මැරෙනකන් ඉන්න විතරක්වත් ඉඩ දෙන්න කියන්න මහත්තයෝ -ගේ ලියාගත් පසු පුතා විසින් දොට්ට දැමූ දෙමාපියන්ගෙන් ඉල්ලීමක්
‘‘අපි ලොකු අවනඩුවක් කියන්නයි මහත්තයෝ පොලිසියට ආවේ. පුතයි, ලේලියි අපට ගෙදරින් යන්න කියලා ගහනවා, බණිනවා. ඊයේ පෙරේදා දවසක පුතා මගේ බෙල්ලත් මිරිකුවා.’’
නිට්ටඹුව පොලිසියට පැමිණි හැට හය හැවිරිදි මාතාවක් තම දුක්ගැනවිල්ල කියන්නට වූයේ කඳුළු සලමිනි. ඈ අසළ සිටියේ හැට නව හැවිරිදි ඇයගේ සැමියායි.
මේ කියන පුතා සේවය කරන්නේ ගුවන් හමුදාවේය. පුතුගේ බිරිඳ ග්‍රාම නිලධාරිනියකි. වයස අවුරුදු හතර හමාරක හා මාස අටක දරු දෙදෙනෙක්ද එම යුවළට හිඳී. එම දරු පැටවුන්ගේ සුරතල් දකිනවිට මෙම අම්මාටත්, තාත්තාටත් සිහිපත් වන්නේ තම එකම පුතු ඇතුළු දරු තිදෙනා කුඩා කාලයේ ආදරයෙන් ලොකු මහත් කළ හැටිය. අද නපුරු වී ඇතත්, පුතු උපන්දා ඔවුන් සතුටු වූයේ රටක් රාජ්‍යයක් දිනුවා මෙනි.
‘‘අපි දරුවෝ පොඩි කාලේ පදිංචි වෙලා හිටියේ හඟුරන්කෙත. එයාලා ලොකු මහත් වෙලා රස්සාවලට ගියා. ආවාහ විවාහ කරගත්තා. පුතා ගුවන් හමුදාවට බැඳුණම කටුනායකට ළඟ නිසා එයාගේ පහසුව ගැන හිතලා නිට්ටඹුව කිට්ටුවෙන් ගෙයක් මිලට ගත්තා. ඒ 2013 අවුරුද්දේ.’’
තම පුතුගේ දුකසැප බලා කියාගෙන සැඳෑසමය සතුටින් ගතකිරීමේ අදහසින් සිටියත්, ඔවුනගේ ඒ සිහින එකිනෙක බිඳ වැටෙන්නට පටන්ගත්තේය. ලේලිය මුලදි මුලදී මේ දෙන්නා දෙමහල්ලන්ට වෙනස්කමක් නොකළත් ඇයගේ මවද එම නිවසේ පදිංචියට ආවෙන් නැති ආරෝවන් ඇතිවන්නට එයද එක් හේතුවක් විය.
පුතුට මෙම නිවස අලුත්වැඩියා කරන්නටත්, මෝටර් රථයක් මිලදි ගන්නටත් අදහසක් එන්නේ මේ අතරය.
‘‘පුතා කිව්වා ගේයි, ඉඩමයි නීත්‍යානුකූලව එයාට පැවරුවොත් බැංකු ණයක් ගන්න පුළුවන් කියලා. මමත් මහත්තයත් ඒකට අකමැති වුණේ නෑ. දරුවෙක් හොඳින් ඉන්නවට දෙමාපියෝ කැමතියි. අපි දෙන්නා කතාවෙලා පුතා නමට ගේයි, ඉඩමයි ලියලා දුන්නා.’’
එසේ තමා සතු එකම දේපළ පුතු නමට ලියාදීමෙන් පසු දින සති මාස ගෙවෙද්දී ඔවුන් සිටින්නේ තවදුරටත් තමාගේ නිවසක නොවේ යැයි යන සිතිවිල්ලක් ඔවුන්ට නොදැනුණාම නොවේ. ග්‍රාමසේවක ලේලියද මේ දෙන්නා දෙමහල්ලන්ගේ නැති වැරදි සොයන්නට වූයේ ඔවුන් තව තවත් අසරණ කරමිනි. ඇය පල නොකියා පළා බෙදන්නට වූයෙන් ඔවුන් සිටියේ කණගාටුවෙනි.
‘‘අපි පුළුවන් තරම් ඉවසුවා. පාඩුවේ ඉන්න උත්සාහ කළා. කන්න බොන්න ගියත්, අපි ගේ ඇතුළේ එහෙට මෙහෙට ගියත්, වැරැද්දක් විතරයි හෙව්වේ. ලේලිගේ අම්මත් පුතයි, ලේලියි අපට බණිද්දි ඇවිලෙන ගින්නට පිදුරු දාන වැඩ කරනවා.’’
ඇය කීවේ සැමියා දෙසද බලමිනි. ඒ දෑස්වල බොරපාට කියන්නේ පුතෙකු හිතා හෝ නොසිතා දෙන වධවේදනා විය හැකිය. එහෙත් මෙම දෙමාපියන්ට තම දේපළ පුතුට ලියාදීම ගැන දුකක් නැත. ඒ එය හොඳ හිතින් පුතුගේ යහපත ගැන සිතා කළ දෙයක් බැවිනි. කෙසේ වුවත් තම වයෝවෘද්ධ දෙමාපියන්ට එහි අයිතියක් නැති බව හඟවන වචනද පුතුගේ මුවින් පිටවූ අවස්ථා තිබේ. ඒ පසුපස ඇතැම් අවස්ථාවල සිටියේ ලේලිය නමුත්, මේ දෙන්නා දෙමහල්ලෝ කාටත් කියාගත නොහැකි දුක් තනිව බෙදාගත්තේ ඒ ගැන කිසිවෙකුට හෝ කීම හොඳ නැති බැවිනි.
