විශේෂාංග

අලි අම්මට නින්ද ගියා අලි පැටියා ගොඩට ගියා

මොනම ආකාරයක අවදානමක් දරමින් වුව අනතුරකදී අතහැර නොයන කෙනෙකු වේනම් ඒ, අම්මාය. එය සත්ව ලෝකයේද දැකිය හැකි කරුණකි. පශු වෛද්‍ය අකලංක පිනිදිය එවැනි සිදුවීමකට මුහුණ දුන්නේ ගිරාඳුරුකෝට්ටේ ඔරුබැඳිවැව ප්‍රදේශයේදීය.

ඉතා කුඩා ප්‍රමාණයේ ළිඳකට අලි පැටවකු වැටී ඇත. ඒ වටා සිටින අලි නඩය පැටවා ගොඩ ගැනීමේ උත්සාහයකය. එහෙත් එය සාර්ථක නොවේ. ලැබුණු තොරතුරුවලට අනුව වනජීවී නිලධාරීහු එතැනට ළඟා වූහ. පශු වෛද්‍ය අකලංකට එතැනට යාමේ අවශ්‍යතාවක් නොවීය. ඒ, අලි රංචුව පළවා හැරීමෙන් පසු අනතුරට ගොදුරු වූ සතා ගොඩට ගැනීමට හැකි බැවිනි. සියල්ලට පෙර වටේ සිටින අලි එලවා දැමිය යුතුය. ඒ අනුව අලි වෙඩි දැමීමට පියවර ගැනිණ. අලි නඩය විසිර ගියද අලි අම්මා පියවරක් හෝ පසුපසට ගැනීමට සූදානම් නැත. ඒ මදිවාට කිසිවකුට ළිඳ සමීපයට පැමිණීමට ද ඇය ඉඩ නොදෙයි. ළිඳේ ගැඹුර, අනතුරුට ලක්වූ අලි පැටවාගේ වයස හෝ අනතුරේ ස්වභාවය ආදී කිසිවක් නිශ්චය කිරීමට ඉඩ නැත. ඒ අනුව පශු වෛද්‍ය අකලංක පිනිදියද එම ස්ථානයට ගියේය.

‘‘මීටර සියයක් තරම්වත් සමීපයට එන්න කිසි කෙනෙකුට අලි අම්මා ඉඩ දෙන්නෙ නෑ. එන කෙනාව පන්නනවා. එයා හිතන්නෙ එයාට පැටියව බේරගන්න පුළුවන් කියලනේ. හොඬේ ළිඳ ඇතුළට දානවා. ආයෙ ගන්නවා. ටික වෙලාවකින් ළිඳ ඇතුළෙන් කෑ ගහනවාත් ඇහුණා. ඒත් අපිට කිසි දෙයක් බලන්න විදියක් නෑ. මොකද අම්මාව මොන විදියකටවත් එලවන්න බෑ. එයාගෙ ආදරේ තරම තමයි ඉතින් ඒක. මමත් ඔය වගේ දේකට මූණ දුන්නමයි. ළිඳ තිබුණෙ කුඹුරු යායක් මැද්දෙ. සම්පූර්ණ විවෘත පැත්තක්. ඒ නිසා අපට රිස්ක් එක වැඩියි. ළඟට ගියොත් අපිටත් මැරුම් කන්නයි වෙන්නෙ.’’

අවසානයේ පැටවා බේරාගැනීම වෙනුවෙන් මව නිර්වින්දනය කිරීමට තීරණය කෙරිණ. එයද පහසු නොවේ. ඒ, සතාට සමීප වීම බොහෝ අවදානම් සහගත බැවිනි. එහෙත් අවදානම දරමින් අලි පැටවා මුදා ගැනීමට නිලධාරීහු තීරණය කළහ. බෙහෙත් සූදානම් කරගෙන වාහනයකින් ඔවුහු කෙනෙර වෙත සමීප වූහ. නිලධාරියෙකු රථයෙන් බැස ඈ වෙත ගිය අතර එවිට කෙනෙර ඔහු පසුපස පැන්නුවාය. වහාම නිලධාරියා රථයට ගොඩ වූ අතර සමීපයට පැමිණි අලි අම්මාට බෙහෙත් විදීමට එහිදී ඉඩ ලැබිණ. බෙහෙත් ලබා දී ඇත්තේ කෙනෙර ඇද වැටෙන මට්ටමට නොවේ. ඇය නිද්‍රාවට පත්වීමට ප්‍රමාණවත් පරිදිය. අවාසනාවක මහත! කෙනෙර ළිඳට හොඬ දමා සිටගෙන නිදන්නට වූවාය. වැඩේ තවත් අසීරුය. ඇගේ සිරුරේ ගෑවෙන නොගෑවෙන තරම් දුරක සිට පැටවා ගොඩට ගත යුතුය. කෙනෙර සම්පූර්ණයෙන් ඇද වැටුණ අවස්ථාවක අවදානම අඩුය. එහෙත් මෙම තත්ත්වයේදී ඇය ඕනෑම වේලාවක අවදි වීමට ඉඩ තිබේ. ඇය ළිඳ මතට ඇද වැටුණහොත් එයද අතුරුදායකය. එහෙත් පළපුරුදු නිලධාරීන්ගේද සහාය ඇතිව එම කටයුත්ත සාර්ථක කරගැනීමට හැකි වූ බව පශු වෛද්‍ය අකලංක පිනිදිය පවසයි.

‘‘පැටියා මාස දෙකක්වත් වයස නැති තරම්. ළිඳේ ඉහළට වතුර තිබුණ එක අපට වාසියක් වුණා. එයා වතුරේ පාවෙමින් හිටියා. එහෙත් ළිං කට බොහෝ කුඩා නිසා පැටවා ගැනීම ගොඩක් අමාරුයි. අපි කොහොම හරි පැටවාගේ අම්මා අසලම සිටියදී ළිං ගැට්ට කුලු ගෙඩියෙන් කඩලා පැටියව එළියට ගත්තා. පස්සෙ එයාට බෙහෙත් දාලා අම්මා ගාවට ඇරියා. අම්මාටත් ආයෙ බෙහෙත් දුන්නා ප්‍රකෘති තත්ත්වයට ඒමට. අපි එදා ඒ පැටියව බේරගත්තේ ඒ වැඩේට සහභාගි වුණ හැමෝටම විශාල අවදානමක් තියාගෙන.’’

රෂ්නිකා ලියනගේ

තොරතුරු සහ ඡායාරූප – පශු වෛද්‍ය අකලංක පිනිදිය