විශේෂාංග

බුදු මහත්තයෝ අලියව බිම වට්ටන්නනම් එපා

ගෘහාශ්‍රිත අලි ඇතුන් ගැන සොයා බැලීම වනඅලි ඇතුන් බැලීමට වඩා වෙනස්ය. වනඅලින්ට හිමිකරුවන් නැත. එනිසා අවශ්‍ය පියවර ගැනීමේදී තරමක් පහසුය. ගෘහාශ්‍රිත සතුන්ට ප්‍රතිකාර කරද්දී එසේ නොවේ. හිමිකරුවන්ගේ ඉල්ලීම්වලටද සවන්දිය යුතුය. මේ එවැනි සිදුවීමකි.

මහාචාර්ය අශෝක දංගොල්ලට වරක් බලංගොඩින් දුරකතන ඇමතුමක් ලැබිණ. ඒ, අලි හිමිකරුවෙකුගෙනි. ඔහු සතු වූයේ ජවසම්පන්න තරුණ පිරිමි සතෙකි. අලියා ඇත්ගොව්වාට අවනත වීම ප්‍රතික්ෂේප කර තිබේ. ප්‍රතිඵලය වූයේ විසේකාර අලියා නගරය පුරා දුව යාමයි. පුවත සැලවූ වහාම මහාචාර්යවරයා ගමනට සැරසුණේය. චණ්ඩියා වහා මෙල්ල කළ යුතුය. නැතහොත් කුමකින් කුමක් වේදැයි කවුරු දනීද? ඖෂධ සහ තුවක්කු සූදානම් කෙරිණ. දැවැන්තයා නිර්වින්දනය කිරීමේ අපේක්ෂාවෙන් මහාචාර්ය දංගොල්ල ගමන ඇරඹීය.

අතරමගදී අලි හිමිකරුගෙන් නැවත ඇමතුමකි. වරින්වර තත්ත්වය පිළිබඳ වාර්තා කිරීම ඔහුගේ රාජකාරිය විය. තරමක් දඩබ්බර වුවද අලියා විනීතය. ඇත්ගොව්වාගෙන් මිදුණද අලි කොල්ලා කිසිවකට හෝ කිසිවෙකුට හානි සිදුකර නැත. නගරය හරහා ගමන් ගත් අලියා නැවතී ඇත්තේ සිය හිමිකරුට අයත් තේ කර්මාන්තශාලාවේ වත්තේය. ඒ කිලෝමීටර තුනක පමණ දුරක් ගමන් කිරීමෙන් පසුය.

හිමිකරුගෙන් ලද තොරතුරු අනුව මහාචාර්ය දංගොල්ල එම තේ කර්මාන්තශාලාව පිහිටි භූමියට පැමිණියේය. අලි හිමිකරුද එහි විය. ඒ වෙද්දී අලියා සිය සැලසුම වෙනස් කර තිබිණ. වත්තේ රැඳී සිටීම වෙනුවට අලියා තෝරාගෙන තිබුණේ අසල බෝංචි කොටුවකි. මහාචාර්යවරයාද හිමිකරු සමඟ ඊට ඇතුළු විය.

සියලු දේ සූදානම්ය. දැවැන්තයා නැවත රැගෙන යාමට පියවර ගත යුතුය. එහි පළමු අදියර අලියා නිර්වින්දනය කිරීමයි. මහාචාර්ය දංගොල්ල ඒ සඳහා සැරසිණ. ඒ අතර හිමිකරුගෙන් තවත් ඉල්ලීමකි. නිර්වින්දනය වූ පසුවද අලියා සිටගෙන සිටිය යුතු බව ඔහුගේ ඉල්ලීම විය. අලියා බිම ඇද වැටෙනු දැකීමට හෙතෙම අකමැති විය. එය බරපතළ කාර්යයකි. අලියා ඇල්ලීමට නම් නිර්වින්දනය කළ යුතුය. ඒත් හිමිකරුගේ ඉල්ලීම නිසා අලියා බිම වැටීමටද ඉඩ නොදිය යුතුය. ඒ අනුව මහාචාර්යවරයා ඖෂධ මාත්‍රාව වෙනස් කළේය. භාවිත කළේ සූදානම් කර තිබූ මාත්‍රාවෙන් අඩක් පමණි. මහාචාර්ය දංගොල්ලගේ කාර්යය හමාරය. වාසනාවකි. අලියා බිම වැටුණේ නැත. ඒ වෙනුවට අලි කොල්ලා හිටගෙන ගොරව ගොරවා නිදන්නට වූයේය. උදා වූයේ ඇත්ගොව්වාගේ වාරයයි. පරීක්ෂාවෙන් අලියා අසළට ළඟා වී දම්වැල් දමා ගැනීමට හැකි විය. මහාචාර්ය දංගොල්ල පැමිණි කාරිය සම්පූර්ණ කළේ අනතුරුවයි. හෙතෙම නැවත සිහි ගන්වන ඖෂධය අලියාට ලබා දුන්නේය. කිසිඳු හානියක් නොමැතිව අලියා නැවත නිවස වෙත රැගෙන ඒමට හැකිවූයේ ඉන් පසුවයි.

තොරතුරු මහාචාර්ය අශෝක දංගොල්ල

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

රෂ්නිකා ලියනගේ