විශේෂාංග

එයා ජාතික කණ්ඩායමට තේරුණා කියලා කියපු දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ

එදා බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරඟයක් පැවැත්වෙමින් තිබුණි. ඒ තරඟ තුනකින් සමන්විත එක්දින තරඟමාලාවක තුන්වැන්න ලෙසයි. එහිදී කාසියේ වාසිය හිමිකරගෙන මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 286ක් ලබාගත්තේය. බංග්ලාදේශයට තිබූ ඉලක්කය වූයේ ලකුණු 287කි. තමීම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම්, සකීබ් අල්හසන් මෙන්ම මහමුදුල්ලා වැනි නම් දැරූ පිතිකරුවන් සිටි බංග්ලාදේශයට ඔවුන්ගේ රටේදී එය හඹායන්නට දුෂ්කර ඉලක්කයක් ලෙසින් පෙනුණේ නැත. නමුත් දුෂ්මන්ත චමීරගේ වේගපන්දු හමුවේ පන්දුවාර 42.3කදී බංගලි ඉනිම දියාරුවී ගියේ ලකුණු 189කට සීමාවෙමිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 97ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවූ අතර තරඟයේ වීරයා වූයේ ලකුණු 16ට කඩුලු 05ක් බිඳහෙලූ දුෂ්මන්ත චමීරයි. ඉතින් මේ කතාබහ ඒ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ ආදරණීය බිරිඳ, සුලෝචනා දිල්රුක්ෂි සමඟිනි.

*සුලෝචනා මේ වෙනකොට දුෂ්මන්ත එක්ක ගෙවන ජීවිතේ කොයි වගේද

අපි විවාහවු‍ණේ 2017 අවුරුද්දේ. මේ අවුරුද්දට විවාහ වෙලා අවුරුදු හයක්. ඒත් එච්චර කාලයක් ගිහින් කියලා දැනෙන්නේ නෑ. තාමත් අපි ආදරේ කරපු දවස්වල වගේ හරිම ආදරෙන් ඉන්නවා. දැන් අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොක්කට අවුරුද්දයි මාස නවයක්. පොඩ්ඩට නම් තාම මාස දෙකයි. එයාලත් එක්ක ඉතින් සතුටින් ඉන්නවා.

 

*ඔයයි දුෂ්මන්තයි එකම ඉස්කෝලේ කියන්නේ ඇත්තද?

ඔව්. අපි දෙන්නම මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලට ගියේ. දුෂ්මන්ත සාමාන්‍ය පෙළ වෙනකල් ඒ ඉස්කෝලේ ඉඳලා ඊටපස්සේ මාරිස්ටෙලා එකට ගියා. මම නම් උසස් පෙළ දක්වාම ඉගෙනගත්තේ ඒ ඉස්කෝලේ.

 

*එහෙනම් ඉස්කෝලෙදි දැකලා වෙන්න ඇති දුෂ්මන්තට ඔයා ගැන ආදරයක් හිතෙන්න ඇත්තේ?

ඔව්. දුෂ්මන්ත දවසක් වෙන පිරිමි ළමයෙක් අතේ ආදර යෝජනාවක් එවලා තිබුණා. ඉස්කෝලෙදි තමයි කැමැත්ත ඇහුවේ. ඒත් මං කැමතිවුණේ නෑ. මොකද ඒ කාලේ මං ඉගෙනගන්න ආසයි. වෙන බාහිර දේවල් ඔලුවට ගත්තේ නෑ.

 

*එතකොට දෙන්නගේ ආදර කතාව පටන්ගත්තේ කොතැනින්ද?

දුෂ්මන්ත මාරිස්ටෙලා එකට ගියාට පස්සේ ආයෙත් මං එයාව දැක්කේ නෑ. ඒත් ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ එයා ආයෙත් ෆේස්බුක් එකේ අහම්බෙන් මුණගැහුනා. ඒක වුණේ මෙහෙමයි. දවසක් මං දාපු ස්ටේටස් එකකට දුෂ්මන්ත රිප්ලයි කරලා තිබුණා. එතකොට තමයි මං දන්නේ එයා මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉඳලා කියලා. කොහොමහරි ඒ රිප්ලයි එක දුර ගිහින් තමයි අපේ ආදර කතාව පටන්ගත්තේ. ඊටපස්සේ අවුරුදු හයක් වගේ කාලයක් ආදරේ කරලා 2017 සැප්තැම්බර් 07 වැනිදා අපි විවාහවුණා.

 

*මුලින් දෙන්නගේම ගෙවල්වලින් අකමැති වුණා කියන්නේ ඇත්තද?

ගෙවල්වලට ආරංචි වෙනකොට අපිට ලොකු වයසක් නෑනේ. ඉස්කෝලෙන් අයින්වුණා විතරයි. ඒ දේවල් එක්ක මුලින් කැමති වුණේ නෑ. ඒත් පස්සේ ගෙවල් දෙකේම ආශිර්වාදය අපිට ලැබුණා.

