විශේෂාංග

ඇඳුම මැහුවේ ඉන්දි රාජාට වුණාට මගේ හිත කිව්වෙම වාසනා ඒක අඳින්න ඕන කියලා

නුවර ලස්සන වැස්සට යැයි කතාවට කිව්වද නුවර ඇත්තටම ලස්සන ඇහැළ මහටය. ඒ කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය නිසාය. මේ ගෙවෙන්නේ පෙරහර සමයක් නොවුණාට මේ වෙද්දීත් ලබන වසරේ පෙරහර මංගල්‍යය වෙනුවෙන් ලකලැහැස්ති වෙන්නෝ එමටය. ඒ අතරින් බරපතළම රාජකාරියක් වන්නේ අලි ඇතුන්ගේ ඇඳුම් මැසීමයි. එය නමේ හැටියටම අලි වැඩකි.

මෑතක් වෙනතුරුම ඒ භාරදූර රාජකාරිය කළේ ඉන්දියානු සම්භවයක් සහිත තදානි නමැති හින්දු බැතිමතාය. දැන් ඔහු ජීවතුන් අතර නැත. නමුත් තදානිගේ කාරිය හරි අපූරුවට කරන කාන්තාවක් සිටින බව පසුගියදා අපට දැනගන්නට ලැබුණි. අලි ඇඳුම් මැසීමට නම් දැරූ කාන්තාවන් කීපදෙනෙක් සිටියත් ඇගේ විශේෂත්වය වන්නේ ලංකාවේ අලි ඇඳුම් නිර්මාණය කරන පළමු සහ එකම රූපලාවණ්‍ය ශිල්පිනිය ඇය වීමයි. ඇය වැලිවේරියේ පදිංචි ඉනෝකා වාසනා පෙරේරා ය.

ඇත්තටම මේක භාරදූර කටයුත්‍තක්. ඒ නිසා මුලදි නම් ලොකු බයක් හිතේ තිබුණා. ඒත් මම මේක ගොඩාක් ආසාවෙන් වගේම ශ්‍රද්ධාවෙන් බාරගත්තු වැඩක් නිසා කරගෙන යද්දි ඒ බය නැතිවෙලා ගියා. මං හිතනවා නුවර දළදා පෙරහරට අලි ඇඳුම් නිර්මාණය කරන්න ලැබීම ලොකු වාසනාවක් කියලා. මොකද මෙහෙම අවස්ථාවක් ලේසියෙන් කෙනෙක්ට ලැබෙන්නේ නෑ.”

2019 වසරේ සිට මේ දක්වාම ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහරේ දළදා කරඬුව වැඩමකළ ඇතුට මෙන්ම දෑලේ ඇතුන් දෙදෙනාට ඇඳුම් නිර්මාණය කර ඇත්තේ ඉනෝකාය. එකී අවස්ථාව ලැබුණු ආකාරය ගැන ඇය ‘ධරණී’ට පැවසුවේ මෙසේය.

මං පුංචි කාලේ ඉඳන්ම පින්දහම් වැඩවලට ආසයි. දැනටත් මං ගොඩාක් පින්කම් කරනවා. දවසක් ටීවී එකේ නුවර පෙරහර බලද්දි මට පුංචි අදහසක් හිතට ආවා. ඒ තමයි මාලිගාවේ පෙරහරට මගේ අතින්ම අලි ඇඳුමක් මහලා පූජා කරන්න. මගේ අදහස කිව්වම ගොඩාක් අය කිව්වේ ඒක ලේසි වැඩක් නෙවෙයි ලක්ෂ ගණනක් යනවා වගේ කතා. ඒත් කොච්චර අමාරු වුණත් කොච්චර මුදලක් ගියත් කොහොම හරි මට ඒක කරන්න ඕන වුණා.”

එතැන් පටන් ඇඟිලි ගනිමින් සිටි ඉනෝකා 2018 වසරේ නුවර දළදා පෙරහර බලන්නට පවුලේ උදවියද සමඟින් මහනුවරට ගියේ දහසක් බලාපොරොත්තු හිතේ දරාගෙනය. අවසන් රන්දෝලි පෙරහර තිබූ එදින ඇය පෙරහැර නැරඹුවේ මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ආසන්නයේ සිටය.

එදා මට මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේගේ ලේකම් අනුරුද්ධ බණ්ඩාර මහත්තයා මුණගැහුනා. පස්සේ මං මගේ අදහස එතුමාට කිව්වා. එයා කිව්වා එහෙනම් විෂ්ණු දේවාලේ පෙරහරට ඇඳුමක් මහලා දෙන්න කියලා. එයාලම මිම්මත් දුන්නා. ඒ විතරක් නෙවෙයි මහපු අලි ඇඳුමකුත් දිගෑරලා පෙන්නුවා. ඒක මං හිතුවට වඩා ලොකුයි. ඒ වෙලාවේ නම් මට මෙච්චර ලොකු එකක් මහන්න පුළුවන්ද කියලා බයකුත් ආවා.”

