සුව දිවිය

ගිලින්න බැරි නම් නොකියා ගිලගෙන ඉන්න එපා

‘‘අම්මි මට බත් කන්න බෑ.’’

ගමේ පෙරපාසලේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු පහක් වයසැති සිඟිති දියණිය නිතර එසේ කිව්වද ගීතිකා එය ගනන් ගත්තේ නැත. ඒත් දැරිය දිගින් දිගටම එයම පැවසීම නිසා ඇය දියණියවද කැටුව නගරයේ මහ රෝහල වෙත ගියාය.

‘‘චූටි බබා මොකද මේ බත් කන්න බෑ කියනවා කියන්නේ? ඔන්න ආයෙත් එහෙම නොකා හිටියොත් ඩොක්ටර් අන්කල් ගෙදරටම ඇවිත් තිත්ත බෙහෙත් පොවනවා.’’

දැරියට එසේ පැවසූ වෛද්‍යවරයා ගීතිකාව දැනුවත් කළේ ඇය ආහාර ගන්නා වෙලාවට වෙනදාට වඩා අවධානයෙන් පසුවෙන ලෙසයි. ඒ අනුවයි ගීතිකා දුටුවේ දියණියට ආහාර ගැනීමේ යම් අපහසුවක් ඇති බව සහ ඊට දැඩි වෙහෙසක් ගන්නා බව. මේ තත්ත්වය තවත් බලා සිටිය නොහැකි තැන ඇය යළිත් රෝහල වෙත ගියාය. එහිදී දැරිය පරීක්ෂා කරන ලද රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ දැරියට යම් ගිලීමේ අපහසුතාවක් ඇති බවත් ඊට කථන භාෂා චිකිත්සක සහාය ලබාගත යුතු බවත්ය. ගීතිකා දැරියව රැගෙන කථන භාෂා චිකිත්සක ජයමලී රූපසිංහ ජයසිංහ හමුවට යන්නේ ඉන් අනතුරුවයි.

‘‘ගිලීමේ අපහසුතාවය (Dysphagia Difficult in Swallowing) කියන්නේ ඝන හෝ දියර ආහාරයක් මුඛයේ සිට අන්නශ්‍රෝතය හරහා ආමාශයට ගමන්කර යැවීමේ නොහැකියාවට. ඒකට වයසක් අදාළ නෑ. අද ඉපදෙන පුංචි දරුවගේ ඉඳන් වැඩිහිටියන් දක්වාම ඒ කතාව පොදුයි.’’

ආහාර ගන්නා අවස්ථාවක අපිට වුව ආහාර ගිලීමේ අපහසුතාවක් පැමිණියහොත් එහි පීඩාකාරී බව ගැන කීමට වචන නැත. වැඩිහිටියන් වශයෙන් අප එය කෙසේ හෝ දරාගත්තද නොතේරෙන පොඩි දරුවෙකුට එය කිරීම එතරම් පහසු නැත. බොහෝ විට ඒ පුංචි ජීවිත මරණයෙන් පවා කෙළවර විය හැකිය. මෙලෙස ආහාර ගිලීමේ අපහසුවක් එන්නේ එක්තරා හේතුවක් මතය.

‘‘ගිලීමේ අපහසුවට බලපාන හේතුව ගත්තොත් මුඛයේ, උගුරේ හෝ අන්නශ්‍රෝතයේ ව්‍යුහමය ගැටලු සහ ගිලීමට භාවිත වෙන පේශියක හෝ ස්නායුවක දුර්වලතාවයන් නිසයි මෙහෙම තත්ත්වයක් ඇතිවෙන්නේ. එතැනින් ගියාම වැඩිහිටි අයට නම් පිළිකා සහ අංශභාග රෝගී තත්ත්වයන් නිසාත් ගිලීමේ අපහසුතා එනවා. මෙතැනදි ඒක වෙනයි.’’

ගිලීමේ අපහසුවක් ඇති දරුවෙක් නොතේරුම්කමට එය ඔබට නොකිව්වද දරුවා ගැන අවධානයෙන් පසුවුවහොත් පහසුවෙන්ම දරුවාට එවන් තත්ත්වයක් ඇද්ද යන්න ඔබටම තේරුම්ගත හැකිය.

‘‘එහෙම අපහසුවක් තියෙන දරුවෝ ආහාර ගන්නේ හරි හෙමින්. කටට ගන්න ආහාර එකපාරම ගිලින්නේ නෑ. අවස්ථා කීපයකටයි ගිලින්නේ. ගොඩාක් වෙලාවට මේ අයට සැරින් සැරේට කැස්ස ඇවිත් ඔක්කාරයට වගේ එනවා. සමහර වෙලාවට ආහාර උගුරේ හිරවෙන්නත් පුළුවන්. සමහරුන්ට වමනෙට එනවා. ඒත් එක්කම ගන්න ආහාරය කට දෙපැත්තෙන් පෙරීම හෝ නහයෙන් එන්න තියෙන ඉඩකඩත් වැඩියි. අනික් කාරණාව තමයි මේ අයට එක විදිහකට ඉඳන් ආහාර ගන්න බෑ. ඒ කියන්නේ හරි නොසන්සුන්. අවසානේ ශරීර බර ප්‍රමාණය වුණත් බලන් ඉන්නකොට අඩුවෙනවා.’’