 

*ඉස්කෝලේදි ඔයාගේ යාළුවෝ දුෂ්මන්ත දැක්කම අන්න ඔයාගේ ෆාස්ට් බෝලර් ඉන්නවා කියලා ඔයාට විහිලු කළා කියන්නේ ඇත්තද?

(සිනාසෙමින්) ඔයා කොහොමද ඒක දැනගත්තේ?  ඒ දුෂ්මන්ත මට ආදරෙයි කියලා අඟවපු කාලේ. ඇයි ඉතින් මං කොහේ ගියත් දුෂ්මන්ත ඒ යන තැන්වල ඉන්නවා. එයා මට කැමැත්තෙන් ඉන්නවා කියලා දැනගත්තෙත් ඒ නිසාමයි. ඒක මගේ යාළුවොත් දැනගත්තා. පස්සේ දුෂ්මන්ත දැකපු තැන එයාලා “අන්න ඔයාගේ ෆාස්ට් බෝලර් ඉන්නවා” කියලා කියන්න පටන්ගත්තා.

 

*ඔයා දුෂ්මන්තගේ පළවැනි ආදරේලු නේද?

ඔව් මං එයාගේ පළවැනි ආදරේ කියලා දුෂ්මන්ත කියනවා.

 

*ඔයා එක්ක ක්‍රිකට් ගැන කතා කරන්නේ නෑ කියන්නේ ඇත්තද?

මට ක්‍රිකට් ගැන ඒ කාලේ ඉඳන්ම ලොකු අවබෝධයක් තිබුණේ නෑ. දුෂ්මන්ත එක්ක යාළු වුණාට පස්සේ තමයි ක්‍රිකට් ගැන පොඩි හරි අවබෝධයක් ලැබුණේ. ඒ නිසා එයා මගෙත් එක්ක කවදාවත්ම ක්‍රිකට් ගැන කතා කරන්නේ නෑ.

 

*දුෂ්මන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා තියෙන්නේ ගොඩාක් දුෂ්කරතා එක්කද? ඒ අතීතය මතක් කළොත්?

දුෂ්මන්ත කියන්නේ සාමාන්‍ය පවුලක දරුවෙක්. ඉතින් ක්‍රිකට් බඩු ටික එහෙම ගත්තේ ටිකක් අමාරුවෙන් කියලයි එයා මට කියලා තියෙන්නේ. එයාලා පුහුණුවීම්වලට යනකොට ලොකු ක්‍රිකට් බඩු බෑග් එකක් අරන් යනවනේ. ඉතින් ඒක පිටේ එල්ලන් ඉන්නවා දැක්කම බස්වලටවත් නග්ගගන්න කැමතිවෙලා නෑ. මොකද එයා බස් එකේ තමයි පුහුණුවීම්වලට ගියේ. ජාතික කණ්ඩායමට තේරිලත් ටික කාලයක් යනකල් පුහුණුවීම්වලට ගියේ බස්වල. ඒ වගේ ගොඩාක් දුෂ්කරතා එක්ක තමයි එයා අද ඉන්න තැනට ඇවිත් තියෙන්නේ.

 

*ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගොඩක් තරුණියන්ගේ ආකර්ෂණයක් තියෙනවනේ. විවාහ වුණ අලුත ඒ ගැන බයක් ඇතිවෙලා නැද්ද?

එහෙම බයක් ඇතිවෙලා නෑ. මොකද අවුරුදු හයක් අපි ආදරේ කරලනේ විවාහ වුණේ. ඉතින් ඒ කාලේ අපි අපිව හොඳටම තේරුම් අරන් හිටියේ.

 

*ක්‍රිකට් ක්‍රීඩකයෝ සෑහෙන්න කාර්යබහුලයි. දරුවෝ එහෙම ලැබෙද්දි ඒක දැනුණේ කොයි විදියටද?

ඒක නම් ගොඩාක් දැනුණා. මට මතකයි පළවැනි දරුවා ලැබුණම එයාට මගේ ළඟ ඉන්න පුළුවන් වුණේ දවස් කීපයක් විතරයි. දරුවා ලැබිලා දවස් දහයකින් වගේ එයාට ටුවර් එකක් යන්න වුණා. ආයෙත් එයා දරුවව දැක්කේ මාස තුනකට පස්සේ. පහුගිය කොවිඩ් කාලේ එහෙම මාස ගණන් දුෂ්මන්තට ගෙදර ඉන්න වුණේ නෑ. ඉතින් එයා ගෙදර නැති හින්දා මං ටීවී එකේ මැච් පෙන්නද්දි එයාව පෙන්නලා “අන්න පුතේ තාත්තා” කියනවා. ඒ වෙලාවට දරුවත් බලාගෙන ඉන්නවා. හැබැයි එයා ගෙදර නැති දවස්වලට මං වීඩියෝ කෝල් අරන් නිතරම වගේ දරුවන්ව පෙන්නනවා.