පෙරහර නිමාවී ගෙදර පැමිණ පහුවදා සිටම ඉනෝකා කළේ අලි ඇඳුම නිර්මාණයට සැලස්මක් නිර්මාණය කිරීමයි. නමුත් එය ලේසිපහසු කටයුත්තක් වූයේ නැත. එනිසා මුලින්ම ඇය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියටත්, රුවන්වැලිසෑයටත්, මහනුවර ශ්‍රී දළඳා මාලිගයටත් භාරයක් වුණාය. ඒ තමන්ගේ පින්වන්ත කටයුත්ත සාර්ථකව නිමකරගැනීමට හැකිවේවා යන අහිංසක ප්‍රාර්ථනයෙනි.

අපේ ගෙදර සාලේ ලොකු බුදු පිළිමයක් තියෙනවා. ඒ ඉස්සරහා තියාගෙන තමයි අලි ඇඳුම මහන්න පටන්ගත්තේ. හැමදාම පාන්දර එකට තමයි ඇහැරුණේ. කොහොමහරි ජනවාරි වෙනකොට මැහුවා. මාස තුනයි ගියේ. පස්සේ ඒක අරන් විෂ්ණු දේවාලෙට ගියා. එයාලටත් පුදුමයි. පස්සේ මට අනුරුද්ධ මහත්තයා මාලිගාවේ ඇත් පන්තිය බාර ප්‍රදීප් මියනපලාව මහත්තයාව මුණගැස්සුවා. ඒ හරහා මට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහත්තයා එක්කත් කතා කරන්න අවස්ථාවක් ලැබුණා. එතුමාට මං කිව්වා මට නුවර පෙරහරේ පළවැනි කුඹල් පෙරහරේ කරඬුව අරන් යන ඇතාටයි දෑලේ ඇත්තුන්ටයි ඇඳුම් තුනක් මහන්න දෙන්න කියලා. එතුමා මට ඒ අවස්ථාව සතුටින් බාරදුන්නා.”

ඒ වනවිටත් ඇසළ මහට තිබුණේ හරියටම මාස හතකි. මාස හතකින් අලි ඇඳුම් තුනක් මැසීම ලේසිපහසු කාරියක් නොවේ. නමුත් ඇය ඒ අභියෝගය බාරගත්තේ අහිංසක ප්‍රාර්ථනාවක්ද එක්කමය.

පළවැනි කුඹල් පෙරහරේ කරඬුව වඩම්මන්නේ ඉන්දි රාජා. ඒත් මං ඇඳුම මැහුවේ කතරගම වාසනා මේ ඇඳුම අඳින්න ඕන කියලා හිතාගෙන. හැබැයි මං හොඳටම දන්නවා වාසනා කුඹල් පෙරහරේ යන්නේ නෑ කියලත්. ඒත් මං අර විදියටම හිතුවා. මං පෙරහරට කලින් දවසේ අලි ඇඳුම් මාලිගාවට බාරදීලා එනකොට මට වාසනා හම්බුණා. මං ඒ වෙලාවේ මගේ දුවටත් කිව්වා අනේ මෙයා මගේ ඇඳුම අඳින්නේ නෑනේ කියලා. කොහොමහරි පහුවදා ඉන්දි රාජා මගේ ඇඳුම ඇඳලා සඳගලත් බැස්සා. ඒත් එතැනින් එහාට එයා හෙල්ලුනේවත් නෑ. පස්සේ බලද්දි එයා මදකිපිලා. අන්තිමේ ඒ ඇඳුම එයාගෙන් ගලවලා කතරගම වාසනාට ඇන්දුවා. අනේ එදා නම් මට පුදුම සතුටක් දැනු‍ණේ.”

එවර නුවර පෙරහර මංගල්‍යයේ අලි ඇඳුම් හතරක්ම මසා තිබුණේ ඉනෝකාය. ඒ ඇඳුම්වලින් හැඩවූයේ කතරගම වාසනා, මියන් රාජා, බුරුම රාජා සහ විෂ්ණු දේවල පෙරහරේ පෙරමුණේ ගමන් කළ සුරනිමල ය. ඉනෝකා පවසන පරිදි ඒ ඇතුන් හැරුණුකොට ඉනෝකාගේ අලි ඇඳුම්වලින් කීපවරක්ම නැදුන්ගමුවේ රාජා, සිංහ රාජා, කෝට්ටේ රාජා මෙන්ම සින්දු ද හැඩ වී තිබේ.

අලි ඇඳුමක් නිර්මාණය කරන එක සම්ප්‍රදායික කලාවක්. ඇත්තටම කිව්වොත් ඒක අලි වැඩක්. මොකද ඇඳුමක් නිර්මාණය කරනකොට අපි දැනගන්න ඕන පෙරහරේ අවශ්‍යතාවයට වගේම දළදා උරුමයට ගැලපෙන විදියට ඒක නිර්මාණය කරන්න. මං ගොඩාක් වෙලාවට දළදා මාලිගාවට ආවේණික අංගවලින් තමයි ඇඳුම නිර්මාණය කරන්නේ.”

