විශේෂාංග

පුතා ගොතයිනම් අම්මා බයවෙන්න ඕනද?

‘‘දුදුදුදුටුගැමුණු රරරරජතුමා රුරුරුවන්වැලිසෑය ඉදිකරද්දී සසද්ධාතිස්ස රජතුමා….’’

එදා පංතියේ ඉතිහාස පාඩම කියවන්නට තිබුණේ බන්ටිට. පන්තියේ අනෙක් ළමුන් ඔහුව අනුකරණය කරමින් සිනාසෙද්දී ගුරුතුමිය පමණක් සාවධානව ඔහුගේ කියවීම අසා සිටියා. අනතුරුව විවේක කාලයේදී හතරට නැමූ ලියුම් කඩදහියක් බන්ටි අත තැබූ ගුරුවරිය, එය ඔහුගේ මවට ගෙනගොස් දෙන ලෙසයි බන්ටිට කීවේ.

ලිපියේ සඳහන් කර තිබූ ආකාරයටම බන්ටිගේ මව පසුදා උදෑසනම පාසලට ආවා. බන්ටිගේ ගොතගැසීම ගැන මවට පැහැදිලි කිරීමටයි ඇයට අවශ්‍යව තිබුණේ. දරුවා ඉතා ඉක්මනින් උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන ලෙස ගුරුතුමියගෙන් ලැබුණු උපදෙස් මත බන්ටිව යොමුකෙරුණේ කථන හා භාෂා චිකිත්සකවරියක වූ ජයමලී රූපසිංහ ජයසිංහ වෙතට. ඒ බන්ටිගේ ගොතය (Dysfluency) සුව කරගැනීමට කථන හා භාෂා චිකිත්සක සහාය අනිවාර්යය වූ නිසා.

‘‘පුද්ගලයෙක් කතා කරද්දි හුස්ම ගුලි, පෙණහැල්ලත් මුඛයත් අතර හුස්ම පාරේ හිරවීම නිසා ඇතිවන තත්ත්වයක් තමයි ගොතය කියන්නේ. ඒක ගොඩාක් දුරට ඇතිවෙන්නේ පිරිමි දරුවන්ට. දරුවෙකුට වයස අවුරුදු තුන විතර වෙනකොට මේක ඇතිවෙන්න පුළුවන්. පුංචි දරුවෙක් කතා කරන්න පටන් ගද්දි ඇතිවෙන ගොතය සාමාන්‍යයි. ඒත් ඒක දිගින් දිගටම තිබුනොත් බලන් ඉන්න හොඳ නෑ. නිසි ප්‍රතිකාර නොකළොත් දරුවා වැඩිවියට පැමිණීමත් එක්ක ඒක වර්ධනය වෙන්න පුළුවන්.’’

දරුවෙකුගේ අනාගතයට ඒ දරුවාගේ පැහැදිලි කථන හැකියාව ඍජුවම බලපාන නිසා ගොතය සුළුවෙන් තැකීම සුදුසු නැත. මෙලෙස දරුවෙකුට සාමාන්‍යයෙන් ගොතයක් ඇතිවීමට බලපාන හේතු කිහිපයකි.

‘‘පවුලේ ආරෙන් එන පුරුද්දට දරුවෙක් ගොත ගහන්න පුළුවන්. ඒත් එහෙම වෙන අවස්ථා අඩුයි. අනික එහෙම තත්ත්වයක් ආවත් සුව කරන්න පුළුවන්. ඊළඟට අධික චිත්ත පීඩා, තනිවීම් සහ මානසික ප්‍රශ්නත් ගොතයකට බලපාන්න පුළුවන්. සැර දෙමව්පියන් සැර ගුරුවරුන් හින්දත් දරුවන් දැඩි මානසික පීඩනයකට ලක්වෙලා ගොත ගහන්න ඉඩකඩ තියෙනවා.’’

වයස අවුරුදු හතරේ පහේ දරුවෙකුට නම් ගොතය සාමාන්‍ය දෙයකි. ඊට හේතුව ඒ දරුවා ඒ කතා කිරීමට උත්සාහ ගන්නා අවධිය වීමයි. එහෙත් වැඩුනු දරුවෙකුට ගොතය පිහිටීම ගැටලුවකි. දරුවෙකු ක්‍රමයෙන් වැඩෙද්දී එය ඔහුටම පාරාවළල්ලකි.

‘‘ගොතය ඉතා තදින් තියෙනවා නම් ඒ දරුවට කටින් වචනයක් පිටකරන්න ටිකක් අපහසුයි. සමහරුන්ට වචන පිටවෙන්නේ නෑ. ඒ වගේම කට වෙව්ලීම, ඇස් ගැසීම, හිස වැනීම සහ කට හඬේ වෙව්ලීම් ඇතිවෙනවා. ඒ වගේ වෙලාවට දරුවෝ කතා කරන්න බය වෙනවා. ඊළඟට දරුවා තුළම දැඩි කළකිරීමක්, ලැජ්ජාවක් සහ වරදකාරී හැඟීමක් ඇතිවෙනවා. එතකොට දරුවා කතා නොකරම ඉන්න වුණත් පුළුවන්.’’

