මගේ ඇඳුම්වලට වගේම මම කතාබහ කරන විදියටත් පරිභෝගිකයෝ කැමතියි
සාරා බ්ලැක්ලි කියන්නේ ලෝක ප්‍රසිද්ධ ‘SPANKX’ කියන ඇඳුම් සන්නාමයේ හිමිකාරිණිය. ඇය වරක් ලොව බලගතුම පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවට පවා ඇතුළත් වුණු තරුණ ව්‍යාවසායිකාවක්. ඉතින් එකපාරක් ටයිම්ස් සඟරාවේ මාධ්‍යවේදියෙක් මෙහෙම අහනවා.
“ඇමරිකාවේ මෙච්චර ඇඳුම් ප්රදර්ශනාගාර තොගයක් තියෙද්දි තවත් ඇඳුම් ව්‍යාපාරයකට ආයෝජනය කරන්න බය හිතුණේ නැද්ද?”
සාරා උත්තර දෙනවා,
“ව්‍යාපාරයක් පටන්ගන්නකොට අපිට ඉන්න තරඟකරුවන් ප්‍රමාණයට වඩා අපේ නිර්මාණ ඔවුන්ගේ ඒවට වඩා කොච්චර වෙනස්ද, ප්‍රමිතියෙන් ඉහළද කියන එකයි වැදගත්” කියලා.
ලෝක ප්‍රසිද්ධ ව්‍යවසායිකාවක් කිව්ව ඒ කතාව ඇත්ත කියලා සහසුද්දෙන්ම ඔප්පු කරලා පෙන්නපු අපේ ව්‍යාවසායිකාවක් තමයි අද ‘ධරණී’ කවරය දරාගෙන ඉන්නේ. දුලීකා රත්නායක, කවුරුත් දන්න ‘Redpierrot’ බතික් හා බීරළු ඇඟලුම් සන්නාමයේ හිමිකාරිය ඇයයි.
බතික් සහ බීරළු ව්‍යාපාර කොච්චර තිබුණත් ඒ අය අතුරින් සාර්ථකත්වයේ හිනිපෙත්තටම යන උදවිය ටිකක් දුලබයි. මොකද බතික් කර්මාන්තය තුළ සාර්ථක වෙන්නනම් නිර්මාණාත්මක බව, තාක්ෂණික දැනුමට අමතරව තවත් අභියෝගවලට මුහුණ දෙන්නත් හැකියාවක් තියෙන්න ඕන. හැබැයි නිෂ්පාදනවල ප්‍රමිතිය සහ අද්විතීය බව නිසා බිංදුවෙන් ගමන පටන්ගත්තු දුලීකා අද වෙනකොට ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් දක්වා ඇගේ ව්‍යාපාරය දියුණු කරගෙන අවසානයි.
“මම ඉගෙනගත්තේ නාරම්මල මයුරපාද විද්‍යාලයෙන්. උසස් පෙළින් පස්සේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් විලාසිතා නිර්මාණකරණය සම්බන්ධයෙන් උපාධිය ලබාගත්තා. වෙනත් කෙනෙක් යටතේ වැඩ කරනවට වඩා මගේම ව්‍යාපාරයක් කරන ගමන් තවත් කීපදෙනෙක්ට හරි රැකියා දෙනවා කියලා බලාපොරොත්තුවක් පුංචි කාලේ ඉඳලම මගේ හිතේ තිබුණා. හැබැයි පටන්ගන්න ඕනේ මොනවගේ දෙයක්ද කියන එක ගැන මට ලොකු අදහසක් තිබුණේ නැහැ.”
විශ්වවිද්‍යාල අවසාන පුහුණුවේදී ලංකාවේ සුප්‍රකට ඇඳුම් නිර්මාණ ශිල්පිණී යොලැන්ඩ් අලුවිහාරේගෙන් පුහුණුවීමක් ලබාගන්න දුලීකාට අවස්ථාව ලැබෙනවා.