දරුවා ආහාර ගන්නේ යම් ගිලීමේ අපහසුවක් එක්ක නම් දෙමාපියන් ලෙස ඔබ කළ යුත්තේ වෛද්‍ය උපදෙස් කරා යොමුවෙන තෙක් එම අපහසුතාවයෙන් දරුවාව මඟහැරවීමට උත්සාහ කිරීමයි.

‘‘දරුවාට වැඩි වෙලාවක් අරන් හෙමින් ආහාර ගන්න උපදෙස් දෙන්න ඕනේ. විශාල ආහාර වේල් වෙනුවට නිතර කුඩා ආහාර වේල් ලබාදීමත් වැදගත්. ඒ වගේම ගිලීමේ පහසුවට දෙන ආහාර කුඩා කැබලිවලට කඩලා දෙන්න ඕනේ. දියර ආහාර සහ මෘදු ආහාර ලබාදෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි.’’

වෛද්‍ය තාක්ෂණය මෙතරම් දියුණු යුගයක කථන චිකිත්සාවන් (Speech Therapist) මඟින් මීට විසඳුමක් සොයාගැනීම අපහසු නැත. නමුත් ඒ ඒ දරුවාගේ ආහාර ගිලීමේ අපහසුවට බලපාන හේතුව මත එම චිකිත්සාවන් එකිනෙකට වෙනස්ය. කථන භාෂා චිකිත්සකවරියගේ මේ පැහැදිලි කිරීම ඒ පිළිබඳවය.

‘‘දරුවෙක්ට මෙවන් තත්ත්වයක් තියෙනවා නම් හැකි ඉක්මණින් කථන චිකිත්සාවන්ට යොමුවෙන්න ඕනේ. මොකද ආහාර කියන්නේ කෙනෙක්ගේ මූලික අවශ්‍යතා අතරින් එකක්නේ. චිකිත්සාවන්වලදි අපි පුළුල්ව ගිලීමේ අපහසුව තියෙන දරුවගේ මුඛ ප්‍රදේශයේ සිට ආමාශයට යනකල් පරීක්ෂා කරනවා. එහි සුළු සුළු අඩුපාඩු තියෙනවා නම් ප්‍රතිකාර කරනවා. සමහර වෙලාවට ශල්‍යකර්ම පවා කරන්න වෙන අවස්ථා තියෙනවා. ඒකට කණ්ඩායමක්ම ඉන්නවා. එතැන කථන චිකිත්සකවරු, ශෛල්‍ය වෛද්‍යවරු විතරක් නෙවෙයි මනෝ වෛද්‍යවරු පවා ඉන්නවා. මොකද සමහර කෙනෙක්ට නහයෙන් බටයක් දාලා ආහාර දෙන්න වෙන අවස්ථා නැත්නම් ශල්‍යකර්ම කරන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ තැන්වලදි තේරෙන දරුවෙක් නම් බයවෙනවා. ඉතින් එයාලගේ මානසික මට්ටම හදන ගමන් තමයි චිකිත්සාවන් කරන්නේ. ගොඩාක් දුරට චිකිත්සාවන් මඟින් ගිලීමේ අපහසුතා මඟඅරින්න පුළුවන්.’’

ආහාර ගැනීමේ රටාවන් දරුවාගෙන් දරුවාට වෙනස් වන බව ඇත්තය. නමුත් ආහාර ගැනීමේදී ගිලීමේ අපහසුතා වැනි දේවල් ඇතිවීම බලාසිටීම නම් දරුවාගේ පැත්තෙන් සුබවාදී නැත. එනිසා ඔබේ දරුවා එවන් අපහසු තත්ත්වයකින් පෙළෙන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමුකිරීම දෙමාපියන්ගේ වගකීමය. යම්කිසි දරුවෙකුට මෙවන් ගැටලුවක් ඇති බව වැටහුනොත් දෙමාපියන් ලෙස ඔබ කළයුතු වන්නේ ඒ පිළිබඳ ළමා රෝග විශේෂඥයෙකු වෙත ගොස් වහාම ඒ බව තහවුරු කරගෙන පසුව දරුවාද සමඟ සුදුසුකම් ලත් කථන හා භාෂා චිකිත්සකවරයෙක් හමුවීමයි. එසේ නොවන්නට එය බලපාන්නේ ඔබේ දරුවාගේ හෙට දවසටය.

ජයමලී රූපසිංහ ජයසිංහ

(BSc.Sp.Sw.DPsy.c)

ජේෂ්ඨ කථන භාෂා චිකිත්සක

SLMC Reg No:06

රුවන් එස්.සෙනවිරත්න