කෙසේ හෝ මොවුන්ගේ අඩදබර වැට පැන අසල්වැසි නිවෙස් වෙතද පියමං කරන්නේ, මෙම දෙන්නා දෙමහල්ලෝද තමන්ට වන අසාධරණය, වධ හිංසා ඉවසාගත නොහැකිව වචනයක් දෙකක් කී විටය. එසේ කතා කළහොත් පුතත් ලේලියත් තව වැඩි වැඩියෙන් අහිංසක යුවළට හිරිහැර කිරීම පුරුද්දකි.
‘‘මේ පහරදීම් ගැන අවස්ථා දෙකකදී අපිට පැමිණිලි ලැබුණා. පසුගිය දවසක මේ පුත්‍රයා ආරවුලක් අතරතුර මවටත්, පියාටත් පහර දී තිබෙනවා. එහිදී මෙම පුතා මවගේ ගෙල මිරිකලා, මුඛය මිරිකලා බිත්තියට හේත්තු කරගෙන ඇයට පහර දුන් බවට මව පැමිණිලි කළා.
එම අවස්ථාවේ නිවසේ වූ විදුලි පංකාවකින්ද පුතා ඇයට පහර දී තිබෙනවා. එම අවස්ථාවේ ලේලිත් නැන්දම්මත් පහරදුන් බවට එම පැමිණිල්ලේ සඳහන්. අදාළ පුතා ග්‍රාම නිලධාරිනිය වාගේම ඇගේ මවත් එම පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගනු ලැබුවා.’’
පොලිසිය සඳහන් කරන්නේ එම පහරදීමෙන් අදාළ මව දැඩිලෙස රෝගාතුර වී ඇති බවය. ඇය වතුපිටිවල රෝහලට ඇතුළත්ව දින හතරක කාලයක් ප්‍රතිකාර ලබන්නේ අදාළ පහරදීමෙන් ඇතිවූ සංකූලතා මෙන්ම කම්පනයද නිසාවෙනි.
මේ අතර පුතුද පියාට එරෙහිව පැමිණිලි දෙකක් කර ඇත. ඊටද හේතුවී ඇත්තේ මම ආරවුල ඇතිකළ නිවසේ අයිතිය පිළිබඳ කතාවයි. තමන් ජීවිත කාලයේම දුක් විඳ අන්තිමට ඉතුරු වූ නිවසද අහිමි වී යාමෙන් අසරණව ගිය කල ගේ යළි තමන්ට නොපවරන්නේ නම් නිදහසේ මියෙනතුරු එහි ඉන්නට දෙන්නැයි ඔහු පුතුගෙන් ඉල්ලීම් කර තිබේ. මේවාටද පුතුට හොඳහැටි තරහා එන්නේය. අම්මා තාත්තා අතදරු වියේ සිට තමන්ව ලොකු මහත් කරන්නට විඳි දුක්ගැහැට බිඳක්වත් ඔහුට ඒ මොහොතට මතක නැත. වයසට ගියත් තණ්හාව යැයි ඔහු මව්පියන්ට බැණ වදින්නේය.
‘‘මේ දෙමව්පියෝ දෙන්නා ගෙදරදී විවිධ හිංසාවන්ට ලක්වෙනවා කියලා ගම්වැසියෙක් දෙන ලද දිවුරුම් ප්‍රකාශයකුත්, දස දෙනෙක් අත්සන් කළ ලිපියකුත් පැමිණිල්ල විභාග කරන මොහොතේ මොවුන් ඉදිරිපත් කළා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.’’
නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඕ.පී.අබේරත්න මහතාගේ උපදෙස් පරිදි අදාළ සිදුවීම පිළිබඳ පැමිණිල්ල විභාග කෙරිණි.
නිට්ටඹුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික නිලන්ත, උපපොලිස් පරීක්ෂිකා සාරංගි ජයසිංහ, උපපොලිස් පරීක්ෂක පී.එල්.එල්.ආර්.සමරකෝන් යන මහත්ම මහත්මීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන පැමිණිල්ල විමර්ශනය කොට තිබුණි.
මේ අපට අසන්නට ලැබූ එක් කතාවක් පමණි. එළිපිටට නොඑන මෙවැනි සිදුවීම් නිසා දුක් සුසුම් හෙළන මාපියන් ඕනෑතරම්ය. තම ආදරණීය දෙමාපියන් වියපත් වෙද්දී, ඒ දෙමාපිය හිත්වලට සැනසිල්ලක් දෙන්නට හැකි කාරුණික ආදරණීය දරුවෙක් විනා, තමන් හැදූ වැඩු දෙමාපියන්ට හිංසා කරන සිත්පිත් නැති දරුවෙක් මේ මිහිමඬල අපේක්ෂා කරන්නේ නැත. එවන් දරුවෙක් මේ මිහිමතට බරකි. ඒ බරැති දරුවා නොවී, තම වියපත් මාපියන් දෙස කාරුණිකව බැලිය හැකි ආදරණීය දරුවෙක් වන්න.
දීපා වසන්ති එදිරිසිංහ