“බතික් සහ බීරළු නිර්මාණයෙන් මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඕනේ කියන අදහස මට ආවේ ඇගේ පුහුණුවෙන්. හැබැයි මුලදී මට බිස්නස් ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැ. එහෙමයි කියලා වැඩේ අතාරින්න බැරි නිසා බොහොම පුංචි මුදලකින් ඇඳුම් දෙකක් හදලා ෆේස්බුක් එකට දාලා බැලුවා. එදා ඒ ඇඳුම් දෙකට මට හිතාගන්න බැරිතරමේ ඉල්ලුමක් තිබුණා. පස්සේ දිගටම මම මුහුණුපොත හරහා ඇඳුම් අලෙවි කළා.”
දුලීකා මේ විදියට ඇගේ ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ 2012දී. ඔන්ලයින් ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසාම 2014 වසරෙදී ඇය කොළඹ හය, ස්ටැෆර්ඩ් ඇවනියුහි ‘Redpierrot’ නමින් ඇගේ ඇඟලුම් ව්‍යාපාරය ආරම්භ කරනවා.
“මේ ඇඳුම්වල පාටටයි, මෝස්තරවලටයි තමයි ගොඩක් අය කැමති. ව්‍යාපාරය පටන්ගත්තු මුල් කාලේ අපේ ප්‍රදර්ශනාගාරයේ විකුණන්න තිබ්බේ ඇඳුම් පොඩි ප්‍රමාණයක්. ඉතින් වෙලාවකට ඉල්ලුමේ තරමට දෙන්න අපි ගාව ඇඳුම් තිබුණේ නැහැ. බිස්නස් එක තනියම කරගන්න බැරිතරමට ඇණවුම් ලැබුණු නිසා මගේ සැමියා තරංග වික්‍රමාරච්චි රැකියාවෙන් ඉවත්වෙලා මගේ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. ඔහුත් මොරටුව විශ්වවිද්‍යාලයේ මෝස්තර නිර්මාණකරණ උපාධිධාරියෙක්.”
ගොඩක් ඇඟලුම් ව්‍යාපාරිකයෝ ප්ලස් සයිස් ඇඳුම් නැත්තම් විශාල ප්‍රමාණයේ ඇඳුම් ගැන ලොකු අවධානයක් දක්වන්නේ නැහැ. විශාල ප්‍රමාණයේ ඇඳුම් අඳින පාරිභෝගිකයන් වෙනුවෙන් වැඩි අවධානයක් දැක්වීම දුලීකාගේ ව්‍යාපාරයේ තවත් විශේෂත්වයක්.
“හස්බන්ඩ්නුයි මමයි එකතුවෙලා ඇඳුම්වල හැඩය, මෝස්තර, වර්ණ, පතොරම් ඔය හැමදේම ඩිසයින් කරනවා. පස්සේ නිර්මාණ ශිල්පීන් ලව්වා ඇඳුම නිර්මාණය කරගන්නවා. මුලදී අපේ කාර්යයමණ්ඩලයේ හිටියේ සාමාජිකයින් තුන්දෙනයි. මේ වෙනකොට අපේ කාර්යයමණ්ඩලයේ සාමාජිකයින් දහතුන්දෙනෙක් සේවය කරනවා.”
මේ ගමනේදි ඇයට මතුවෙන බාධා අභියෝග එහෙමත් නැතුවම නෙමෙයි.
“අපේ වැඩේට හරියට බතික් සහ බීරළු නිර්මාණකරුවන් හොයාගන්න සෑහෙන මහන්සි වුණා. අනික සමහර කාලෙකට වෙළඳපොළේ බතික් අමුද්‍රව්‍ය හිඟ වෙනවා. කාලෙකට ඒවගේ මිල ඉහළ යනවා. ඔය හැමදේම කළමනාකරණය කරගෙන තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ.”
සාර්ථකත්වය කියන්නේ නිකන් ලැබෙන දෙයක් නෙමෙයි. ඒ වෙනුවෙන් නිරන්තර කැපවීම අත්‍යවශ්‍යයි කියන එක ඇය කිව්වේ මෙහෙම.