 

*ඒක පුරුද්දට ගිහින් දුෂ්මන්ත ගෙදර ඉන්න දවස්වලටත් දරුවන්ගෙන් තාත්තා කෝ ඇහුවම එයාලා ටීවි එකට අත දික්කරනවා කියන්නේ ඇත්තද?

අනේ ඔව්. ඒක හරි සංවේදියි. මොකද දුෂ්මන්ත ළඟ ඉන්නකොට මං නිකමට අහනවා “පුතේ කෝ තාත්තා?” කියලා. ඒ වෙලාවට එයාලා ටීවී එක පැත්තට අත දික්කරගෙන ඉන්නවා.

 

*දුෂ්මන්ත එක්ක ජීවත්වෙන්න ලේසිද, අමාරුද?

දුෂ්මන්ත කියන්නේ පොඩ්ඩක්වත් තරහා යන්නේ නැති කෙනෙක්. තරහා ගියත් ඒක පෙන්නන්නේ නෑ. හරිම අහිංසකයි. ඒ නිසා ජීවත්වෙන්න හරිම ලේසියි. අනික එයා නිහඬ චරිතයක්. මොනවාහරි කියන්න තියෙනවා නම් වචනෙන් දෙකෙන් කියනවා.

 

*එයාට ගෙදරදි කොච්චර කිව්වත් හදාගන්නේ නැති වැරැද්ද මොකක්ද?

ගේම් ගහනවා වැඩියි වගේ. කොච්චර එපා කිව්වත් අහන්නේම නෑ. ඒ ඇරෙන්න එයා එහෙම වැරදි කරන්නේ නෑ.

 

*දුෂ්මන්ත ගැන ඔයාට අමතක නොවන දවසක් තියෙනවද?

අපි ආදරේ කරන කාලේ එයා පුහුණුවීම්වලට ගිහිල්ලා එද්දි මට කෝල් කරනවා. ඒ 2014 දෙසැම්බර් මාසේ දවසක්. මට දුෂ්මන්තගෙන් කෝල් එකක් ආවා. ඒත් එයා වෙනදා නැති අමුතු සතුටකින් තමයි කතා කළේ. බලද්දි එයා ජාතික කණ්ඩායමට තේරිලා. ඒක කියන්න තමා මට කතා කරලා තියෙන්නේ. ඒ දවස මට අමතක වෙන්නේ නෑ.

 

*දුෂ්මන්තට ආබාධයක් නිසා පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත්වෙන්න සිදුවුණා. ඒ ගැන එයා ගොඩාක් සංවේදී වෙන්න ඇති?

ලෝක කුසලානයක් කියන්නේ හැම ක්‍රීඩකයෙකුගේම හීනයක්. දුෂ්මන්තත් ගොඩාක් ආසාවෙන් හිටියේ ඒකට සෙල්ලම් කරන්න. ඒත් පටන්ගද්දිම ආබාධයක් නිසා අයින්වෙන්න වුණා. එයා ඒ වෙලාවේ හිතින් ගොඩාක් දුක්වෙන්න ඇති. ඒත් ඒක අපට පෙන්නුවේ නෑ.

 

*අපි දැක්කා එයා දැන් ටික ටික විලාසිතා කරන්නත් පෙළඹිලා කියලා?

ඔය කියන්නේ ටැටූ එක ගැන වෙන්න ඇති. ගොඩක් දවස්වල ඉඳන් එයා ටැටූ එකක් ගහන්නද කිය කියා මගෙන් ඇහුවා. මුලදි නම් මං අකමැති වුණා. ඒත් ආස නිසානේ මෙච්චර අහනවා ඇත්තේ කියලා හිතුණා. පස්සේ තමයි ටැටූ එකක් ගහගෙන තියෙන්නේ.

 

*දුෂ්මන්තට හොඳට සිංදු කියන්නයි රහට උයන්න පුළුවන් කියන්නෙයි ඇත්තද?

(සිනාසෙමින්) සිංදු නම් හොඳට කියනවා. ඒත් උයන්න නම් බෑ. මගෙන් අහගෙන උයන්න හදන වෙලාවල් තියෙනවා. හැබැයි එහෙම කියලා දෙනවට වඩා මමම උයන එක ලේසියි.

 

*එක්දින ලෝක කුසලානයට තව ටික දවසයි තියෙන්නේ. දුෂ්මන්ත ඒ වෙනුවෙන් ලෑස්තිද?

මේ වෙනකොට එයා ආයෙමත් පුහුණුවීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. දැනට කණ්ඩායමේ ඉන්න ප්‍රධානම වේගපන්දු යවන්නා දුෂ්මන්ත නිසා එයාට ලෝක කුසලාන කණ්ඩායමේ ඉඩක් ලැබේවි. එහෙම වුණොත් මං හිතනවා මෙවර එයා ලෝක කුසලානයේදී ලොකු පෙරළියක් කරයි කියලා.

 

රුවන් එස්.සෙනවිරත්න