ඕමානයේදී කාන්තාවන් අලෙවි කිරීම සම්බන්ධව චෝදනා ලැබූ ඊ. කුෂාන් අත්අඩංගුවට
ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධව චෝදනා ලබා වැඩ තහනමට ලක්වූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කළ ඊ. කුෂාන් නැමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඕමානයේ මස්කට් නුවර සිට අද (29) අලුයම 3.57ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි යානයෙන් එම පුද්ගලයා දිවයිනට පැමිණි ඇති බව වාර්තා වනවා.
සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම ඇතුළු දූෂණ චෝදනා රැසක් අදාළ පුද්ගලයාට එරෙහිව එල්ල වී තිබුණා.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) විවෘත වරෙන්තුවක් ද ලබාගෙන තිබූ බව වාර්තා වනවා.
චෝදනා එල්ල වුව ද ඊ.කුෂාන් නැමැත්තා ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැඳී සිටි අතර චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට ඔහු විසින් බලපෑම් කරන බවට ද වාර්තා වුණා.