“ව්‍යාපාරය පටන්ගත්තු මුල් කාලේ රෑ එක දෙක වෙනකල් නිදිමරාගෙන වැඩ කළා. හදිස්සි ඇණවුම් ලැබුණොත් අදටත් එහෙමයි. නිකන් බලාගෙන ඉඳලා බිස්නස් එකක් දියුණු කරගන්න බැහැ. ව්‍යාපාර පටන්ගත්තට කැපවීමෙන් ඒක කරන්න ගොඩක් අය කම්මැලියි. තමන්ගේ බ්‍රෑන්ඩ් එක මාර්කට් කරන එක ඊළඟ දේ. නිර්මාණ හැකියාව තිබුණට ඒක අලෙවි කරගන්න ගොඩක් අයට දැනුම නැහැ. දෙයක් මිලදී ගන්න එන පාරිභෝගිකයාව නොසලකා හැරලා උවමනාවට එපාවට කතා කරන අයත් ඉන්නවා. මුලින්ම තමන්ගේ පාරිභෝගිකයන්ට ගෞරවයෙන් කතා කරන්න ඉගෙනගන්න ඕනේ. මගේ ගොඩක් පාරිභෝගිකයෝ මම කතාබහ කරන විදියට කැමතියි. අනික දැන් සමාජ මාධ්‍ය දියුණු නිසා ඒකට ඉඩහසර ඕනතරම්. අපි අලුතෙන් හදන හැම ඇඳුමක්ම සමාජ මාධ්‍යවල පළකරනවා. ඒ නිසා අපේ ඇඳුම්වලට පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයින්ගෙන් පවා හොඳ ඉල්ලුමක් තියෙනවා.”
මේ වෙනකොට දුලීකාට අවුරුදු එකහමාරක පුංචි පුතෙක් ඉන්නවා. ඉතින් ව්‍යාපාරයේ වැඩකටයුතුවලට වගේම ගේදොර කළමනාකරණයටත් සැමියගෙන් විශාල සහායක් ලැබෙන බවයි ඇය කිව්වේ. ඔය අතරේ ඇගේ ආදරණීය මව, පියා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මෝස්තර නිර්මාණකරණ අංශය එහෙමත් සිහිපත් කරන්න දුලීකා අමතක කළේ නැහැ.
“ඉඩක් ලැබෙන හැමවෙලාවකම බබාටයි හස්බන්ඩ්ටයි පුංචිවට හරි රස කෑමක් හදලා දෙනවා. පුළුවන් වුණු ගමන් තුන්දෙනාම ඇවිදින්න යනවා. වෘත්තීය දියුණුව ගැන හිතනවා වගේම පෞද්ගලික ජීවිතේ සමබරතාවය රැකගන්නත් කාන්තාවක් දක්ෂ වෙන්න ඕනේ.”
ඇත්ත. සාර්ථකත්වය තියෙන්නේ සමබර වෙන තැන කියලා ප්‍රසිද්ධ කියමනකුත් තියෙනවනේ. ව්‍යාපාරයක් පටන්ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙනුවෙන් වචනයක් කියන්නත් ඇය අමතක කළේ නැහැ.
“ගෑනුන්ට බිස්නස් කරන්න බැහැ කියලා සමාජයේ මතයක් තියෙනවානේ. ඒ නිසා සමහර කාන්තාවෝ දෙයක් පටන්ගන්න හරි බයයි. බිස්නස් කරන්න ගෑනු, පිරිමි බේදයක් නැහැ. ව්‍යාපාර කරලා දියුණුවෙච්චි කාන්තාවෝ ලංකාවෙම කොච්චර නම් ඉන්නවද? කැපවීම ඉස්සරහා ගෑනු, පිරිමි කියන්නේ නිකන්ම නිකන් වචන විතරයි. අනික ව්‍යාපාරයකින් සල්ලිවලට අමතරව සතුටත් හොයන්න පුළුවන්. කෙනෙක් අපි මහන්සියෙන් හදන ඇඳුම් ඇඟට දාලා ඒක ලස්සනයි කිව්වහම දැනෙන සතුට සල්ලිවලටවත් ගන්න බැහැ. ඉතින් මම අනිත් අයටත් කියන්නේ ව්‍යාපාරයක් කරන්න ආසාවක් තියෙනවා නම් බය නැතිව උත්සාහ කරලා බලන්න කියන එකයි.”
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප : ප්‍රදීප් දඹරගේ