විශේෂාංග

අලියට බය වෙච්ච ප්‍රා. ලේ. කටු මැටි පැලකට වැඩේ දීලා

සතුන් සහ කුඩා දරුවන්ගේ. හිතුවක්කාරකම්, දඟකාරකම් සාමාන්‍ය ය. එහෙත් වැඩිහිටියන්ගේ එවැනි හැසිරීම් අනතුරුවලට ද හේතු විය හැකිය. සතුන් සම්බන්ධව කටයුතුවලදී කියන දේ නාහන වැඩිහිටියෝ තමනුත් අනතුරේ වැටී අනෙක් අයවද අවදානමට දමති.

වරක් පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුලු පිරිස මැදවච්චිය ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වන අලියකු ගොඩ ගැනීමට ගියහ. අනතුරට පත් අලියා අඩි අටහමාරක පමණ උසින් යුත් දැවැන්තයෙකි.  ප්‍රාදේශීය ලේකම් ඇතුලු රජයේ නිලධාරීන්,  පොලිස් නිලධාරීන් සහ ගම්වාසීහු ද ස්ථානයට රැස්වූහ. අලියකු ගොඩට ගැනීම පහසු නැත. ළිඳේ බැම්ම ද කැඩීමට සිදුවිය. උඩට ආ පසු අලියා කොයි අතට දුවාවිදැයි කවුරු දනී ද? එනිසා වටේ රැස්කන මිනිසුන්ට ඉවත් වන්නැයි කීව ද කිසිවකුට වගේ වගක් නැත. ඔවුහු සිදුවීම රස විඳිති. එය කලකට පසු ගමට පැමිණි බයිස්කෝපයක් මෙනි. අවදානම ගැන කිසිවකුට ගණනක් නැත. මෙදින මහා විනාශයකින් ගැලවුණු බව වෛද්‍ය චන්දන ජයසිංහ සිහි කරයි.

සතා ගොඩට ආපු ගමන් බයත් එක්ක ඕන කෙනෙකුට ගහන්න ඉඩ තියෙනවා. ඒත් කොයිතරං කිව්වත් මිනිස්සු ඉවත් වුණේ නෑ. අලියා එකපාරටම ගොඩට ආවා. ආපු ගමන් එතන තිබුණු ලොකු ගස්ලබු ගහකට කෑලි වෙන්න ගැහුවා. එතනම ගමේ මනුස්සයෙක් හිටියා. පුද්ගලයා ගාව තහඩුවක් තිබුණා. එයා බිම පෙරළිලා තහඩුවෙන් කවර් කරගත්තා නිසා තමන්ගෙ ළඟම හිටියා වුණත් අලියා මේ කෙනාව දැක්කෙ නෑ. ඊට පස්සෙ අලියා එකපාරටම හැරිලා අපේ පැත්තට එන්න ගත්තා. මිනිස්සු පිරිලා නිසා දුවන්න විදියකුත් නෑ. අපියි ගමේ මිනිස්සුයි ඔක්කොම එක පොදියට බිම ඇදගෙන වැටුණාඔය වගේ වැඩකට යනකොට තුවක්කුවකුත් අරගෙන යන්නෙ හදිසියක් වුණොත් උඩට වෙඩි තියලා අලියා බය කරන්න. නිසා අපේ කෙනෙක් ළඟ තිබුණු ගිනි අවිය ක්‍රියාත්මක කරන්න හැදුවත් ඒකෙ සේෆ්ටි දාලා තිබිලා පත්තු වුණේ නෑ. වෙද්දි අලියා අපේ ළඟටම ඇවිත්. මේ වෙලාවෙ අපේ රියදුරු මහත්තයෙක් අලි වෙඩිල්ලක් ගැහුවා. ඒක පිපිරුවේ අලියාගෙ ඔලුව කිට්ටුවඑතකොටම අලියා අනිත් පැත්ත හැරිලා දුවන්න ගත්තා. එදා අපේ ජීවිත ගැළවුණේ අලි වෙඩිල්ල නිසා.”

ඒ භූමියේම මැටි ගැසූ කුඩා ගෙයක් ද විය.   අලියා එලවීමෙන් භීතියට පත් මිනිසුන් පිරිසක් ඒ නිවසට රිංගා ගැනීමට උත්සාහ දරා ඇත. ප්‍රාදේශීය ලේකම් ද ඒ අතරය. සියල්ලන් එකවිට පොරකන විට දොරෙන් ඇතුලුවිය නොහැකිය.  අවසන ඔවුන් නිවසට පිවිස ඇත්තේ බිත්තියක් කඩා දැමීමෙනි. හදිසියට කොරොස් කටෙත් අත දැමීමට බැරි වෙනවා යන්නට එය හොඳම නිදසුනකි.

වැඩ කරන්නන්ට වඩා නරඹන්නන් වැඩි වූ විට ඔහොමමය.  අමාරුවේ වැටෙනතුරු දන්නේම නැත.

 

තොරතුරු – පශු වෛද්‍ය චන්දන ජයසිංහ

රෂ්නිකා ලියනගේ