදිහට ගර්භිනී කාන්තාවන් ඉන්නෙත් අවදානම් පිරිස් අතර. ඔවුන් මෙහිදී සැලකිලිමත් වියයුත්තේ කොයි විදියටද?

ඔවුන් අධික උණුසුමට නිරාවරණය නොවී නිවසේ කාලය ගතකරන එක වඩා හොඳයි. ඒ වගේම දිනකට ලීටර් තුන හතරක්වත් බොන්න ඕනේ. ඒකට තිබහ එනකල්ම ඉන්න උවමනා නෑ. ඒ වගේම ඔවුන්ට නිතරම සුදු පැහැයට හුරු බර නැති සැහැල්ලු ඇඳුමක් අඳින එකත් සුදුසුයි.

 

*උණුසුම් කාලගුණය නිසා මියගිය පිරිසක් ගැන පසුගියදා විදෙස් රටකින් ආරංචි වුණා. ඒ කියන්නේ අධික උෂ්ණත්වය එතරම් තර්ජනයක්ද?

පසුගියදා ඉන්දියාවේ එක්තරා ප්‍රාන්තයක උත්සවයක් අවස්ථාවක 11ක් මියගියා. ඒකට හේතුව මේ තියෙන අධික උෂ්ණත්වය. අපි දන්නවා මේ වගේ උෂ්ණත්වය වැඩි කාලපරාසවල මිනිස්සු මැරෙන ප්‍රමාණය වැඩියි. විශේෂයෙන්ම අවදානම් කාණ්ඩවල ඉන්න අය. හැබැයි කවුරුත් කියන්නේ නෑ මියගිය පුද්ගලයා මියගියේ අධික රස්නය නිසා කියලා. ඒත් මතක තියාගන්න අධික රස්නය නිසා කෙනෙක් මියයන්න පවා පුළුවන්.

 

*මේ උණුසුම් තත්ත්වයත් එක්ක අපිට පොදුවේ ඇතිවෙන්න පුළුවන් සෞඛ්‍යමය බලපෑම් මොනවද?

පොඩි වැඩක් කළත් ඉක්මණින් වෙහෙසට පත්වෙන්න පුළුවන්. ඒ වගේම පොදුවේ හැම පුද්ගලයෙක්ටම කැරකිල්ල, ක්ලාන්තය, නිදිමතගතිය, කම්මැලිගතිය වගේ දේවල් එන්න පුළුවන්. වයස් භේදයක් නැතිව සමේ රතුපාට බිබිලි (Heat Rash) එන්නත් ඉඩ තියෙනවා. ඊළඟට මස්පිඬු පෙරළීම (Heat Cramps), සිහිකල්පනාව අඩුවීම, හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්න ඉඩතියෙනවා. කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට හෘද රෝග හා පෙණහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වෙන්නත් පුළුවන්.

 

*ඒ තත්ත්වයන්ගෙන් මිදෙන්න පොදුවේ අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද?

නිතරම වතුර බොන්න ඕනේ. ඒකට තිබහ එනකල්ම ඉන්න එපා. මේ දවස්වල කොච්චර වතුර බිව්වත් ප්‍රශ්නයක් නෑ. ගොඩාක් අය වතුර වෙනුවට සීතල පැණි බීම එහෙම බොන්න පුරුදුවෙලා ඉන්නවා. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. ඇඳුම් අ‍ඳිනකොට නිතරම සැහැල්ලු ලා පාටට හුරු ඇඳුම් අඳින්න ඕනේ. සුදු පාට ඇඳුම් නම් ගොඩාක් හොඳයි. ඒ වගේම අව්වේ යන හැම වෙලාවකම තොප්පියක් කුඩයක් අරන් යන්න. අව් කණ්ණාඩියක් එහෙම පාවිච්චි කරන එක ඇස්වලට හොඳයි. ඊළඟට කාන්තා උදවිය යම් යම් රූපලාවණ්‍ය ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ප්‍රමිතියෙන් තොර කිසිම රූපලාවණ්‍ය අලේපනයක් මේ කාලේ පාවිච්චි නොකරන තරමට හොඳයි. කෙටියෙන්ම කිව්වොත් වැඩිපුර ඉර අව්වට නිරාවරණය නොවෙන තරමට සෞඛ්‍ය ගැටලු මතුවෙන්නේ නෑ.

 

*නිතරම වතුර බොන්න කිව්වේ මේ ගැටලුවට හොඳම බෙහෙත වතුරද?