අපට ඇඳුමක් මසනා ආකාරයට අලි ඇතුන්ට ඇඳුම් මැසීමට නොහැකිය. එයට කාලය ශ්‍රමය පමණක් නොව ලක්ෂ ගණනින් මුදල්ද උවමනාය.

ඒකට යොදාගන්න රෙදිපිළි මිලෙන් අධිකයි. ගොඩක් වෙලාවට ඉස්තරම් වෙල්වට් රෙද්ද තමයි ගන්නේ. ඊටපස්සේ ඇඳුම හැඩ කරන්න දිළිසෙන්න එහෙම තව තව දේවල් ගන්න එපැයි. කොහොමත් දැන් බඩු භාණ්ඩවල වියදමත් එක්ක එක අලි ඇඳුමක් මහන්න ලක්ෂ තුන හතරක් වගේ යනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං ලොකු සල්ලිකාරියක් කියලා. එහෙම නෑ. මටත් මුදල් ප්‍රශ්න තියෙනවා. ඒත් සල්ලි ගැන නොහිතා මං මේ වැඩේ ශ්‍රද්ධාවෙන් කරනවා.”

ඉනෝකා වසරක් පාසා මේ පූජනීය කටයුත්ත සිදුකරන්නේ මහර ප්‍රදේශයේ පිහිටි තමන්ගේ රූපලාවණ්‍යගාරයේ කටයුතුද සිදුකරන අතරේය.

මං ඉස්කෝලේ ගියේ කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයට. ඒ කාලේ ඉඳන්ම රූපලාවණ්‍ය පැත්තට මැහුම් ගෙතුම්වලට ආසයි. මට අවුරුදු හත අටක් වෙනකොට මැෂින් එකෙන් මහන්න පවා පුළුවන්. අවුරුදු 15 ඉඳන් මගේ ඉස්කෝල යුනිෆෝම් එක මහගත්තේ මමමයි. ඉස්කෝලෙන් අයින්වුණාට පස්සේ රූපලාවණ්‍ය පැත්තට යොමුවුණා. හොඳ හැදෑරීමක් එක්ක 2010 අවුරුද්දේ සැලෝන් එකක් දැම්මා. එතැන වැඩත් කරන ගමන් තමයි අලි ඇඳුම් නිර්මාණත් කරන්නේ.”

අප මුලදීම කී පරිදි ලංකාවේ අලි ඇඳුම් නිර්මාණය කරන පළමු මෙන්ම එකම රූපලාවණ්‍ය ශිල්පිනිය ඉනෝකාය. ඒ නිසාම පසුගියදා ඇය රූපලාවණ්‍ය ශිල්පීන් වෙනුවෙන් පැවති සම්මාන උළෙලක ‘රූපලාවණ්‍ය පද්ම විභූෂන කීර්ති ශ්‍රී දේශමාන්‍ය’ යන ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවාය.

මේ දවස්වල මං පාන්දර දෙකේ ඉඳන් ඇහැරලා ලබන සැරේ පෙරහරට අලි ඇඳුම් තුන නිර්මාණය කරනවා. සැලුන් එකේ වැඩක් නැත්නම් ඒ වෙලාවත් යොදවන්නේ ඒකට. මට මුදල්වලින් වගේම ශ්‍රමයෙන් දායකවෙන කීපදෙනෙකුත් ඉන්නවා. ඒ අයත් මතක් කරන්නම ඕනේ. ඒත් එක්කම ධරණී පුවත්පතට විශේෂ ස්තූතියක් පුද කරනවා. දැන් අවුරුදු හතරක් තිස්සේ මං මේ අලි ඇඳුම් මැහුවත් මගේ වටිනාකම දැක්කේ ධරණී පුවත්පත විතරයි.”

ඉනෝකාගේ එකම අපේක්ෂාව පුළුවන්තාක් කල් නුවර දළදා පෙරහරේ අලි ඇතුන්ට ඇඳුම් නිර්මාණය කිරීමය. අදටත් දළදා පෙරහරේ බහුතරයක් අංග ගැහැනුන්ට අකැප වුවද ඉනෝකාගේ අතින් මැසෙන අලි ඇඳුම් නම් පෙරහැරේ ආලෝකයට කදිමට ගැලපෙන්නේය. ඉතින් මීලඟ ඇසළ පෙරහර මංගල්‍යයට බොහෝකල් තිබුණත් ඉන්දිලා, සිංහලා, මියන්ලා මෙන්ම බුරුමලාද දැන් සිටම පේවෙන්නේ ඉනෝකාගේ හැඩකාර ඇඳුමින් හැඩ වී පළමු කුඹල් පෙරහරේ ආඩම්බර ගමනින් උතුම් දළදා වහන්සේ වඩම්මන්නටය. ඉනෝකා දිවා රෑ වෙහෙසෙන්නේ ඒ වාසනාවන්තයින්ගේ ඒ ආඩම්බරකාර ගමන නෙක වර්ණ ඇඳුමින් හැඩකරන්නටය.

රුවන් එස්.සෙනවිරත්න