දරුවාට ගොත‍යක් තිබුණද ඇතැම් දෙමව්පියන් එය තුට්ටුවකට මායිම් කරන්නේ නැත. නමුත් ඇතැම් දෙමව්පියන් පමණටත් වඩා ඒ ගැන බියවෙයි. මේ ක්‍රියාවන් දෙකම නුසුදුසුය. මන්ද එසේ කිරීමෙන් වෙන්නේ දරුවාගේ ගොතය තව තවත් වර්ධනය වීමයි. ඒ නිසා දෙමව්පියන් දරුවන් දෙස බැලිය යුත්තේ වෙනම කෝණයකටය.

‘‘දරුවාට ගොතයක් ආපු ගමන් දෙමව්පියෝ බයවෙනවා. එහෙම වෙන්න එපා. එතකොට ඒ බලපෑම උඩ දරුවන්ගේ ගොතය තවත් වැඩිවෙන්න පුළුවන්. ගොතය ගැන කලබල වෙලා බෑ. දරුවෝ ඉදිරියේ දරුවන්ට ගොතයක් නැති ගානටයි දෙමව්පියෝ හැසිරෙන්න ඕනේ. එහෙම ඉන්න ගමන් තමයි ඒකට පිළියමක් බලන්න ඕනේ.’’

ආබාධයකින් පෙළෙන දරුවෙකු කොන්කිරීම අයහපත් ක්‍රියාවක් වුවද සමාජය තුළ එවැනි සිදුවීම්වල අඩුවක් නැත. ඒ නිසා ගොතගසන දරුවෙකු සමාජයෙන් කොන්වීම වළක්වා ගැනීමට නම් ගොතයට නිසැකවම පිළියමක් සෙවිය යුතුය. එය දරුවාට වටින්නේ අදට නොව හෙටටය.

‘‘ගොතය නිසා දරුවෝ සමාජයේ කොන්වෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම සමකාලීන මිතුරන් අතරේ ඒක වෙන්න පුළුවන්. ඒ නිසා දරුවෙක්ට ගොතයක් තියෙනවා නම් බලාගෙන ඉන්න නරකයි.ගොතය තියෙන අයට කිසිම ප්‍රශ්නයක් නැතුව ගීත ගායනා කරන්න පුළුවන්. ඒකට හේතුව ගීතයක් ගායනා කරද්දි කියන්න ඕනේ මොකක්ද කියලා ඔවුන් හරියටම දන්නවා. ඒත් වාක්‍ය ස්වරූපයෙන් වචන සුමටව ඉදිරියට අරන් යන්න අමාරුයි.’’

මීට ඇති එකම විසඳුම නම් කථන හා භාෂා චිකිත්සක සහාය පැතීමයි. එහිදී සිදුකරන චිකිත්සාවන් මගින් 100% ක්ම මේ ගැටලුව විසඳිය හැකිය.

‘‘වගේ දරුවෙක් ආවම මුලින්ම කටහඬ ඇගයීමට භාජනය කරනවා. එතැනදි අපි දරුවට විවිධ වචන, වාක්‍ය උච්චාරණය කරන්න කියනවා. එතකොට දරුවගේ ගොතය මොන මට්ටමේද තියෙන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. ඊටපස්සේ චිකිත්සා පටන්ගන්නවා. ගොතය විවිධාකාරයි. ඒ නිසා දරුවගෙන් දරුවට චිකිත්සාව කරන විදිහ වෙනස්. හරියට සායනවලට අවොත් කෙටි කාලයකින් ගොතය නැතිකරගන්න පුළුවන්.’’

යම්කිසි දරුවෙකුට මෙවන් ගැටලුවක් ඇති බව වැටහුනොත් දෙමාපියන් ලෙස ඔබ කළයුතු කාර්යයක් තිබේ. ඒ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත ගොස් ඒ හරහා දරුවාද සමඟ සුදුසුකම් ලත් කථන හා භාෂා චිකිත්සකවරයෙක් හමුවීමයි. එසේ නොවුණහොත් එය ඔබේ දරුවාගේ අනාගතයට සිදුකරන බලවත් වරදක් විය හැකිය.

ජයමලී රූපසිංහ ජයසිංහ

(BSc.Sp.Sw.DPsy.c)

ජ්‍යෙෂ්ඨ කථන භාෂා චිකිත්සක

SLMC Reg No:06

 

රුවන් එස්. සෙනවිරත්න