ඔව්. වතුර තරම් හොඳ පානයක් නෑ. මොකද සිරුරේ උෂ්ණත්වය පාලනය කරන්නේ වතුරවලින්. ඉතින් තමන් කොහේ ගියත් වතුර බෝතලයක් අරන් යන එක ඇඟට ගුණයි. අපි බොන වතුර ශරීරයට ප්‍රමාණවත්ද බලන්න මුත්‍රාවලින් පුළුවන්. හැමතිස්සේම තමන්ගේ මුත්‍රාවල පාට ලා පාටට තියාගන්න ඕනේ. එතකොට වතුර බොන ප්‍රමාණය හරි. නිකන් හරි මුත්‍රා කහ පාට වෙලා මුත්‍රා පිටකරද්දි දැවිල්ලයි නම් බොන වතුර ප්‍රමාණය වැඩිකරන්න ඕනේ. කෙනෙක් අඩුතරමේ දවසකට වතුර ලීටර් තුනක්වත් බොන්න ඕනේ. අනික තමයි මේ උණුසුම මුලින්ම බලපාන්නේ අපේ සමට. ඒ නිසා වතුර බොන එක සමට හරි වැදගත්. නැත්නම් සමේ වර්ණක සඳහා වගකිව යුතු මෙලනින් අධික ලෙස නිපදවීම උඩ සම වියළිලා අවපැහැයට නැත්නම් කළු පැහැයට ලක්වෙලා සම මියයන්න පවා පුළුවන්.

 

*මේ අධික උෂ්ණත්වයත් එක්ක යම් පුද්ගලයෙක් අවදානමක ඉන්න බව තේරුණොත් කළයුත්තේ මොකක්ද?

මුලින්ම ඒ පුද්ගලයා සෙවණ තියෙන සිසිල් ස්ථානයකට අරන් යන්න. ඊටපස්සේ ඇඳුම් ලිහිල් කරලා එයාට හොඳට වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න. ඊටපස්සේ වතුර ටිකක් බොන්න දෙන්න. මස්පිඬු වේදනාව කියලා කිව්වත් වතුර විතරක්ම දෙන්න. සමහරු එහෙම කියපු ගමන් ලුණු දෙනවා. ඒත් ඒක හොඳ නෑ. ඒ විදියට ප්‍රථමාධාර දෙනකොට ඒ පුද්ගලයා සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි. ඒත් එහෙම නොවුණොත් හැකි ඉක්මණින්ම එයාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීම කරන්න ඕනේ.

 

*මේ දිනවල බොහෝ පිරිස් විදුලි පංකා භාවිතා කරනවා. සමහරු කියනවා ඒ හරහා තවදුරටත් වෙන්නේ සිරුර වියළෙන එක කියලා. ඒ ගැන පැහැදිලි කළොත්?

විදුලි පංකා භාවිතා කරන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ හරහා ඇඟේ රස්නය අඩුකරගන්න පුළුවන්. ඒත් ඊටත් වඩා හොඳයි ඇඟ හොඳින් තෙමාගෙන පිහදැමීමක් නොකර සාමාන්‍ය ප්‍රමාණයට කැරකෙන විදුලි පංකාවක් සමීපයේ ඉන්න එක.

 

*මේ වෙනකොට උෂ්ණත්වය අතින් ලංකාවේ අවදානම් ප්‍රදේශ මොනවද?

අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම, මොණරාගල, හම්බන්තොට වගේම හලාවත සහ කොළඹ අවට ප්‍රදේශවල ජනතාව ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ඒ ප්‍රදේශවල ඉන්න අවදානම් කණ්ඩායම් ගැනත් විමසිලිමත් වෙන එක හොඳයි.

 

*වෛද්‍යවරයෙක් හැටියට මේ අධික උෂ්ණත්වය ගැන ඔබේ අදහස කොයි වගේද?

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන විදියට මේ රස්නය තව මාස දෙකක් විතර ලංකාවට බලපාලා තියෙන්න පුළුවන්. ඒ අතර කාලයේ හැමෝම තම තමන්ගේ පරිස්සම ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම මේ ගෝලීය උෂ්ණත්වය වැඩිවෙන්න මිනිස්සුන්ගේ ක්‍රියාකලාප ඍජුවම බලපානවා. ඒ අතරින් වන විනාශය තමයි ළඟම උදාහරණය. අනික පරිසරය දූෂණය කිරීම. මේ යන විදියට පැහැදිලිවම අනාගතයේදී තවදුරටත් මේ වගේ අධික රස්නේ කාල එනවා. ඉතින් අපි හැමෝටම වගකීමක් තියෙනවා මිනිස්සු විදියට මෙහි බරපතළකම අවබෝධ කරගෙන ජීවත්වෙන්න.

 

වෛද්‍ය සමත් සෝමරත්න

(ළමා රෝග පිළිබඳ විශේෂඥ)

කඹුරුපිටිය මූලික රෝහල, මාතර

 

රුවන් එස්.සෙනවිරත්න